ඈ ලියූ පද කියවලා අපි හැමෝම ගල් ගැහුණා - තිළිණ රුහුණගේ

 


සුනීර සුමංගගේ නවතම ගීතය රචිතා වාකිෂ්ට ලිව්වේ තිළිණ රුහුණගේ තම පියාගේ දේහයේ අවසන් කටයුතු සිදු වූ දිනට පසු දින උදෑසන සුදු වතින් සැරසී පියාගේ අළු තැන්පත් කිරීම සඳහා සොහොනට යන්න සූදානම් වූ මොහෙතේදී ය. මවුපියන් ආදරයෙන් රැක බලා ගන්නා තම සැමියා වෙත ආදරණීය බිරිඳක ලෙස සිය යුතුකම් ඉටු කරමින් ගිලන් වූ මාමණ්ඩියගේ කැත කුණු පවා ඉවත් කර පිය සෙනෙහසින් ඔහුට රැකවරණය ලබා දෙමින් ගත වූ කාලයට විරාමය තබමින් ඔහු තම පුතු ද ලේලිය ද බිරිඳ ද අතැර සඳහටම සමුගෙන ගිය මොහොතේ ආදරණීය පුතුගේ හද තුළ කැළතෙන ශෝකය දෑසින් දකිමින් රචිතා ලියූ මේ ගීතය කලඑළි දකින්නට ආසන්නව ඇත. පිය වියෝ සන්තාපය සත්සර සමඟ මුසු කර හිස් අහසට මුදා හැර “තාත්තාගේ අළු” ගීතය සමස්ත දූ පුතුන්ගේ ළසෝ ගීයක් බවට පත් කරන්නට සැරසෙන තිළිණ රුහුණගේ සමඟ අපි මේ කතා බහ අරඹමු.


තාත්තාගේ අළු ගීතයේ වැඩ අවසන් ද….?


ඔව්. බොහෝ දුරට අවසානයි. මගේ ‘වොයිසි මියුසික්’ ආයතනයේම නිෂ්පාදනයක් විදිහට තමයි එ් ගීතය එළි දක්වන්නේ. රූගත කිරීම් කරලා තියෙන්නේ. තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. මගේ බිරිඳ රචිතා වාකිෂ්ට. මගේ තාත්තා මියගිය පසු තාත්තාගේ අළු තැන්පත් කරන්න යන්න මම සූදානම් වෙලා ඉන්න වෙලාවේ බිරිඳ රචිතා මගේ දුරකතනයට මේ පද පෙළ යොමු කරලා මට තවත් දුක හිතෙයි කියලා එසැණින් ඒක මකා දමලා තිබුණා. එදා හැන්දෑවේ අපි එක තැනක බලාගත්ත අතේ බලාගෙන ඉන්න වෙලාවක ඒ නිහඬ බව අතරට ඇය මේ ගී පද නැවත රැගෙන ආවා. ඒ පද කියවලා අපි හැමෝම ගල් ගැහුණා. එතැන ඉඳලා මගේ තාත්තා නැති වුණු වේදනාව, පාළුව, සාංකාව මේ සමාජයේ සෑම දරුවෙකුටම පොදු බව වටහා ගනිමින් එය සමාජගත කිරීමට මේ ගීතය නිර්මාණය කළා.


ඔබගේ ගීත විශාල ප්‍රමාණයක් පසුගිය කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා නේද….?”


ඇත්තටම මමත් බලාපොරොත්තු නොවූ තරමට ඒ ගීත ජනප්‍රිය වුණා. සුනීර සුමංග ගයන ‘සන්තාන සුසුම් දවටා…, සමිතා මුදුන්කොටුව ගයන පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්…, ආත්මා ලියනගේ ගයන පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.., ශෂිකා නිසංසලා ගයන ඇස්දෙක පුරා….., ජගත් වික්‍රමසිංහ ගයන මං නුඹෙම ද අහන මුවින්….. වගේ ගීත ඒ අතර විශේෂයි. ලොකු සතුටක් දැනෙනවා.


ඔබ අද සංගීතඥයෙක් වුණාට ඔබ හීන මැව්වේ ක්‍රිකට් ක්‍රීඩකයකු වෙන්න නේද….?


මම උපන්නේ බණ්ඩාරවෙල. ඊ. ඩබ්. අධිකාරම් පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. ඉන් පස්සේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට ගියා. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙලා උසස් පෙළ කලා විෂයයන් සංගීතයත් සමඟ තෝරාගෙන ඉගෙන ගනිමින් ඉන්න අතරේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ වනවිටත් මම පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂ ලෙස නියැළී සිටි නිසා මොරටුවට ආවාම මගේ ඒ හැකියාවට ලොකු අවස්ථාවක් ලැබෙන නිසා මම වේල්ස් කුමර විද්‍යාලයට ආවා. ඉගෙනීම් කටයුතු එක්ක ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා දහනවයෙන් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමටත් තේරී පත් වුණා. මගේ නම ගහපු නිල ක්‍රිකට් ඇඳුම් මට ලබා දුන්නා. නමුත් අවාසනාවන්ත විදිහට අවසානයේදී මගේ නම ඉවත් කරලා. සති දෙකක් පුහුණුවීම් කළ කෙනෙකුගේ නමක් මගේ නම වෙනුවට ආදේශ කළා. ඒ වේදනාව දරා ගන්න බැරුව මම ආයෙමත් මොරටුවෙන් අස්වෙලා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයටම ගිහින් ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අතෑරලා උසස් පෙළ සංගීතය හදාරලා කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණා.


