ඔහුගේ ඒ හීනය සැබෑ කරදෙන්න හැකිවීම ලොකු සතුටක් -දමිත්‍රී සුබසිංහ




ශ්‍රී ලාංකේය ජනතාව අතර ඇය වඩාත් ජනප්‍රිය ඉස්කෝලේ විහාරා ටීචර් ලෙසිනි. සෑම වසරකම ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය ලෙස අවසන් පස්දෙනා අතරට නිර්දේශ වන ඇය මෙවර කැලීන් සම්මාන රාත්‍රියේ දී වසරේ ජනප්‍රියම නර්තන ශිල්පිනිය ලෙස සම්මානිත වූවාය. එමෙන්ම ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය මෙන්ම දමිත්‍රි ඩාන්සින් ඇකඩමිය උදෙසා ද ඇය නිර්දේශ වීම විශේෂත්වයකි. ඉදිරියේ දී තිරගත වීමට නියමිත ‘පශ්චිම යාමය‘ සහ ‘සාධී‘ සිනමාපට ඔස්සේ රිදී තිරයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින ඇය දමිත්‍රී සුබසිංහය.


මෙවර කැලීන් සම්මාන උලෙළේදී ජනප්‍රියම නර්තන ශිල්පිනිය වුණේ ඔබ?


ඔව්. මේක පෞද්ගලිකව මගේ කලා ජීවිතේදී මට ලැබුණු පළමුවැනි සම්මානය. ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය විදිහට හැම වතාවෙම නිර්දේශ වුණත් ජනප්‍රියම සම්මානය මට හිමිවුණේ නර්තනයට. නර්තනය කියන දේ මං 6 වසරේ ඉඳන්ම ප්‍රගුණ කළ දෙයක්. ඒත් දමිත්‍රි සුබසිංහ කියන චරිතය ප්‍රේක්ෂකයන් හඳුනගත්තේ ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ විහාරා නිසා. නර්තන ශිල්පිනිය කියන භූමිකාව ජනප්‍රිය වෙන්න පටන් ගන්නේ ඊට පස්සේ.


මේ ලැබුණු සම්මානය ඔබට තවත් අතකින් විශේෂයි නේද?


ඇත්තටම ඔව්. මේක මටත් වඩා කේසරගේ හීනයක්. මගේ නර්තනයේ ලොකුම ප්‍රේක්ෂකයා එයා. මම රංගන ශිල්පිනියක් වෙන්නත් කලින් නර්තනයට යොමු වුණේ. මුල ඉඳන්ම ඔහු මගේ හැකියාව හඳුනගෙන හිටියා. රංගන ශිල්පිනියටත් වඩා නර්තන ශිල්පිනිය කියන භූමිකාවට ඔහු වඩාත් කැමැතියි. ඔහු මගේ ළඟ සිටිද්දිම ඔහුගේ ඒ හීනය සැබෑ කරදෙන්න හැකිවීම ලොකු සතුටක්.


කැලීන් සම්මාන රාත්‍රියේ දී ජනප්‍රියම රංගන ශිල්පිනිය විදිහට ඔබේ නම කියවෙද්දි මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?


ඒක නම් වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්. ඔය හැඟීමම මට 2019 දෙරණ අවුරුදු කුමරිය විදිහට අභිෂේක ලැබූ දවසෙත් ඇති වුණා. හැම වසරෙම වගේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය විදිහට අවසන් පස්දෙනාට නිර්දේශ වෙලා තියෙනවා. මං ජයග්‍රාහිකාව බවට පත්වුණු අවස්ථා දෙකේදීම ජයග්‍රහණය ප්‍රකාශය පත් කළේ තිසංක අයියා වීමත් විශේෂයි. කැලීන් සම්මානය මට අදහගන්නත් බැරි වුණා. කේසරත් මගේ ළඟ හිටිය නිසා මට දරා ගන්න බැරි සතුටක් වුණා


එතැනදි ඔබ ඉන්ටවිව් කරන්නෙ තරිඳු වෙල්හේනගේ. ඇයි ඔබ ඒ තරම් සංවේදී වුණේ?


