හැමෝම හිතුවේ මාවයි ඩයියවයි බෝට්ටුවට යටවුණා කියලා-ජගත් චමිල

 


මේ මහපොළොවේ ජීවත්වන ගොඩක් කෙල්ලො කොල්ලො නිතරම උත්සාහ කරන්නේ මේ ලස්සන දූපතෙන් එපිටට ගිහින් පනම් හතරක් සොයාගෙන තමන්ගේ සිහින සැබෑ කරගන්න. ඇත්තටම ඒ සිහිනය මේ රටේ ඉඳලා සැබෑ කරගන්න බැරිද. එහෙම හීන සැබෑ කරගන්න ගිහිල්ලා අන්තිමේ අපේ කොල්ලො කෙල්ලන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.


එහෙම ජීවිත සිහින සැබෑ කරගන්න මීරියබැද්දේ ඉඳලා ආපු අමරේගේ සහ සමන්ගේ කතාව මේ දවස්වල ඔයාලගේ ගමේ නගරයේ තිබෙන සිනමාහල්වලින් දැකගන්න ලැබෙනවා. ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ‘පාස්පෝට්” සිනමා නිර්මාණය හරහා මීරියබැද්දේ සිට යුරෝපය බලා යන්න සහ ගිහින් අනේක විධ ගැටලුවලට මුහුණදෙන අමරේ සහ සමන්ගේ කතාව තමයි දැකබලා ගැනීමට හැකිවෙන්නේ. ඉතින් අද අපි අමරේගේ කතාව ගැන දැනගන්න ජගත් චමිලව ඇමතුවා. මේ ජගත් කියන අමරේගේ කතාව.

ජගත්ට මීරියබැද්දේ අමරේව හමුවෙන්නේ කොහොමද?


මට ඒ ගැන කියන්න වෙන්නේ මෙහෙමයි. ගම්පෙරළියේ පියල් කරන්නේ ධනේශ්වර පන්තිය නියෝජනය කිරීම. අපි හැමෝම ජිනදාසලාගේ පරම්පරාවේ අය. එතකොට පියල්ලා හසුරුවන්නේ ජිනදාසලාව. ඒ වගේ තමයි පාස්පෝට් එකේ අමරේ කියන්නේත් අපි හැමෝගේම කතාව. පාස්පෝට් අමරේ පෙනී සිටින්නේ අපි හැමෝගෙම කතාව වෙනුවෙන්.


මේ මොහොතේ රටේ තිබෙන දේශපාලන, ආර්ථික ක්‍රමවේදය ඇතුළේ මේ අපේ පරම්පරාවේ අමරේලාට වෙච්ච ජීවිත කතාවේ හරස්කඩක් තමයි පාස්පෝට් හරහා මුණගැසෙන්නේ.


අමරේව මුණගැසුණාට පසුව මුහුණ දුන් අත්දැකීම් මොනවගේද?


ඇත්තට පාස්පෝට් බලාගන්න පුළුවන් පාස්පෝට් රූගත කරන්න ගිය සිද්ධි ටික රූගත කිරීම් සිදුකළා නම් එකෙ තමයි ත්‍රාසය තියෙන්නේ. මුලින්ම රූගත කිරීම් සිදුකළේ කොස්ලන්ද ග්‍රාමයේ. එහේ රූගත කිරීම් සිදුකරලා බෝට්ටුවේ ඇති වුණ සිදුවීම් ටික රූගත කිරීම් සිදු කරන්න ආවට පස්සේ ඇතිවුණ සිදුවීම් අතිදුෂ්කරයි. ඊට පසුව ඉන්දියාවේ රූගත කිරීම්, යුරෝපයේ රූගත කිරීම්වලදී ඇති වුණ දේවල්වල අත්දැකීම් එක එක මට්ටම්වලින් තියෙනවා.


