මම විශ්වාස කරපු සිනමාව දේශසීමාවන් හඳුනන්නේ නැහැ-ප්‍රසන්න විතානගේ

 



දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසත් තිරපිටපත් රචකයකු ලෙසත් දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රසන්න විතානගේ ලාංකේය සිනමාවේ දේශපාලන සිනමාකරුවා ලෙස අවිවාදයෙන් හඳුන්වා දිය හැකිය. ඔහුගේ සම්මානනීය සිනමාපට පෙළහර අතරට එක්වූ ‘පැරඩයිස්’ නවතම සිනමා නිර්මාණයයි. එය දැනටමත් ජාත්‍යන්තර සිනමාවේදී සම්මානයට පාත්‍ර වී ඇත. ‘පැරඩයිස්’ පදනම් කරගෙන ප්‍රසන්න විතානගේ ගේ සිනමාව ගැන  කළ කතාබහකි මේ. ‘පැරඩයිස්’ සමඟින් ඔබ ලාංකේය සිනමාව දේශසීමාවෙන් ඔබ්බට රැගෙන ගියත් එය මලයාලම් සිනමා කෘතියක් බවට පත්වෙනවා.


මේ ගැන අපි මුලින්ම කතා කරමු?


ලාංකේය සිනමාව දේශ සීමාවෙන් ඔබ්බට ගෙන යෑම ‘පැරඩයිස්’ චිත්‍රපටයේ පමණක් නොවේ. මගේ දෙවැනි නිර්මාණය වුණු ‘අනන්ත රාත්‍රිය’ සිට මගේ උත්සාහය වුණා. මගේ උත්සාහයකටත් වඩා මම විශ්වාස කරපු දෙයක් සිනමාව දේශසීමාවන් හ¾දුනන්නේ නැහැ. මොකද සිනමාවේ බස විශ්ව භාෂාවක්. එය සිනමාවේ ස්වභාවය. මම සිනමාවේ ස්වභාවය හ¾දුනාගෙන චිත්‍රපට නිර්මාණය කළා. ඉතිං ඒවා දේශසීමාවෙන් ඔබ්බට ගියා. ‘පැරඩයිස්’ සුවිශේෂ වන්නේ එය පූර්ණ වශයෙන්ම ඉන්දීය මූල්‍ය ආයෝජනයක් නිසා. කේරළයේ නිව්ටන් චිත්‍රපට සමාගම තමයි මේ ආයෝජනය සිදු කළේ. එය මලයාලම් සිනමා පටයක් කියලා  හිතෙන්නේ මෙහි ප්‍රධාන චරිත දෙක කේරළයේ උපන් මලයාලම් ජාතිකයන් වීම නිසයි. ඇත්තටම මෙය මලයාලම් සිනමා කෘතියක් නෙවෙයි. එය බහුභාෂීය කෘතියක්. ඉංග්‍රීසි, සිංහල, දෙමළ, හින්දි හා මලයාලම් වැනි භාෂා පහක් චිත්‍රපටයේ ඇතුළත් වෙනවා. භාෂාවේත් දේශපාලනයක් තිබෙනවා. ඒ භාෂා පහෙන් මම දන්නේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙක පමණයි. මෙහි මම නොදන්නා භාෂා තුනක් තිබෙනවා. ඒ භාෂාවලින් දෙබස් කියන විට නළු නිළියන් මෙහෙයවන්නේ කොහොමද කියන එක එක්තරා අභියෝගයක්. මොන භාෂාවෙන් වුවත්, ඔවුන් කතා කරන ඉරියව් තුළ හා විලාසය, වදන්වලින් නොතේරුණත්, ඒ පිටුපස තිබෙන හැඟීම අධ්‍යක්ෂවරයකුට දැනෙනවා. ඒ අයුරින් තමයි මම අභියෝගය ජය ගත්තේ.


ගෝල්ෆේස් අරගලය ‘පැරඩයිස්’ නිර්මාණය වීමට යම් බලපෑමක් කළාද?


