මේ සම්මානයේ උණුසුම මීට කලින් දැනිලා නැහැ-මිෂෙල් දිල්හාරා



ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ මිලාට පසුගිය දවස්වල ප්‍රේක්ෂක ආදරය මහ ඉහළින් ලැබුණා. ඒ ආදරය උපරිමයට ඇවිත් නතර වුණේ මෙවර කැලින් Popular Awards 2024 සම්මාන උළෙලේ මිලා ජනප්‍රියම නිළිය ලෙස සම්මානය දිනා ගනිමින්. මේ නිසාම අද අපි මිලා ලෙස රඟපාන මිෂෙල් දිල්හාරා සමග කතා කරන්න හිතුවා...




කොහොමද මිෂෙල් ලැබෙන ප්‍රතිචාර?




මේ දවස්වල මිලාගේ චරිතයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මිලා කියන්නේ මම කරපු වෙනස් චරිතයක් නිසා මේ ප්‍රතිචාර හරිම විශේෂයි.




පසුගිය දවසක මේ ප්‍රතිචාර හිනිපෙත්තටම ගියා නේද?




ඔව්. පොපියුලර් වෝඩ්ස් 2024 ජනප්‍රිය නිළිය ලෙස සම්මානය දිනාගන්න හැකි වුණා. මිලා කියන්නේ මගේ ජීවිතයේ සුවිශේෂී හැරවුමක් කියලා මුල ඉඳන්ම මම විශ්වාස කළා. ඒ විශේෂත්වය නිසා ජනප්‍රිය නිළිය ලෙස ප්‍රථම වතාවට සම්මානයක් දිනාගන්න අවස්ථාව ලැබුණා.




හිතුවද මිලාට මේ තරම් ඉහළ ප්‍රතිචාර ලැබෙයි කියලා...




මුලින්ම සුපුන් රත්නායක මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා ලලයි ලිලයි නාට්‍යයේ මිලාගේ චරිතයට මාව විශ්වාස කරලා ලබාදුන්නට. මේක බ්ලැක් කොමඩි ඩ්‍රාමා එකක්. සමාජයේ ටැලන්ට් කියන අයට නිසි තැන නොලැබෙනකොට ඒ හැකියාව වෙනුවෙන් සටන් කරන යුවතියකගේ චරිතයක් මට ලබාදීම ගැන නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සම්මාන උළෙලේ ජූරියටත් මේ සම්මානය වෙනුවෙන් එස්.එම්.එස්. කරපු ප්‍රේක්ෂකයන්ටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.




මිලාට වගේම දනුෂ්කටත් දැන් සතුටුයි නේද?




ඇත්තමයි. ඒක මගේ සතුට තවත් දෙගුණ කරපු සිදුවීමක්. මිලාගේ චරිතය වෙනුවෙන් මම ජනප්‍රිය නිළිය වෙනකොට ධනුෂ්කගේ චරිතය නිරූපණය කළ රන්දික අයියාට ජනප්‍රිය නළුවාගේ සම්මානය ලැබුණා. මෙය නාට්‍යය ලැබූ ජයග්‍රහණයක් හැටියටයි මම මෙය හිතන්නේ.




මිලා තව කොච්චර කාලයක් ප්‍රේක්ෂකයන් සමග ඉඳීවිද?




ලලයි ලිලයි ලයි ඩ්‍රාමා එකේ අවසාන ෂෙඩුල් එක තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන්නේ තව මාස දෙකකින් විතර මිලාට සමුගන්න සිද්ධ වෙයි.




මිලාව දාලා යන්න දුක නැද්ද?




ඇත්තටම හිතට මාර දුකක් දැනෙන්නේ. මොකද මේ දවස්වල මිලාගේ චරිතයත් එක්ක බද්ධ වෙලා වගේ මම ජීවත් වෙන්නේ. ඒ වගේම අපි ඉන්න පරිසරය දාලා එන්න දුකයි. ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදරය නැතිව ජීවත් වෙන්න අමාරු වෙයි කියලා හිතෙනවා. ඒ තරමටම මිලාගේ චරිතය ජීවිතයත් එක්ක බැඳිලා තියෙන්නේ.




රඟපෑමට ඇවිත් කොච්චර කල්ද?




මම රඟපාන්න ඇවිත් අවුරුදු අටකට ආසන්නයි. අවුරුදු අට තුළ විවිධ සම්මාන ලැබුණත් ජනප්‍රිය සම්මානය ලැබිලා තිබුණෙ නැහැ. ඒ බලා පොරොත්තුවත් ඉෂ්ට වුණා.




හිතුවද මේ සම්මානය ලැබෙයි කියලා...




 ජනප්‍රිය නිළිය සඳහා නිර්දේශ වුණා කියලා ආරංචි වුණා. නමුත් මේ සම්මානය මට ලැබෙයි කියල නම් කීයටවත් හිතුවෙ නැහැ. මොකද ඉතා දක්ෂ නිළියන් තරගයේ උන්නා. නමුත් මට ආරාධනා කරන සෑම සම්මාන උළෙලකටම මම සහභාගි වෙනවා. විශේෂයෙන්ම මගේ ක්ෂේත්‍රයේ කලාකරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් අත්පොළසන් නාදයක් ලබාදෙන්න ලැබෙන අවස්ථාව මම කීයටවත් මගහැර ගන්නේ නැහැ. මට සම්මානය ලැබුණොත් සතුටුයි. නොලැබුණොත් ඊටත් වඩා සතුටින් අනිත් අයට සුබ පතනවා කියන මානසිකත්වයෙන් හැමදාම මම සම්මාන උළෙලවල්වලට සහභාගි වෙනවා. නමුත් මෙවර මට සම්මානය හිමි වුණා. ඇත්තටම ගොඩක් සතුටුයි.