මට මතකයි එක මොහොතක බෝට්ටුවල රූගත කිරීම් සිදු කරන්න ගිහිල්ලා (ඉතාලියට ගෙනියනවා කියන දර්ශනය) ඒ කාලේ මුහුද සැරයි. වාරකන් කාලය. මුහුදට බෝට්ටු දමන්නේ නැහැ. බෝට්ටුව මුහුදට දැම්මාට ගැඹුරු මුහුදට යන්නෙත් නැහැ. ඒ තරම් මුහුදු රළ සැරයි. කොහොම හරි එක මොහොතක ආපු රළ පාරට බෝට්ටුව පිටින්ම උඩින්ම රළ පහර සමග වෙරළට එනවා. ඒ වේලාවේ මමයි ඩයියයි එක්ක බෝට්ටුවේ හිටියා ලොකු පිරිසක්. අපි ඔක්කොම විසිවෙලා ආපු රැල්ලට වැටෙනකොට මට පේනවා බෝට්ටුව එනවා අපිට පිටිපස්සෙන්. ඒ මොහොතේ මමත් එක්ක ඩයියත් වැටිලා හිටියා. ඒ වේලාවේ මට තේරුණා ඩයියාගේ කකුල උඩට තමයි බෝට්ටුව වැටෙන්න එන්නේ කියලා. මමත් වෙරළේ වැටිලා හිටියේ. මම ඒ වේලාවේ ඩයියව ඇදලා ගන්නවා. ඒ ගත්තු සැණින් තමයි බෝට්ටුව වැල්ලට වැටෙන්නේ. ගොඩක් අය හිතුවේ අපි බෝට්ටුවට යටවුණා කියලා. ඒ දර්ශනය රූගත කිරීම් සිදුකළේ ගොඩක් දුරක ඉඳලා. රළ පහරට බෝට්ටුව උඩටම ඇවිත් වෙරළට වැටුණේ. ඊට කලින් අපි විසිවුණා. හැමෝම ඇවිත් බලනකොට කොහොම හරි අපි නිරුපද්‍රිතව හිටියා.


එතැනින් පටන්ගත්තු ඒ ගමනේ ඉන්දියාව දක්වාම හරිම දුෂ්කර කාලපරිච්ඡේදයක්. මට තියෙන අමාරු දේ තමයි කාන්තාරයේ දර්ශන රූගත කරන්න ගිහිල්ලා සිද්ධ වුණ දේවල්. කාන්තාරයේ වැලි හොඳටම රත්වෙලා. අනෙක් හැමෝටම සපත්තු සෙරෙප්පු දාගෙන ඉන්න පුළුවන් වුණාට මට සපත්තු දෙකක් දාගෙන ඉන්න පුළුවන් වුණේ බොහොම ස්වල්ප වෙලාවක් විතරයි. අනෙක් හැම වෙලාවකම කිසිම සපත්තුවක් නැතිව තමයි මට ඒ වැඩටික කරන්න සිද්ධ වුණේ. අධික රස්නය දරාගන්න හරි අමාරුයි. වැළි සුළං, වැලි කුණාටු වගේම වැලි කඳු උඩ ඉඳලා පහළට පෙරළෙන්න ගියහම සිද්ධ වුණ සමහර අපහසුතා මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඒක දැවැන්ත කැපකිරීමක්.


එවැනි කැපකිරීමක් කළ අමරේව රිදී තිරයෙන් දුටුවිට?


කැපවෙලා දෙයක් කළාට පසුව ඒකෙදි ලැබෙන ප්‍රතිඵලය හරිම නැවුම්, හරිම සොඳුරුයි. ඒ රසය මට, ඩයියාට හොඳට දැනෙනවා. අපි දෙන්නා වගේම කාර්මික ශිල්පීනුත් මෙහිදී අතිදුෂ්කර සිද්ධීන්වලට මුහුණ දුන්නා. ඉතින් අද තිරයේ දකිනකොට අමරේගේ දුක්ගැහැට ටික පේනවා. ඉතින් ඒ අමරේගේ කතාව අරගෙන එන්න සියලුම පිරිස් දුක්විඳපු, විඳීමේ ප්‍රතිඵලයේ අවසානයේ ලොකු සතුටක් තියෙනවා.


අමරේ වගේ ලංකාව දාලා යන්න හදන කොල්ලො කෙල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ?