තරිඳු වෙල්හේනගේ කියන්නේ අපි දෙන්නගෙ හොඳම මිතුරෙක්. ඒ වෙලාවෙ ගොඩක්ම සංවේදී වෙන්න හේතු වුණෙත් ඔහු. සම්මාන උලෙළ පටන් ගන්න කලින්ම තරිඳු මගේ ළඟට ඇවිත් කිව්වා ඔන්න මේ පාර නම් සම්මානයක් අතේ තියන් මිසක් මං ඔයාව ඉන්ටවිව් කරන්නෙ නෑ කියලා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. මේක මට කලාව වෙනුවෙන් ලැබුණු කුලුඳුල් සම්මානය. ඒ සතුටත් එක්ක මිත්‍රත්වයේ ළෙන්ගතුකම එකතු වෙලා මාව සංවේදී කළා.


ඔබ ජනප්‍රියම නර්තන ශිල්පිනිය වෙද්දි තවත් අංශ දෙකකින් ඔබව නිර්දේශ කළා?


ඔව්. මෙවර කැලීන් සම්මාන උලෙළ මට විශේෂ වුණා. ජනප්‍රියම නර්තන ශිල්පිනියට සම්මානිත වුණා වගේම ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය සහ දමිත්‍රි ඩාන්සින් ඇකඩමියත් නිර්දේශ නාමයන් අතරට එක්වුණා. ලංකාව ඇතුළේ රංගන ශිල්පිනිය සහ නර්තන ශිල්පිනිය යන භූමිකා දෙකේම ස්ථාවර වෙන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්.


ආදරණීය සැමියා කේසරගේ ප්‍රතිචාරය කොහොමද?


එයාට ගොඩක් සතුටුයි. එයාටත් රංගනයට ගොඩක් ආරාධනා ලැබෙනවා. ලංකාවේ ජනප්‍රිය චැනල් දෙකක ටෙලි නාට්‍ය දෙකක ප්‍රධාන චරිතවලට එයාට කතා කළා. එදා සම්මාන උලෙළේදිත් ජනප්‍රියම අධ්‍යක්ෂවරයෙක් එයාට කතා කළා. ඒත් එයා ඒ පැත්තට යන්න කැමැත්තක් නෑ. එයා හැමවෙලේම මගේ පස්සෙන්ම ඉඳගෙන මාව දිරිමත් කරන කෙනෙක්.


ඉදිරියේදී දමිත්‍රිව අපට රිදී තිරයේත් දකින්න ලැබේවි නේද?


ඔව්. මේ වෙද්දි සිනමාපට දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ දෙකේම දැන් වැඩ ඉවරයි. ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. සමන්ත විජේකෝන්ගේ පශ්චිම යාමය සහ සුවිනීතා වීරසිංහ සමඟින් ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කරන ‘සාධි‘ සිනමාපටය. මේ දෙකටම රංගනයෙන් දායක වුණේ සීමිත රංගන ශිල්පීන් පිරිසක් වීමත් විශේෂයි. ඒ වගේ ප්‍රවීණයන් එක්ක මගේ කුලුඳුල් සිනමා අත්දැකීම බෙදාගන්න ලැබීම මගේ ඉදිරි ගමනට ලොකු පන්නරයක් කියලා හිතෙනවා.


දමිත්‍රි කේසර එක වහලක් යටට වෙලත් දැන් අවුරුදු දෙකකට ආසන්නයි. කොහොමද ඒ ජීවිතේ?


අපි දෙන්න හරිම නිදහසේ ජීවිතේ ගෙවනවා. මගේ රංගන ජීවිතේට වගේම ගෙදර වැඩවලටත් කේසරගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඒ වගේම ඩාන්සින් ඇකඩමියෙ වැඩවලටත් ඔහුගේ සහාය ලැබෙනවා. කිසිම කරදරයක් නෑ මං හදන ඕන කෑමක් එයා කනවා. පීසා එකට නම් ගොඩක් කැමැතියි. කඩේ එකටත් වඩා රසයි කියලා කනවා. අපි දෙන්න එක එක කෑම වර්ග හදලා බලනවා. අන්තිමට බැලුවම ඒවට නමක් නෑ. හරිම සුන්දරව ජීවිතේ ගෙවනවා.


නාමලී ගමගේ



Previous Post Next Post