ගෝල්ෆේස් අරගලය නොවුණා නම් “පැරඩයිස්’ කියා චිත්‍රපටයක් නැහැ. වස්තුබීජය වෙලා තිබෙන්නේ අරගල වකවානුව තුළ ලංකාවට එන ඉන්දීය යුවළක් ගැන. ගෝල්ෆේස් අරගලය කියන්නේ ගෝල්ෆේසයට පමණක් සීමා වුණු අරගලයක් නොවේ. ඊට සමගාමීව ලංකාවේ විවිධ පළාත්වල ජනතාව එළියට බැහැල පෙළපාළි ගියා. ගෑස් ඉල්ලලා පාරට බැස්සා, වාහන නවත්වලා උද්ඝෝෂණය කළා. එය තමයි මට මූලික උත්තේජනයක් සැපයුවේ. ගෝල්ෆේස් අරගලය කියන්නේ, පන්ති අරගලය තවදුරටත් නැහැ. ජනතාව පාරට බහින්නේ නැහැ. දුන්නු දෙයක් කාලා, ටෙලිවිෂන් බලාගෙන ඉන්නවා කියන මිථ්‍යාව බිඳ දැමීමක්. කලාකරුවෙක් ලෙස මම එයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද, කියන කාරණය සහ මේ පැනනැඟුණු සමාජ ප්‍රපංචය ගැන මට කියන්න තියෙන දේ තමයි ‘පැරඩයිස්’ සිනමාපටය.


රාම – රාවණා ගැන ලංකාවේ පවතින ප්‍රබන්ධය ඔබේ සිනමා නිර්මාණයෙන් ප්‍රශ්න කරනවා නේද?


ඔබේ ප්‍රශ්නයේම පිළිතුර තිබෙනවා. මේ යුවළ එන්නේ රාමායන චාරිකාවක්. රාමායන චාරිකාවක් කියා හ¾දුන්වන්නේ රාම – රාවණා සිදුවීම් වූ බවට විශ්වාස කෙරෙන තැන්වලට. මේ වෙලාවේ එම ස්ථාන, චාරිකාවක් ලෙස අලෙවි වෙනවා. ඒ වගේම සමහර සිංහල ජාතිකවාදීන් රාවණාව විශ්වාස  කරනවා. එය ඔවුන්ගේ මතවාදය සඳහා උත්තේජනයක් සපයනවා. ඒ වගේම හින්දු ජාතිකවාදීන්ට රාම උත්තේජනයක් පමණක් නෙවෙයි ඊට එහා ගිය රාම සංකල්පය මුල් කරගෙන ඉන්දියාවේ ස්වෝත්තමවාදයක්


බිහි වී තිබෙනවා. ඇත්තටම අපි දන්නේ නැහැ මේ එන යුවළ රාම – රාවණා විශ්වාස කරනවාද නැද්ද කියලා. ඔවුන් එන්නේ රාම – රාවණා කතාව ප්‍රශ්න කරන්න නොවේ. නමුත් ඔවුන් මුහුණ දෙන අත්දැකීමත් එක්ක මේ ඉතිහාසය එහෙමත් නැත්නම් මේ මිථ්‍යා ප්‍රබන්ධය ඔවුන්ගේ ජීවිතවලට බලපාන්නේ කෙසේද යන්න විග්‍රහ කරනවා. තවත් පැහැදිලි කළොත් ඔවුන් මේ ස්ථානවලට යන එක මට පෙන්වන්න වුවමනා වුණේ සංචාරක ඇහැකින් නොවේ. මේක සංචාරක ව්‍යාපෘතිය උලුප්පා දක්වන්න හෝ එය මතු කිරීමක් නොවේ. මගේ අවධානය මේ චරිත දෙක. ඔවුන්ට ලංකාවේදී කිසියම් සිදුවීමකට මුහුණපාන්න සිදුවෙනවා එය ඔවුන්ගේ