අමරේ යුරෝ හොයාගෙන ගියාට ඒ ඇතුළේ දුක්විඳින්න තියෙන දුක්ගැහැටත් එක්ක අවසානයේ අමරේ තීරණය කරනවා මේ බිම තරම් සොඳුරු බිමක් තවත් නැහැ කියලා. ඕක තමයි ඇත්ත කතාව. හැබැයි දැන් මේක වර්තමානය වන විට සිහිනයක් බවට පත්වෙලා තියෙන්නේ. අපි මොන විදියට චිත්‍රපටය පෙන්නුවත් අමරේලාගෙ හීනය දිනාගන්න බැහැ චිත්‍රපටයක් හරහා. හැබැයි යම්කිසි විදිහක මානසික අස්වැසිල්ලක් තියේවි. කොහොම නමුත් යථාර්ථය, අපේ දිනාගන්න පුළුවන් හීනය තියෙන්නේ මේ මහපොළොවේම තමයි. එහෙමනම් ඒ සිහිනය දිනාගත්ත දවසට කිසිම අමරේ කෙනකුට අමුතුවෙන් පාස්පෝට් හදාගන්න ඕනෑ වෙන්නේ නැහැ. මොකද එච්චරටම සොඳුරු බිමක් මේක. මේ බිම විනාශ වෙලා ගිය දේවල් එක්ක බැලුවහම අද මට වගේ අමරේලා ගොඩක් මේකෙන් එපිට දුරුකතර ගෙවාගෙන තමන්ගේ ජීවිත සිහිනය සඵල කරගන්න තමයි වෙර වෑයම් දරන්නේ. මේ මොහොතේ පාස්පෝට් එකක් හදාගන්න විඳින දුක ජීවත්වෙන්න විඳින දුක හා සමානයි. ඉතිං මේ හැම එකක්ම ආදරය වෙනුවෙන් තමයි. මම කියන්නේ මේ බිම දිනාගත්ත විදිහ තියෙන්නෙත් අපේ අතේ. එහෙම වෙච්ච දවසට සියලු අමරේලා තම තමන්ගේ ආදරයත් එක්ක හිනාවෙලා ජීවිත් වේවි.


මේ දවස්වල වෙනත් රංග කාර්යයන් මොනවාද?


තවත් චිත්‍රපටයක් ‘ශ්‍රී සිද්ධි’ කියලා නුදුරේදීම තිරගත වෙන්න නියමිතයි. සරත් වීරසේකර මහත්මයා තමයි අධ්‍යක්ෂණය කළේ. මෙගා නාට්‍ය කිහිපයක් තිබෙනවා. ඒ ටික කරගෙන යනවා. පසුගිය කාලපරිච්ඡේදයේදී අලුත් ටෙලිනාට්‍ය කිහිපයකට කතා කරලා තිබුණා. නමුත් රටේ මේ වෙලාවේ පවතින මැතිවරණ කටයුතු හින්දා ඒ වැඩකටයුතු ටිකක් විතර ප්‍රමාද වෙලා තිබෙනවා. චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා.


වේදිකාවේ වැඩකටයුතුවලට වෙන් කළ කාල පරාසයන්?


පසුගිය කාල වකවානුවේ තිබුණේ ප්‍රේක්ෂකයන්ගෙන් වේදිකාව සෑහෙන දුරට ඈත් වුණු ස්වභාවයක්. අද වෙනකොට නැවතත් ප්‍රේක්ෂකයා වේදිකාවත් එක්ක ලොකු ගනුදෙනුවක් සිද්ධ කරමින් ඉන්නවා. ඒක බොහොම සතුටුදායකයි. අලුත් වේදිකා නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. එහි පුහුණුවීම් නුදුරේදීම ආරම්භ කරනවා. ඊට අමතරව අනෙක් වේදිකා නාට්‍යවල දර්ශනවාර පවත්වාගෙන යනවා.


මේ වෙලාවේ ඔබට ලැබෙන නිර්මාණ පිළිබඳව දරන මතය?


