අපිව නළුවෝ කළේ විෂය ඇතුළේ ගහපු රස්තියාදුව – ජෙනට් ඇන්තනී

 



අද දවසේ අපේ කතානායකයාව “පාරාදීසේ” ටෙලිනාට්‍ය නරඹන ඔයාලට හොඳට මතක ඇති කියලා අපි හිතනවා. ඩිරෙක්ටර් මහත්තයෙක් විදිහට තමයි මෙයා මේ දවස්වල හරි ජනප්‍රිය. හැම තිස්සේම ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම විදිහේ නැවුම් රසවින්දනයක් ලබාදෙන ජෙනට් ඇන්තනී එහෙමත් නැත්නම් ‘ජෙනා’ එක්ක තමයි මේ කතාබහ.


ජෙනට් ඇන්තනී අධ්‍යක්ෂවරයෙක් වෙලානේ?


ඔව්. සමීර හසුන් අධ්‍යක්ෂණය කරන කෞෂල්‍ය පතිරණ පිටපත රචනය සිදුකරන පාරාදීසේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයකුගේ චරිතයක් තමයි ලැබුණේ. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සමීර හසුන්ට සහ කෞෂල්‍ය පතිරණට මේ අවස්ථාව ලබාදුන්නාට. මම හරි ආසාවෙන් මේ චරිතය කරගෙන යනවා. අනික අපිට නිතර දෙවේලේ අධ්‍යක්ෂවරු මුණගැසෙනවානේ. හරි පරිස්සමෙන් කරන්න ඕනෑ චරිතයක්.


අලුත් අධ්‍යක්ෂවරයා ගැන ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂණවරු මොනවද කිව්වේ?


හැමෝම කතා කරලා සුබ පැතුවා. ජෙනා හොඳට වැඩේ කරගෙන යනවා කියලත් කිව්වා. මෙවැනි චරිතයක් කරන්නත් හරි අමාරුයිනේ. හරියටම චරිතයට ප්‍රවිෂ්ට වෙන්න ඕනෑ නැතිනම් ඒ චරිතය කරන්න බැහැ.


කොස්තා අයියා ගැන කට්ටියගේ ප්‍රතිචාර මොනවගේද?


හැමෝම කතා කරලා කියන්නේ කොස්තා අයියා, කොස්තා අයියා කියලා. මේ දවස්වල ලංකාවේ ටෙලිනාට්‍යවල කාර්මික ශිල්පීන් අතර මේ චරිතය හරිජනප්‍රියයි. ගොඩක් වෙලාවට නිෂ්පාදන අංශයේ ශිල්පීන් උදේට වැඩ පටන් ගන්නේම සල්ලි පොදි පුතේ කියන දෙබස කියලා කියලයි ආරංචිය. ගොඩක් ටෙලිනාට්‍යවල යුනිට්වල වැඩ කරන්නේ මගේ යාළුවෝ. ඔවුන්ගෙන් මට දුරකථන ඇමතුම් පවා ගලාගෙන එනවා. මේ ටෙලිනාට්‍යයේ මේ චරිතය හරහා නිෂ්පාදක අංශයේ ශිල්පීන් කොච්චර වෙහෙසෙනවාද කියලත් කතාබහ වෙනවා. යුනිට් එකේ කට්ටියත් මේ නාට්‍යයේ රඟපානවා. ඒකයි මේ චරිතය මේ තරම් ජනප්‍රිය.


ඇත්තටම අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැතිද?


ආසාවක් තියෙනවා. මුලින්ම මම වේදිකා නාට්‍යයක් කරන්න ආසාවෙන් තමයි ඉන්නේ. මොකද මම පාසල් කාලයේ නාට්‍ය හා රංග කලාව විෂයයක් විදිහට හදාරනකොට කෙටි නාට්‍ය හතරක් කළා. මුලින්ම අධ්‍යක්ෂවරයෙක් විදිහට එනවා නම් වේදිකාව හරහා ගොඩනැඟෙන්න තමයි ආසාව තියෙන්නේ.

පාරාදීසේ කොස්තට අමතරව මොකද වෙන්නේ?


ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කරනු ලබන ‘විසේකාරී’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. තවම ඒ නාට්‍යය විකාශය වෙන්න පටන් ගත්තේ නැහැ. ඔය අතරතුරේ සචිත්‍ර රාහුබද්ධ අධ්‍යක්ෂණය කරනු ලබන ‘චක්‍රායුදම්’ කියන කෙටි නාට්‍ය ගොනුවටත් එකතුවෙලා ඉන්නවා.


‘චක්‍රායුදම්’ හි අත්දැකීම් මොනවගේද?