මේ ගතවෙන්නේ මිෂෙල් දිල්හාරාගේ හොඳම කාලය නේද? පහුගිය දවසක දෙමළ චිත්‍රපටයක ඔබට ප්‍රධාන චරිතය නිරූපණය කරන්න අවස්ථාව හිමි වුණානේ...




අදිරම් කියන දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. මෙහි රූපගත කිරීම් කළේ ශ්‍රී ලංකාවේ. සියලුම රූපගත කිරීම් අවසන්. ඉදිරියේදී චෙන්නායිවලදි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න සූදානම් වෙනවා.




කොහොමද ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ?




චිත්‍රපට කණ්ඩායම රූපගත කිරීම් සඳහා ලංකාවට ඇවිත් තියෙන්නේ ප්‍රධාන නිළිය ලංකාවෙන්ම සොයාගන්න බලාගෙන. සුදර්ශන් රවින්ද්‍රන් තමා මාව යෝජනා කරලා තියෙන්නේ. අදිරම් චිත්‍රපටයේ මම රඟපාන්නේ ද්‍රවිඩ යුවතියකගේ චරිතයක්. අයිරම් චිත්‍රපටයේ රඟපාන එකම සිංහල නිළිය මම.




දෙමළ චිත්‍රපටයක රඟපාන එක අභියෝගයක් වුණේ නැද්ද?




ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මොකද තිර රචනය සම්පූර්ණයෙන්ම තිබුණෙත් දෙමළ භාෂාවෙන්. මේ නිසා මට දෙමළ භාෂාව ඉගෙන ගන්නත් සිද්ධ වුණා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ දිනේෂ් කනගරත්නම් මට ගොඩක් උදව් කළා. ඒ වගේම ප්‍රධාන නළුවාගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.




කවදාද මේ රංගනය ප්‍රේක්ෂකයාට දැකගන්න ලැබෙන්නේ?




ඉතා ඉක්මනින් චෙන්නායි සහ ශ්‍රී ලංකාව තුළ චිත්‍රපටය තිරගත වේවි. ඉතා කැමැත්තෙන් මේ අභියෝගාත්මක චරිතය දැක ගන්න බලාගන්න කැමැත්තෙන් ඉන්නවා.




මේ ප්‍රථම චිත්‍රපට අත්දැකීමද?




මීට කලින් සෝලෝ ටවුන් චිත්‍රපටයේ රඟපෑවා. පසුගිය දවසක එහි පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වූවා. ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට සෝලෝ ටවුන් නරඹන්නත් පුළුවන්.




මීට අමතරව ඔබ ප්‍රජා සත්කාර කටයුතු සඳහාත් දායකත්වය සපයනවා නේද?




මගේ අතින් සිදුවිය යුතු සෑම යුතුකමක්ම රට වෙනුවෙන් හෝ අදාළ පුද්ගලයන් වෙනුවෙන් කරන්න මම නිතරම උත්සාහ කරනවා. පසුගිය දවසක වෙන්නප්පුව සාන්ත ජෝන් පාවුල්ස් ඉංග්‍රීසි මාධ්‍ය පාසලෙහි ප්‍රථම සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා හැටියට සහභාගි වුණා. ඒ වගේම NSBM හරිත විශ්වවිද්‍යාලයේ උත්සවයක ප්‍රධාන අමුත්තෙක් හැටියට සහභාගි වුණා. එම උත්සවයේ ළමයි කරපු ටැලන්ට් ෂෝ එකේදි මගෙයි දනුෂ්කගෙයි ලලයි ලිලයි නාට්‍යයේ කොටසක් හරි අපූරුවට කළා. මම රඟපාපු දෙයක් මෙහෙම දැනීම ගැන ලොකු සතුටක් තියෙන්නේ.




ඇහැලියගොඩින් අමතක නොවන ප්‍රතිචාරයක් ලැබුණා නේද?




ඇහැලියගොඩ ජාතික පාසලේ දරුවන් පිරිසක් පෞද්ගලික උපකාරක පන්තියක් තුළදී ලලයි ලිලයි ලයි එකේ ගීතය ගායනා කරන වීඩියෝ එකක් පසුගිය දවස්වල වයිරල් වුණා. මේකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ළමයි දහස් ගණනක් ඉන්න ඒ පන්තියට මමයි සුපුන් රත්නායක,ආශා එදිරිසිංහ, මනිරුචී වැනි අපේ ලලයි ලිලයි ටීම් එකම ගිහින් ගීත ගායනා කරලා ඔවුන් සමග සතුට බෙදාගත්තා. ඇත්තටම ලලයි ලිලයි ලයි කියන්නේ මගේ ජීවිතයෙන් කොටසක් වගේ.




ඉදිරියේදී පැමිණීමට නියමිත නිර්මාණ මොනවාද?




අරුණ ජයවර්ධනගේ රස රහසක් කියන ටෙලි නාට්‍යය විකාශය වීමට නියමිතයි.




ඉදිරියේදී පැවැත්වෙන සම්මාන උළෙලවලදී මිලාට ඉහළ ප්‍රතිචාර ලැබෙයි නේද?




ඉදිරියේ සම්මාන උළෙලවල් කිහිපයක්ම පැවැත්වීමට නියමිතයි. ඇත්තටම සම්මානයක් කියන්නේ කලාකරුවෙක්ට ලොකු උත්තේජනයක්. ඒ නිසා රඟපාන නාට්‍යයට සම්මාන ලැබෙනවා නම් හුඟක් සතුටුයි. අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම්. සම්මාන ලැබුණොත් හොඳයි. හම්බුණත් නැතත් ලැබුණ අයට සුබ පතන්න අනිවාර්‌යෙන්ම මම එනවා.



Previous Post Next Post