ඒ කියන්නේ ආයෙමත් කොළඹ එනවා ද…?


ඔව්. මම කැලණිය විශ්වවිද්‍යාලයට එනවා. ඒ ආවාම ආර්ථික අපහසුතා ටික ටික දැනෙන්න පටන් ගන්නවා. ඒ අතර පොඩි පොඩි රැකියාවන් කිහිපයක් කළා. යමහා ආයතනයේත් වැඩ කළා. මාධ්‍යයට සම්බන්ධ හැදෑරීම් පාඨමාලා කිහිපයකුත් කළා. ඊට පස්සේ තමයි හිරු මාධ්‍ය ජාලයේ සංගීත අධ්‍යක්ෂවරයෙන් විදිහට රැකියාව ලැබුණේ. අරවින්ද ලොකුගේ මහතා තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. මගේ ජීවිතය කණපිට ගහපු පුද්ගලයා ඔහුයි. හිරු මාධ්‍ය ජාලයේ සියලු සංගීත කටයුතු මම සිදු කළා. එහිදි කළ ගීත අතිශය ජනප්‍රිය වුණා. ඊට අමතරව චාමර බණ්ඩාර මහතා තමයි මට කොළඹ ඇවිත් නතර වෙන්න නොමිලේම අවස්ථාව ලබා දුන්නේ. මට සංගීත ජීවිතයේ මේ දුරක් එන්න මුලින්ම අත දුන්නේ මගේ සංගීත ගුරුවරිය මානෙල් වීරසුන්දර ගුරුමෑණියන්. ඊට පස්සේ මම සංගීතයේ වැඩිදුර හැදෑරීම් කරන්න ජගත් වික්‍රමසිංහ මහත්මයා ළඟට ආවා. මගේ හැකියාවන් හඳුනගෙන එතුමා මාව එතුමාගේ සංගීත කණ්ඩායමට බඳව ගත්තා. පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ “ගී ගජමුතු” ප්‍රසංගයේ නිත්‍ය කී බෝඩ් වාදකයා ලෙස ජගත් වික්‍රමසිංහයන්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ මම සම­්බන්ධ වුණා. ඒ මගේ සංගීත ජීවිතයේ පළමු පියවරයි. අතුල අධිකාරී මහතාත්, සමිතා මුදුන්කොටුව මහත්මියත් කිසිම සීමා මායිමක් නැතුව මගේ සංගීත ජීවිතයට උදව් කළා. මම මේ වෙද්දි මගේ ම සංගීත ආයතනයක් ‘වොයිසි’ නමින් ආරම්භ කරලා පවත්වාගෙන යනවා. එහිදී සංගීත අධ්‍යක්ෂණය, සංගීත සංයෝජන, පටිගත කිරීම්, රූප රචනා කිරීම් වැනි සංගීතයට අදාළව ඕනෑම දෙයක් කර ගන්න පුළුවන් පහසුකම් තියෙනවා.


ඔබගේ මවුපියන් සංගීතයට සම්බන්ධයි ද…?


ගීත ගැයීමේ හැකියාවක් අම්මාට තිබුණා. අම්මා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක් විදිහටත්, උප විදුහල්පතිනිය හැටියටත් සේවය කළා. අම්මාගේ නම අනුලා රණසීලි. අම්මා ගුවන්විදුලියේ බී ශ්‍රේණියේ ගායිකාවක් වුණත් ඇයගේ රැකියාවේ ස්වභාවයත්, තාත්තාගේ අකමැත්තත් නිසා ගායන අංශයෙන් ගමනක් යන්න අම්මාට අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් අම්මාගේ ආසාවක් තිබිලා තියෙනවා දරුවෙක්වවත් සංගීත ක්ෂේත්‍රයට යොමු කරවන්න. එහෙම හිතලා අම්මා මට පුංචි කාලේ පොඩි කී බෝඩ් එකක් අරන් දුන්නා. ඒකෙන් මම ඒ කාලේ සංගීතය පැත්තෙන් පාසලේ ලොකු ලොකු වැඩ කළා. තාත්තා ආනන්ද රුහුණගේ සි. ටී. බී. එකේ ඩිපෝ තුනක දිස්ත්‍රික් සම්පාදන නිලධාරි හැටියට වැඩ කළා. තාත්තා සංගීතයට ලොකු සම්බන්ධයක් නැහැ.


සංගීත ක්ෂේත්‍රයේ වසර විසි දෙකක් වෙලත් මෙතෙක් ඔබගේ සංගීත ප්‍රසංගයක් පවත්වලා නැහැ නේද…?


ඒ ගැන ලොකු ආසාවක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මට ගැළපෙන විදිහේ අනුග්‍රාහකයෙක් හොයා ගන්න මට තව ම බැරි වුණා. හොඳ අනුග්‍රාහකයෙක් ලැබුණු විගස මම මගේ ජනප්‍රියම ගීත හතළිහක් විතර තෝරගෙන ගී ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා.


තුෂාරී කළුබෝවිල




Previous Post Next Post