ඒක ඇත්තටම පර්යේෂණාත්මක නාට්‍ය හතරක්. තේමාවන් හතරක තමයි මේ නාට්‍ය හතර ගලාගෙන යන්නේ. මෙහි එක නාට්‍යයක චාන්දනි සෙනවිරත්න සහ ධර්මප්‍රිය ඩයස් රඟපානවා. තවත් නාට්‍යයක රඟපානවා ප්‍රියංකර රත්නායක සහ තුෂිනි. අනෙක් නාට්‍යයේ මමයි ජයමාලියි රඟපානවා. ඔය අතරේ සමාධි ලක්සිරි තවත් නිර්මාණයක වන් ඇක්ට් ප්ලේ එකක් සිදුකරනවා. පරම්පරා ගණනාවක නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.


මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?


හැමදාම මම කියන්නේ ඒක නිහතමානීව භාරගන්නවා කියලයි. ප්‍රේක්ෂකයෝ අපිට ආදරේ කරන්නේ අපි කරන චරිත හරහායි. මිනිස්සු අපිව විශ්වාස කරලානේ නාට්‍ය බලන්නේ. එතකොට අපි කරන චරිතය හරහා ඔවුන්ට උපරිමය ලබාදෙන්න ඕනෑ.


මෙතෙක් ආ ගමන ගැන පසුවිපරමක් සිදු කළොත්?


මෙතෙක් ආපු ගමනට වැඩිය මට තව ගොඩක් දුර යන්න තියෙනවා. නැවතිලා හැරිලා බැලුවට පස්සේ තව ගොඩක් දුරට ගමන් කරන්න ආසයි. මේ ආපු දුර ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම ලොකු අත්දැකීම් ටිකක් ජීවිතයට එකතුවෙලා තියෙනවා.


අපි දන්න ජෙනාට හොඳට සින්දු කියන්න පුළුවන්?


මගේ මිත්‍රයෙක් ඉන්නවා ප්‍රකාෂ් රණසිංහ කියලා. ඔහුත් සමග මම දමිළ ගීතයක් නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නවා. මොකද මගේ තාත්තා දමිළ ජාතිකයෙක්. පුංචි කාලේ ඉඳලා මම දමිළ ගීතවලට වගේම දමිළ චිත්‍රපටවලට ආසයි.


පරම්පරාවෙන්ම සංගීත ආභාසයත් තියෙනවා නේද?


ඔව්. මගේ අම්මාගේ අම්මා (ආච්චි) වාද බයිලා කලාවට සම්බන්ධ කෙනෙක්. පවුලෙන් ඒ ආභාසය ලැබිලා තියෙනවා. මම දන්නේ නැහැ ඒක මට තියෙනවාද කියලත්. මගේ ආච්චිගේ තාත්තා විල්බට් ෆොන්සේකා. ඔහු වාද බයිලා කලාවේ හිටපු හොඳ පුරුකක්. ඒ හරහා තමයි සංගීතයට හිත යොමුවෙන්නේ.


ඒ කාලේ පාරේ කාපු කටු ගැන මොකද හිතෙන්නේ?


පාරේ කාපු කටු ගැන හිතද්දී හරි සතුටුයි. ඒ ගතකරපු ජීවිතයේ සමහර තැන්වල නැවතිලා ඉන්න කොට මතක් වෙනවා. ඒක ඇතුළේ තමයි අපිට මතක් කරන්න පුළුවන් අතීතයක් තියෙන්නේ.


ඒ අත්දැකීම් චරිතවලට අරගන්න පුළුවන්වෙලා තියෙනවාද?


ඔව්, අනිවාර්යයෙන්ම. අපිව නළුවෝ කළේ විෂයය ඇතුළේ ගහපු රස්තියාදුව තමයි. ඒ කාලේ වේදිකා නාට්‍යයක් නරඹලා පයින්ම ගෙදර එනවා. ඒ අතරතුරේ ලබාගත්ත අත්දැකීම් සෑහෙන වටිනවා. මම ජිවත්වුණේ දෙහිවල. මම දැනට රඟපාන චරිතවලට ඒ පරිසරයෙනුත් සෑහෙන්න දේවල් ටිකක් උකහා ගන්නවා. ඒ කාලේ මිනිස්සුන්ගෙන් ගත්තු දේවල් තමයි මම මේ චරිත හරහා ඉදිරිපත් කරන්නේ.


ගමේ යාළුවෝ ජෙනා ගැන අද මොනවද කියන්නේ?


උන් එදත් මම ගැන සන්තෝෂයෙන් හිටියේ. මම හැමදාම කියනවා වගේ මට කවුරු නැතත් දෙහිවල යාළුවෝ ටික ඉන්නවා. මම අදට ගියත් මාව ආදරයෙන් වැලඳගන්න යාළුවෝ ටිකක් ඉන්නවා. ඒ දවස්වල මම පුහුණුවීම්වලට යනකොට මට මගේ යාළුවෝ තමයි උදව් කළේ. ඒ යාළුවන්ගේ දේවල් තමයි මම ඇඳලා පැලඳලා එළියට බැස්සේ. ඒ ආදරය තවමත් එහෙමපිටින්ම තියෙනවා. මම ඔවුන්ට අදටත් ගරු කරනවා.


දිනේෂ් විතාන



Previous Post Next Post