අහම්බෙන් හරි මම හිතපු දේ ලැබුණු එක සතුටක්-චතුරංග කොඩිතුවක්කු



මේ දිනවල විකාශය වන සින්ධු, ජානු ආදී ටෙලි සිත්තම් ගණනාවකින් ඔබේ ආලින්දයට එන ඔහුගේ මුහුණුවර නම් ඔබට හුරුපුරුදු බව නිසැකයි. රසික හදවත්හි ලැඟුම්ගත් ඔහු ආදරණීය කඩවසම් රංගන ශිල්පියෙක්. විවිධාකාර චරිත හමුවෙන් ඔබේ ආදරය දිනාගත් ඔහු නමින් චතුරංග කොඩිතුවක්කු. මෙවර හදගැස්මට ඔහු එක් කළ සො¾දුරු කතාබහයි මේ. මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල ටෙලි නාට්‍යය කිහිපයක වැඩ කටයුතු කරගෙන යනවා. ‘ජානු’ ටෙලි නාට්‍යය, ‘See You’ ටෙලි නාට්‍ය, ‘රොන්’ ටෙලි නාට්‍යය වගේම ‘සින්ධු’ ටෙලි නාට්‍යයේත් වැඩ කටයුතු තමයි කරගෙන යන්නේ. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යය දෙකක් විතර ඉදිරියට ටෙලිකාස්ට් වෙන්න තිබෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු ටික තමයි දැනට තිබෙන්නේ.


මේ දිනවල රසිකයන් අතර අතිශය ජනප්‍රිය ඔබ රංගන දායකත්වය ලබාදෙන ‘සින්ධු’ ටෙලි නාට්‍යය ගැන කතා කරමු?


සින්ධු ටෙලි නාට්‍යයට කතා කළේ ලසිත කාරියවසම්. ඔහු තමයි ‘සින්ධු’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. සින්ධු ටෙලි නාට්‍යයේ මම රංගන දායකත්වය ලබා දෙන්නේ ‘පවන්’ කියන චරිතයට. ඒ චරිතය ගැන කතා කළොත් පවුලේ වගකීම් අරගෙන ඒවා ඉටු කරන්න හදන කැරැක්ටර් එකක්.


ඔබට ලැබෙන රසික ප්‍රතිචාර ගැනත් කතා කරමු?


හැමදාම වෙනසක් නැතිව හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ඒ ගැන ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ දිනවලත් වෙනසක් නැතිව ලැබෙනවා.


ඡායාරූප ශිල්පියකු විධියට ක්ෂේත්‍රයට පිවිසි ඔබ අද නැඟී එන ජනප්‍රිය නළුවෙක් දක්වා පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?


ඔව්, මම මුලින්ම ඡායාරූප ශිල්පියකු විධියට තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි. මම ආසාවෙන් හිටපු දෙයක් තමයි රඟපාන්න සම්බන්ධ වෙන එක.


ඉතින් ඒක හිතේ තිබුණ දෙයක්. නමුත් මට අහම්බයෙන් තමයි අවස්ථාව ලැබුණේ. ඉතින් අහම්බයෙන් හරි මම හිතන් ඉඳපු දේ සැබෑ වුණ එක ගැන සතුටුයි. ඉතින් මම පැමිණි ගමනේදී ගොඩක් මහන්සි වුණා. ඒ වගේම ගොඩක් කැපකිරීම් කළා. ඉතින් මට ඒ ගැන සතුටක් දැනෙනවා.


ඔබ ටෙලි තිරයේ බොහෝ විට දකින්නට ලැබෙනවා සේම ඉදිරියේදී රිදී තිරය තුළත් වෙනසක් සිදු කරයිද?


දැනට මම ඉදිරියට තිරගත වීමට නියමිතව තිබෙන “මදර් ලංකා” කියන ෆිල්ම් එකේ කැරැක්ටර් එකක් කළා. ඉතින් තවම නම් රිදී තිරයේ නිර්මාණවලට ලොකුවට ආරාධනා ලැබිලා නැහැ. ඉදිරියට මට තිබෙන ලොකුම ටාගට් එක රිදී තිරය තමයි. ඉතින් ඒ ටාගට් එකට හදිස්සියක් නැතිව හෙමිහිට යනවා. හෙමිහිට මගේ ටාගට් එකට යන්න තමයි බලාපොරොත්තුව.


ඔබ ඉදිරියේදීත් නිවේදකයෙක්, ඡායාරූප ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් ආදී සියලු ක්ෂේත්‍ර තුළින්ම දැකිය හැකිද?


