ලතාමංගේෂ්වරී කියන්නෙ ‘මායාවී’ තුළ ජනප්‍රිය චරිතයක්. ඒ චරිතයට පණ දෙන්නෙ සුධීක්ෂා සමාධි මේ වන විට චිත්‍රපට තුනකටත් තම රංගන දායකත්වය ලබාදී තිබෙන සුධීක්ෂාගේ කතාව මීවිත පාඨක ඔබ වෙනුවෙන් මේ විදිහට සටහන් කළා.
සුධීක්ෂා, අපි ‘මායාවී’ගෙන්ම පටන්ගනිමු?
මායාවී කියන්නෙ මහේෂ් රත්සර මද්දුමආරච්චිගෙ තිරපිටපතක්. අධ්‍යක්ෂණය කරන්නෙ සඳුන් රාජකරුණා. නිෂ්පාදනයෙන් දායක වෙන්නෙ ලලිත් වසන්ත මහත්මයා. අපි හැමෝම දන්න විදිහට මහේෂ් රත්සර මද්දුමආරච්චි කියන්නෙ යුගයේ කතා නිර්මාණය කරන තිර පිටපත් රචකයෙක්. මේ වකවානුවේ මිනිස්සු ඉන්නෙ ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලින් වගේම රැකියාවේ ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා. ඒ අය ටීවී එක ඉස්සරහට එන්නෙ මේ දේවල්වලින් මනස නිදහස්කරගන්න. එහෙම මිනිස්සුන්ගෙ විනෝදාස්වාදය උදෙසා ඉහළම රසාස්වාදයක් තියෙන ලස්සන නාට්‍යයක් නිර්මාණය කරල තියෙනව.
ඒ වගේම ඒ තිරපිටපතේ ඉස්පිල්ලක් පාපිල්ලක් වරද්දන්නෙ නැතිව නළු නිළියන් හසුරුවල, සියුම් දේවල් පවා අපිට මගහැරෙන්න නොදී මාරම විදිහට නළු නිළියන්ගෙන් වැඩක් ගන්න නිර්මාණයක් තමයි මායාවී කියන්නෙ. ඒ දේවල්වල ප්‍රතිඵල අද දකින්න තියෙනව කියල හිතනව.
ලතා මංගේෂ්වරී ගැන කතා කළොත්?
මායාවී ටෙලියෙ ලතා මංගේෂ්වරී කියන්නෙ සාමාන්‍ය බුද්ධි මට්ටමින් එහාට ගිහිල්ල ලෝකයම දකින්න පුළුවන් විදිහේ චරිතයක්. ගොඩක් අය කියනව මේක හරි ලෙහෙසි චරිතයක් කියල. නමුත් ඇත්තටම මේක මාරම අමාරු චරිතයක්. සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මම පුරුදු වුණ ඇටිටියුඩ්ස් ඔක්කොම අසාමාන්‍ය විදිහට නිරූපණය කරන්න සිදුවෙලා. මේ වගේ චරිතයක් කරන්නෙ ජීවිතේ පළමුවැනි වතාවට. ඇත්තටම මේ චරිතය මට අභියෝගාත්මකයි.
මේ වන විට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මේ ටෙලිඩ්‍රාමා එක යූටියුබ් එකට අප්ලෝඩ් කරල පැයක් ඇතුළත ලක්ෂ හතරක් බලනව වගේම ලතාමංගේෂ්වරීටත් පුදුම විදිහට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව. ඔවුන්ගේ කමෙන්ට් බලද්දි දැනෙනව ඒක හදවතින්ම එන ආදරයකින් තමයි සටහන් කරන්නෙ කියල. මම දකින විදිහට නළුවකුට හෝ නිළියකට ලබන්න පුළුවන් ලොකුම ආදරය තමයි ඒක.
පිටපත අතට ලැබුණම බයක් දැනුණාද?
ඔව්, ඇත්තටම මට මේ චරිතය කරන්න පුළුවන් වෙයිද කියල බයක් දැනුණා. නමුත් අධ්යක්ෂවරයා කිව්වෙ මට දැනෙන දේ කරන්න කියල. ඔහු ඒ නිදහස මට ලබා දුන්නා වගේම ඔහු ටිකෙන් ටික මාව මුවහත් කළා.
මායාවී නිසා අලුත් ආරාධනා ලැබුණද?