ජීවිත වෙනස් කරනවා. ඔවුන් තුළ රාම – රාවණා කතාව ගැන අර්ථකථනය වෙනස් වන්නේ කෙසේ ද, විශේෂයෙන් කාන්තාව තුළ එය වෙනස් වන්නේ කෙසේද සහ වාල්මිකී ලියූ රාමායනය අධිනිශ්චය වෙලා තිබුණත්, ඇත්තටම ඒ.කේ. රාමානුජන් කියන ලේඛකයාගේ ‘many ramayans’ කෘතියෙහි රාමායන කතා 300 ක් අඩංගුයි. ඉන්දියාවේ, ලංකාවේ විතරක් නොවෙයි තායිලන්තය දක්වා පරිවාර ආසියාතික රටවල මෙන්ම, ලෝකය පුරාම රාමායන කතා විසිරී තිබෙනවා. මේ සිදුවීම් විවිධ සමාජ කණ්ඩායම්වල දේශපාලන අවශ්‍යතා අනුව වාල්මිකීගේ රාමායනය අධිනිශ්චය වෙලා තිබුණත්, අධ්‍යක්ෂවරයා ලෙස මම ප්‍රේක්ෂකයන්ට ඇරයුමක් කරනවා ඔබේ අර්ථකථනයත් ඉදිරිපත් කරන ලෙස.


පැරඩයිස් චිත්‍රපටයත්  ස්ත්‍රී කේන්ද්‍රීයයි. ඔබේ නිර්මාණවල ස්ත්‍රීවාදී නැඹුරුවක් තිබෙනවා කියලා මම පැවසුවහොත්?


මම හිතාමතා ස්ත්‍රිය කේන්ද්‍ර කරගෙන එවැනි නැඹුරුවකින් චිත්‍රපට කරනවා නොවේ. මේ මම ජීවිතය දකින හැටි, අපේ රටේ ස්ත්‍රිය පවුල් ජීවිතයේදී, කාර්යාලයේදී, වැඩ බිමේදී පෙරමුණේ සිටියත්, මවක්, බිරියක් ලෙසට පූජාසනයේ සිටුවනමුත් ස්ත්‍රියගේ පැත්තෙන් ඇයව තේරුම් ගැනීමක් සිදුවෙනවාද? දේශපාලනය තුළ, කලාව තුළ, ස්ත්‍රියට හිමි තැන ලැබිලා තිබෙනවා ද යන්න පිළිබඳ ගැටලුවක් පවතිනවා.


මගේ අවධානය පීඩිතයා කෙරෙහි යොමු වෙනවා නම්, අනිවාර්යයෙන්ම ස්ත්‍රිය කියන්නෙ පීඩිතයෙක්. ඒ තමයි අපේ රටේ ජන ජීවිතය ගැන මා දකින සත්‍යය. නමුත් සිනමා නිර්මාණය තුළ හිතාමතා ස්ත්‍රීවාදී නැඹුරුවක් ගන්න මම උත්සාහ දැරුවේ නැහැ.


මේ ස්ත්‍රී කැරැල්ල ගත්තම අනිවාර්යෙන්ම අපිට පිළිගන්න සිදු වෙනවා, තමන්ට අහිමි දේ සම්බන්ධයෙන් මෙන්ම ලැබිය යුතු දේ වෙනුවෙන් මේ රටේ ස්ත්‍රීන්ගේ පෞද්ගලික මට්ටමේ කැරැල්ලක් තියෙනවා. දේශපාලනික මෙන්ම සාමූහික වශයෙනුත් පෙනී සිටීමක් තියෙනවා. මේ කැරැල්ලත් මම හදපු කැරැල්ලක් නොවේ. සමාජයේ පවතින එම ස්ත්‍රීන්ගේ කැරැල්ල දකින එකයි මම කරලා තියෙන්නේ.


ඔබේ සෑම සිනමා නිර්මාණයක් තුළම සමාජ – දේශපාලන මතවාදයක් පෙන්නුම් කරනවා. එනිසාම විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වුණා නේද?


මම කිසියම් දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. මගේ සිනමා චරිත දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නිදසුන් ලෙස ‘පුරහඳ’ කළුවර හි වන්නිහාමිගේ දේශපාලන මතවාදයක් නැහැ. තම පුතු අහිමි වීම ඔහුට දරා ගත නොහැකි වීම නිසා එය දික් ගැස්සුණු බාර නොගැනීමක් බවට පත් වෙනවා. ඒ බාර නොගැනීම එක්ක ඔහු යම් දේශපාලන මතවාදයක් නියෝජනය කරනවා කියලා හිතන්න බැහැ.