නිවේදන කටයුතු දැනටත් මම කරගෙන යනවා. හිරු ටොප් ටෙන් චාර්ට් ෂෝ එකේ නිවේදන කටයුතු කලින් කළා. දැන් මේ දවස්වල මම අඟර දඟර කියන ගේම් ෂෝ එකේ නිවේදන කටයුතු කරගෙන යනවා. ඡායාරූප ශිල්පියෙක් විධියට මගේ ව්‍යාපාරයක් ලෙසින් නැවත වැඩ පටන් ගන්න අදහසක් තිබෙනවා. ඒ ක්ෂේත්‍ර තුනම මම හරිම කැමැති ක්ෂේත්‍ර තුනක්. ඉතින් ඒ ක්ෂේත්‍ර තුනම ඔස්සේ නවත්තන්නේ නැතිව වැඩ කටයුතු කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.


ඔබ චරිත තෝරා බේරා ගන්නේ කෙසේද?


මම ඕනෑම චරිතයක් භාරගෙන කරන්න ආසයි. හැම චරිතයක්ම ඉතින් අභියෝගයක්නේ. නමුත් මම හැමවෙලේම උත්සාහ කරන්නේ එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන්න. ලැබෙන ඕනෑම චරිතයක් මම ඉතින් සතුටින් භාරගන්නවා.


නව පරපුරේ රංගන ශිල්පියෙකු ලෙස වත්මන් කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?


මම දකින විධියට කලාව කාලයක් වැටුණු අවස්ථාවන් තිබුණා. නමුත් දැන් නැවතත් ලංකාවේ කලාව හොඳ තැනකට එන ගමන් තිබෙනවා. ඉදිරියට මීටත් වඩා හොඳ නිර්මාණ බිහිවෙයි කියලා හිතෙනවා. ප්‍රේක්ෂකයෝ තව තවත් වැඩි වෙයි කියලා හිතනවා.


රංගන ශිල්පියකුට ඇකඩමික් හැදෑරීමක් අවශ්‍යමද?


ඔව්. ඇකඩමික් හැදෑරීමකුත් ඕනේ. ඒ වගේම වාසනාව, කැපවීම වගේ දේවලුත් ඕනේ. මම තනියම දේවල් අධ්‍යයනය කරලා ඉගෙන ගන්න උත්සාහ කරනවා. හැම කෙනෙක්වම හොඳට නිරීක්ෂණය කරලා දේවල් ඉගෙන ගන්නවා. මම හිතනවා ඒ දේවල් අපට රංගන ජීවිතයේදී ගොඩක් වැදගත් වෙයි කියලා.


ඔබට ලැබෙන රසික ආදරය ගැනත් කතා කරමු?


ඇත්තටම ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා. මම හිතන්නේ මිනිසුන්ගේ ආදරය ලබන්න වාසනාවත් ඕනේ. මගේ කලා දිවිය තුළ මට ලැබුණු හොඳම වටිනාම දෙයක් විධියට තමයි රසික ආදරය කියන දේ මම දකින්නේ.


ඔබ රංගන ශිල්පියකු ලෙස එන ගමනේදී ඔබ හැදෑරීම් සිදු කළ අනෙකුත් ක්ෂේත්‍රවලිනුත් ඔබට පිටිවහලක් ලැබුණද?


ඇත්තටම ඡායාරූප ශිල්පියකු විධියට වැඩ කරපු නිසා රූගත කිරීම්වලදී කැමරාවට කොහොමද ෆේස් කරන්නේ කියන දේවල්වලට පන්නරයක් මට ලැබුණා කියලා හිතෙනවා. නිරූපණ ක්ෂේත්‍රයෙනුත් ෆැෂන් කිරීම සම්බන්ධව අත්දැකීම් එහෙම ලබා ගන්න පුළුවන් වුණා. මම හිතනවා ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයත් හොඳ තැනක තිබෙනවා කියලා. නිරූපණ ක්ෂේත්‍රය තුළටත් දැන් අලුත් මුහුණු ගොඩක් එකතු වෙලා තිබෙනවා.


රටේ අලුත් දේශපාලන වෙනස ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම දේශපාලනය මම ආස මාතෘකාවක්. මම හිතනවා හොඳ දෙයක් කරයි කියලා. හොඳ දෙයක් කළොත් ඉතින් පවත්වාගෙන යන්න පුළුවන්.


ළඟදී විවාහ වීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?


තවම නම් නෑ. බලමු ඉතින් ඉදිරියට.


ඉදිරි වැඩ කටයුතු ගැන කියනවා නම්?


මම ඉතින් ලොකු ප්ලෑන් තබාගෙන යන්නේ නැහැ. දැනට තිබෙන දේවල් කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. අද දවසෙ වැඩ අද දවසෙම උපරිමයෙන් කරන්න තමයි මම ට්‍රයි කරන්නේ.


රුවිනි අමරකෝන්



Previous Post Next Post