ඔව්, ආරාධනා ලැබිල තියෙනව. නමුත් නිළියක් කියල හැම වැඩක්ම භාරගන්නවාට වඩා මම කැමතියි චරිතාංග නිළියක් වෙන්න. ඒ වගේම භාරගන්න චරිතයට සාධාරණයක් කරන්නත් මට පුළුවන් වෙන්න ඕන. ඉදිරියටත් එවැනි චරිත තෝරාබේරාගෙන භාරගන්නව.
මෙතෙක් ලැබුණ චරිත ගැන අදහස මොන වගේද?
ඇත්තටම කිව්වොත් මම සහභාගි වෙලා තියෙන්නෙ සීමිත ටෙලි නාට්‍ය ප්‍රමාණයකට වුණත් මේතාක් එකකට එකක් වෙනස් චරිත ලැබිල තියෙනව.
මොනවද ඒ?
‘දිවිතුරා’ ටෙලි නාට්‍යයේ දඟකාර කෙල්ලකගේ චරිතයක්, ‘රාජිනී’ ටෙලි නාට්‍යයේ අතිශය බොළඳ පෙම්වතියකගේ චරිතයක්, ‘මීනු’ ටෙලි නාට්‍යයේ තරුණ කුඩම්මා කෙනකුගේ චරිතයක් මට ලැබිල තියෙනව.
ඔබ සම්මාන උළෙලවලදී නිර්දේශිත නාම අතරට ඇවිත් තියෙනව?
ඔව්, මම ක්ෂේත්රයට ඇවිත් වසර දහයක් වෙනව. 2022/2023 අවුරුද්දේ පැවැත්වුණ සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළිය සම්මානයට නිර්දේශ වෙලා අවසන් පස් දෙනා අතරට තේරීපත් වුණා. ඒ වගේම මම ආසයි දක්ෂ, හොඳම කියන කාණ්ඩ යටතේ නිර්දේශ වෙනවනම්. ප්‍රේක්ෂක ආදරය වගේම ඒ අගයකිරීමත් අපිව දිරිමත්කිරීමක් වෙනව.
මේ අවුරුදු දහය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?
මගේ පටන්ගැන්ම සිදුවෙන්නෙ 2014 අවුරුද්දෙදි උපප්‍රධාන චරිතයකින්. ඒ පටන්ගත්ත ගමන ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රධාන චරිතයක් දක්වා ඇවිත් තියෙනව. බොහොම සෙමින් ආපු ගමනක්. සිනමා නිර්මාණ ත-ුනකට මගේ දායකත්වය ලබාදීල තියෙනව. එයින් ‘විලන්’ චිත්‍රපටය තිරගත වුණා. ‘සූර්යා’ සහ ‘මදර් ලංකා’ යන චිත්‍රපට දෙක ඉදිරියේදී තිරගතවේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නව.
සිනමා ගමන කොහොමද?
ඇත්තටම ‘විලන්’ චිත්‍රපටය හරහා සිනමාවට හොඳ ආරම්භයක් ලැබුණා. ඒ වගේම අනෙක් සිනමා නිර්මාණ දෙක හරහාත් සිනමාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න මට හැකියාවක් ලැබුණා.
සුධීක්ෂාට ඉක්මනින් ජනප්‍රිය වෙන්න ඕන නැහැ?
මේ වසර දහය තුළ මම මේ ගමන ආවෙ බොහොම ඉවසීමෙන්. මේ කාලය ඇතුළතත් මාව නොදන්නා අය ඕනෑ තරම් ඉන්න පුළුවන්. කලාව කියන්නෙ හික්මීමක් වගේම ඉවසීමක්. ඒක මට තියෙනව. මම අදටත් හිතන්නෙ තව ගොඩක් දේවල් මට ඉගෙනගන්න තියෙනව. මේක නෙමෙයි මගේ කාලය. දවසින් දවස චරිත තුළ අත්හදාබලන්න දේවල් තියෙනව. අලුත් දේවල් එකතුකරගන්න තියෙනව. මේක ලස්සන චාරිකාවක්.
සමහර දර්ශන තුළ අනතුරු සිදු වුණ අවස්ථා තියෙනවද?
ඔව්, මේ කතාවෙ වළං බිඳින දර්ශන තියෙනව. ඒ වෙනුවෙන් මේ වන විට මම වළං දහයක් බිඳල තියෙනව. ඒ සමහර අවස්ථාවලදි වළං කටු කෑලි වැදිල කකුල තුවාල වුණ කැළැල් අදටත් තියෙනව. ඒක සොඳුරු මතකයක්.
මහේෂ් එදිරිසිංහ