මම චිත්‍රපට තිර රචනයක් ලියනවිට කිසියම් මතවාදයක් පෙරදැරි කරගෙන පිවිසෙනවා නම් මට ඇත්ත දකින්න බැහැ. කලින් ප්‍රශ්නයකදී ඔබ මතු කළා ‘පැරඩයිස්’ සිනමා නිර්මාණය තුළින් රාම – රාවණා ප්‍රබන්ධය ප්‍රශ්න කරනවා නේද කියලා, නමුත් සමාජයේ විවිධ පාර්ශ්වයන් මෙය දකින්නේ විවිධ ආකාරයෙන්. එක්තරා දේශපාලකයෙක්  කීප අවස්ථාවකදීම පවසා තිබුණා මේ චිත්‍රපටය ඉන්දියානු කෙමනක් නැත්නම් ඉන්දියානු කුමන්ත්‍රණයක් කියා. ඒ ඒ පාර්ශ්වයන් ඔවුන් දා ගන්නා කණ්ණාඩිවලින් බැලීමේදී ඔවුන්ට චිත්‍රපටය නිවැරැදිව කියවන්න බැරි වෙන්න පුළුවන්.


ඔබේ ඉදිරි නිර්මාණ සහ අපේ සිනමා කර්මාන්තයේ හෙට දවස ගැන ඔබ මොකද හිතන්නේ?


මම හැම වෙලාවේම චිත්‍රපට ප්‍රබන්ධකරණයේ නැත්නම් තිර රචනයේ යෙදෙමින් ඉන්නවා. අලුත් චිත්‍රපට දෙකක තිර පිටපත් නිර්මාණයේ මූලික අදියරයේ පසුවෙන්නේ. ඒ නිසා නිර්මාණකරණය මගේ දින චර්යාවන්ගේ කොටසක්. ලංකාවේ සිනමාවේ හෙට දවස ගැන කතා කරද්දී අපි ආර්ථික අර්බුදයක ඉන්නේ කියන එක අමතක කරන්න බැහැ.  අනෙක් රටවල මෙන් ‘නෙට් ෆ්ලික්ස්’,


‘ඇමර්සන්’ වගේ නව මාධ්‍යයන්ට අපේ රටේ සිනමාව ලෝකයත් සමඟ එකතු වෙමින් ඇතුල් නොවීම නිසා දේශීය වශයෙන් තරුණ සිනමාකරුවන්ට පෙරහුරුවක්, අත්දැකීම් ලබා ගන්න එවැනි මාධ්‍යයන් නොමැතිකමත් ගැටලුවක්. ඒ නිසා බොහෝ දෙනෙක් රූපවාහිනියට නැඹුරු වෙනවා. අපි දන්නවා දේශීය නිර්මාණ ලෙස ගත්තොත් තියෙන්නේ අපගමනයක් මිස ප්‍රගමනයක් නොවෙයි.


දේශීය සිනමා කර්මාන්තයේ තිබෙන ගැටලු අභියෝග ගැන අපි කොතෙක් කතා කළත් ඒ ගැටලුවලට ප්‍රතිකර්ම තනි තනි පුද්ගලයන්ට ගේන්න බැහැ. ඒවා ජාතික ප්‍රතිපත්තියක කොටස් විය යුතුයි.


සිනමාව යාවත්කාලීන විය යුතු උපකරණවලින් නෙවෙයි අදහස්වලින්, සහ අලුත් ලේවලින්. මම මගේ ජීවිත කාලය තුළ ලංකාව දකින හැටි නිර්මාණවලට ගෙනැල්ලා තිබෙනවා. අවුරුදු විසිපහේ තරුණයෙක් ඒක දකින විධිය මට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ දෙවර්ගයම නරඹන ප්‍රේක්ෂකයෝ ඉන්නවා කියන දේ දැන ගත යුතුයි. සිනමාකරුවන් දෙදෙනෙක් වෙනස් වන්නේ ඔහු හෝ ඇය ජීවිතය දකින ආකාරයේ වෙනස්කම තුළයි. නැත්නම් ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව මත. එවැනි අනන්‍ය වූ හඬවල් මතු වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. නමුත් ටෙලිවිෂනයේ එවැනි අනන්‍ය හඬක් මතු වෙන්නේ නැහැ. එම නිෂ්පාදන සමාගමේ හඬ මිසක් මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී හෝ වෙනස් විය යුතුයි.



Previous Post Next Post