ඇත්තටම ලොකුවට සතුටු වෙන්න පුළුවන් තැනක නැහැ. සින්තටික් වර්ගයේ නිර්මාණ තමයි ගොඩක් සිද්ධ වෙන්නේ. හරිම හරසුන් නාට්‍ය ටිකක් නිර්මාණය වෙමින් පවතිනවා. මම හිතන්නේ එහෙම වෙන්නේ මේ රටේ මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්කයි. මිනිසුස්න්ට ටිකක් ගැඹුරු චින්තනයකට යන්න ඕනෑ කරන නිර්මාණ කටයුත්තකට වියදම් කරන ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒකයි මම මුලිනුත් කිව්වෙ. අමරේලාගේ හීනවලට වෙලා තියෙන කතාන්දරෙත් ඕකම තමයි. හීන හොයාගෙන යන මිනිස්සු තමයි ඉන්නේ. හොඳ නිර්මාණ බිහිවෙන අවකාශය වැඩිවෙනවා නම් හොඳයි.


රංගනයෙන් ඔබ ලද තෘප්තිමත් භාවය?


ඔව්. මම ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ වේදිකාව සම්බන්ධයෙන් කරලා තියෙන නිර්මාණ පිළිබඳව වගේම චරිත සම්බන්ධව ලොකු සතුටක් තියෙනවා. සමහරු මගේ මූණටම කියලා තියෙනවා, “උඹ නම් හරි වාසනාවන්ත නළුවෙක්.” කියලා. ඒ වගේම උඹට හොඳ චරිත හම්බවෙලා තියෙනවා. අන්න ඒ වගේ හොඳ ඉඩක්, හොඳ චරිත හම්බ වුණු චරිතයක්.


පාස්පෝට් අමරේ ගැන මිනිස්සු මොනවගේ කයිකතන්දරද කියන්නේ?


මේ වෙනකොට පාස්පෝට්, ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් ඉවරයි. සමහර ශාලාවල හිමිකරුවන් පවා මට කියලා තිබුණා, චමිල අපි කොහොම හරි ෆිල්ම් එක හෝල්වලට ගෙන්වා ගන්නවා කියලා. තවත් සමහර සිනමා ශාලා හිමියන් කියලා තියෙනවා අපේ මණ්ඩලයේ තියෙන සිනමාහල්වලට මුදා හරින්න කියලත්. මේක මීට කලින් සීමිත දර්ශන වාර කිහිපයක් තිරගත කළා. ඒ හැම වෙලාවකම ප්‍රේක්ෂකයෝ කිව්වේ ඉතාමත් හොඳ චිත්‍රපටයක් කියලා. පාස්පෝට් කියන්නේ වාණිජ දහරාවේ චිත්‍රපටයක්. අනෙක් කාරණය තමයි මේක බසිස්කෝප් කලාවේ චිත්‍රපටයක්. එතකොට මේක කතාන්දර කියන කලාවට අයිති චිත්‍රපටයක් නෙමෙයි.


ලොකු පීඩනයක ඉඳලා වැඩ කරන මිනිස්සුන්ට මම හිතන්නේ මේ චිත්‍රපටය හොඳ අස්වැසිල්ලක්.


හෙට දවසේ ඔබව මුණගැසෙන්නේ?


ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ වෙලාවේ ජීවත්වීම උදෙසා සිදු කරනු ලබන ටෙලිනාට්‍ය දෙක තුනක් තියෙනවා. ඒවායෙ වැඩකටයුතු ටික කරගෙන යනවා.


ජගා, මෙගා වැඩවලට අකැමැතිද?


නැහැ… නැහැ… මෙගා වැඩවලට කැමැතියි. අපි ජීවත්වෙන්නත් එපැයි. එතකොට ජීවත් වෙන්න මේ වෙලාවේ තෝරා බේරාගෙන වැඩ කරන්න වෙන්නේ නැහැ. මම තෝරා බේරාගෙන වැඩ කරන්න යන්නෙත් නැහැ. මොකද මට එහෙම කරන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. මොකද මම ජීවත් වෙන්නත් එපායෑ. හැබැයි ඔය අතරේ හම්බවෙන සමහර නිර්මාණවලට සහභාගි වුණාම මම මුදල් බලන්නේ නැහැ. ඒ චරිතය ඇතුළේ මට කොතරම් දුරට කැපවෙන්න පුළුවන්ද කියලා විතරයි බලන්නේ. මොකද ඒ වැඩේ ගොඩක් හොඳ වැඩක් විදිහට ගොඩදාගන්න බලන්නෙ.


දිනේෂ් විතාන



Previous Post Next Post