ගැහැනියක් ඉල්ලන්නේ නිර්ලෝභි ආදරයක් - හරිනි කාව්‍යාංජලී

 


හරිනි... ආදරය කියන දේ ඔයාට දැනෙන විදිහ කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න?


අපි මේ ලෝකයට ආපු දවසේ ඉඳන් මවගේ උණුසුමට, සෙනෙහසට ආදරය කරන්න, ඒ ආදරය විඳින්න පටන් ගන්නවා. ක්‍රම ක්‍රමයෙන් අපි ලොකු වෙද්දී අම්මා තාත්තාට, සහෝදරයන්ට, ඥාතීන්ට, යාළුවන්ට, ප්‍රේමවන්තයාට, දරුවන්ට, මේ සොබාදහමට, සතුන්ට, අපි ආදරය කරන්න පටන් ගන්නවා. මේ සොබාදහමේ ආරම්භයේ ඉඳන්ම, විශ්වයේ ආරම්භයේ ඉඳන්ම, හැමතැනම දකින්න තියෙන්නේ ආදරයයි. ඒ නිසා මම කියන්නේ ආදරය කියන්නේ මගේ පැවැත්මයි. ඒක විශ්ව ස්වභාවයෙන්ම පවතින බැඳීමක්. ආදරය නිසා සියල්ල විශ්වාස කරනවා. සියල්ල විඳ දරා ගන්නවා. මනුස්සයාගේ පටු මායිම් බිඳ දමලා සීමාව ඉක්මවා යන දෙයක්. ආදරය කියන දේ මේ හැමදෙයක් කෙරෙහි ඇති දැඩි සෙනෙහසක්. බැඳීමක්.


ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්‍රහණ හා වටිනාම දේවල් මොනවාද?


ආදරය නිසා මට ලැබුණු වටිනාම දේ වෙන්නෙ මගේ අම්මා තාත්තා, මගේ මල්ලි සහ මගේ පවුලේ අයයි. ඒ වගේම වටිනාම ජයග්‍රහණ වෙන්නෙ මගේ අධ්‍යාපනයයි. මගේ වෘත්තිය ජීවිතය සහ මම විනෝදාංශය වශයෙන් කරන දේවලු‍ත් මගේ ජයග්‍රහණ විදිහට හිතනවා. මේ හැමදේම මම හරිම ආදරයෙන් සහ ගරුත්වයෙන් කරන්නේ. ඒ වගේම ඒ හැමදේම මම හරිම කැපවීමෙන් කරනවා. ඒ නිසා දැනට මට ඒ හැමදේම ලැබිලා තියෙනවා.


ආදරය නිසා හරිනිගෙ ජීවිතයට ලැබුණු රිදුම්, අහිමිවීම් මොනවාද?


අපි සැලසුම් කරන සමහර දේවල් තියෙනවනේ. හැබැයි ඒ දේවල් ඒ විදිහටම අපිට ලැබෙන්නේ නැහැ. එක්කෝ අපි ඒක වෙනස් කරනවා. එහෙම නැත්නම් වෙන පාරක් හොයා ගන්නවා. එහෙම කරලා හරි මම මගේ පරමාර්ථයට ගමන් කරනවා.


ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ මොකක්ද?


අපට හම්බවෙන හැමදේකම අවසානය වෙන් වීමයි. ඒක පරම සත්‍යයක්. හැම හමුවීමකම වෙන්වීමක් තියෙනවා. ආගමානුකූලව බැලු‍වොත් ජීවිතයක හිමිවීමකට වඩා අහිමිවීම් වැඩි බව අපි ඉගෙනගෙන තියෙනවා. තණ්හාවෙන්, ආශාවෙන්, ළඟ තියාගන්නා දේවල් වුණත්, අපි හරි ආදරයෙන් තද කරගෙන ඉන්න දේවල් වුණත් යම් කාලයකදී නැතිවෙලා ශෝකය හටගන්නා බව අපි දන්නවා. ඒ අවබෝධය නිසා දුකෙන් නිදහස් වෙන්න බලනවා. මේ හැමදේම අනිත්‍යයි කියලා හිතාගෙනයි ඉන්නේ. එතැන තමයි නිවීම තියෙන්නේ කියලා මම දන්නවා.


නිළියක් විදියට ලැබෙන ප්‍රේක්ෂක ආදරය හුඟක් සංවේදීව දැනුණු තැන් තියෙනවද?


ප්‍රේක්ෂකයන්ගේ ආදරය විවිධාකාරයෙන් අපිට ලැබෙනවා. සමහර විරුද්ධ  පාර්ශ්වයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක ආදර සම්බන්ධතා හෝ විවාහය සම්බන්ධයෙන් විවිධ යෝජනා එනවා. ඒ වගේ දැනුණු තැන් තියෙනවා. සමහරු මම වෙනුවෙන් ලොකු කැපකිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇතැම් පුද්ගලයන්ගේ දෙමව්පියන් පවා අපිව විවාහ කර දෙන්න හරිම කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මොන දේ වුණත් කෙනෙකුගේ ආදරයට අපි ගරු කරන්න ඕනෑ. ඉතින් සමහරු “ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ. ඔයා නැතුව කිසිම දෙයක් කරගන්න බැහැ”‍ වගේ දේවල් කියනවා. මම ඒ හැම දේකදීම ලැබෙන ආදරයට ගොඩක් ආදරෙයි. මම මිනිසුන්ට ගොඩක් ආදරෙයි. ඉතින් එවැනි තැන්වලදී එයාලගේ හිත් රිදවන්නේ නැතුව මට පුළුවන් විදියට උපරිමයෙන් ප්‍රතිචාර දක්වලා ඒ අයට ඒක වටහලා දෙනවා. හැබැයි අපිට ආදරය කරන්න තහනම් කරන්න කාටවත් බැහැ. වළක්වන්න බැහැ. එපා කියන්නත් බැහැ. ආදරයක් ඕනෑම කෙනෙකුගේ හිතට ඇතිවෙන්න පුළුවන්. ඒකට කාලයක්, වයසක් අදාළ වෙන්නේ නැහැ.


ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදී ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?


අපි ආදරය කරන්නේ විරුද්ධ පාර්ශ්වයට කියලා හිතන්නකෝ. හැබැයි අපිට සර්ව සම්පූර්ණ මිනිස්සු හම්බවෙන්නේ නැහැ. සියයට සියයක් ගැලපෙන අයත් නැහැ. ඒ වගේම සියයට සියයක් නොගැලපෙන අයත් නැහැ. ඉතින් අපේ වෘත්තිය ජීවිතයේදී හෝ වේවා, සහකරු සහකාරිය ස්වාමිපුරුෂයා හෝ වේවා, ඒ අසම්පූර්ණ කෙනාව අපිට සම්පූර්ණ කෙනෙක් විදියට දකින්න පුළුවන්. එතකොට අපි ආදරය කරන කෙනා අපි වගේ වෙන්න ඕනෑ නැහැ. මම වගේ කෙනෙක් මට අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ විවිධත්වය තුළ ආදරය කියන දේ සුන්දර වෙනවා. ලස්සන වෙනවා. මම ඒ විවිධත්වයට ආසයි. ගැහැනියක් ආදරේදී නිර්ලෝභීව ආදරය කරනවා. නිර්ලෝභීව ඒ ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ගැහැනියකට විශ්වාසය, රැකවරණය, සැනසීම, නිදහස, ගරුත්වය ලැබෙනවා නම්, රාක්ෂයකුට වුණත් ආදරය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ආදරය කරන කෙනාව පිට පෙනුමෙන් අපිට මනින්න බැහැ. පොහොසත් හදවතක් ඉරුණු කබායකින් වැසී තියෙන්න පුළුවන් කියලත් කියනවනේ. ඒ නිසා ආදරය පිටින් මනින්න බැහැ. ආදරේදී මම ආදරය උපරිමයෙන්ම ලබා දෙනවා.


ආදරේදී හරිනිට ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?


ආදරේදී මට ලැබුණු වටිනාම ත්‍යාගය වෙන්නෙ සැනසීමයි, සහනයයි. කාලය සහ විශ්වාසයයි.


ජීවිතේ ඒකපාර්ශ්වික ආදරයක් විඳලා තියෙනවද?


මම හිමි කරගන්න කියලා ඒකපාර්ශ්වික ආදරයක් නම් විඳලා නෑ. හැබැයි ලෝකයේ ඉන්න ජනප්‍රිය නළුවන්ගේ ලේඛකයන්ගේ පෞරුෂය, දැනුම, හැකියාව එක්ක ඇතැම් අයට ආදරය කරලා තියෙනවා. හැබැයි ඒ මගේම කරගන්න නම් නෙවෙයි.


ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැනක් තියෙනවද?


ආදරය මට හැමවෙලේම ඕනෑ. ඒක මට දැනෙනවා.


ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනෙකුට  පුරුදු කරගන්න හොඳම විදිහ මොකක්ද?


සියලු‍ වරදින් තුරන් වුණු කිසිම කෙනෙක් මේ ලෝකයෙ නැහැ. ඒ දහම අපි අවබෝධ කරගන්න ඕනෑ. ඒ නිසා හිමිවීම්, අහිමිවීම් තුළින් මම දේවල් ඉගෙන ගන්නවා. අවසානයේදී අපි හැමෝම මරණයට ළං වෙනවා. ඒ අතරමගදී මුණගැහෙන කිසිදු මානව හදවතක් අපි අතින් නොබිඳෙන්න අපි වග බලාගන්න ඕනෑ. ඔබ අපි තව කෙනෙක්ව මානසිකව වට්ටන තරමටම සංසාරේ මමත් ඔබත් මානසිකව වැටෙනවා. තව කෙනෙක්ව රවට්ටන තරමටම ඔබයි මමයි සංසාරේ රැවටෙනවා. ඒ වගේම බොරු කරන තරමටම අපිටත් සංසාරේ තව කෙනෙක් බොරු කරාවි. ඒ නිසා ප්‍රේමයට බොරු කරන මිනිසුන් සංසාරේ කොතැනක හෝ තනි වෙනවා.


ඒ කියන්නේ හරිනි ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවද?


ඔව්... ප්‍රේමය කියන්නෙ දෙමව්පියන්, මිතුරන්, සහකරුවන්, මේ හැමදේම එක්ක අපි කරන මොකක්දෝ ගනුදෙනුවක්. ඒ නිසා සංසාරගත බැඳීම් මම විශ්වාස කරනවා. මේ හැම දෙයක්ම සංසාරගත ගනුදෙනුවක් කියලයි මට හිතෙන්නේ.


• දිශානි ජයමාලිa



Previous Post Next Post