තාම නම් මගේ නමට හානියක් වෙන කටකතාවක් හැදිලා නැහැ -චතූ රාජපක්ෂ

 



නව පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් චතූ රාජපක්ෂ කියන්නේ පුංචි තිරයේ සහ සිනමාවේ නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන්නට වාසනාව හිමි වූ සුන්දර චරිතයක්. විටෙක රංගන ශිල්පිනියක් ලෙසින් විවිධ චරිත මවන චතූ තවත් විටෙක ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් රූප තිරයෙන් දැක ගන්න ලැබෙනවා. ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත් චතූ රාජපක්ෂ සමඟිනුයි රසඳුන මේ කතාබහ ඇරඹෙන්නේ.


චතු මේ දවස්වල කරන කලා නිර්මාණ මොනවද?


මේ දවස්වල TN හසුන් සමීර අයියා අධ්‍යක්ෂණය කරන පාරාදීසේ ටෙලි නාට්‍යය විකාශනය වෙනවා සහ එහි රූගත කිරීම් සිදු වෙනවා. ඒ වගේම හර්ෂ තෙන්නකෝන් අයියාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන නේත්‍රාදේවී නාට්‍යයේ රූගත කිරීම් සිදු වෙනවා. ඒ එක්කම මේ කාලයේ ස්වර­්ණවාහිනියේ ලයිව් @ ශ්‍රී ලංකා තුළින් ජනතාව අතරට ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට එනවා.


පාරාදීසේ නාට්‍යයේ චලනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් අය කියන්නේ මාව ලස්සනටම දැක්ක චරිතය කියලා. මම ගොඩක් සැහැල්ලුවෙන් රඟපාන චරිතයක් කියලත් කියනවා. මම කරපු හැම චරිතයක් වගේම මේ චරිතයටත් ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


හර්ෂ තෙන්නකෝන් කියන්නේ සහෝදර රංගන ශිල්පියෙක්, ඔහුගේ පළමු නිර්මාණයට ඔබව තෝරා ගැනීම ගැන කිව්වොත්


ඔව්. ඉස්සෙල්ලම කියන්න ඕනේ පසුගිය කාලයේ විකාශය වූ සුසුම් රස්තියාදුව නාට්‍යයේ අපි දෙන්නා රඟපෑවේ අයියයි නංගියි විදිහට. නේත්‍රාදේවී නාට්‍යයට මම සම්බන්ධ වෙන්නේ හරිම අහම්බෙන්. ඒ කියන්නේ මේ චරිතයට වෙන කෙනෙක් යෝජනා වෙලා තිබිලා තියෙන්නේ. කොහොමහරි හදිසියේ මාව මතක් වෙලා මට කතා කළේ හෙට ෂූටින් නම් අද වගේ. ඒ නිසා මට ලොකු අභියෝගයක් වුණා. ඒ වෙලාවේ මට චරිතේ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි හර්ෂ අයියා මට කිව්වේ ඔයාට පුළුවන් නංගි මේක. ඔයාට ගැළපෙන චරිතයක් තියෙන්නේ. අපි හදාගෙන කරගෙන යමු කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ පොඩ්ඩක්වත් ස්ට්‍රෙස් එකක් නැහැ, කරදරයක් නැහැ. අපේ විදිහට නිදහසේ රඟපාන්න ලැබෙනවා. ඒ නිසා අපි හැමෝම අපිට ලැබුණු චරිතවලට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. හොඳම දේ තමයි මේ නාට්‍යයේ එයා තමයි මගේ පෙම්වතා. ඉතාමත් ලස්සන වෙනස් කතාවක් නේත්‍රාදේවී කියන්නේ. ඒ නිසා මේ නාට්‍යයත් ඉතාමත් ආදරෙන් ප්‍රේක්ෂකයින් භාර ගනීවි.


ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ගෙවන ජීවිතේ කොහොමද?


මම මුලින්ම සිරස නිව්ස් ෆස්ට් හි තමයි ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වැඩ කළේ. අවුරුදු එකහමාරකට පස්සේ කොවිඩ් වසංගතය එක්ක ප්‍රවෘත්ති කියන එක නතර කරනවා. ඊට පස්සේත් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කරන්න ආසාවෙන් හිටියා. නමුත් අවස්ථාවක් ලැබුණේ 2024 ජනවාරිවලදී ස්වර්ණවාහිනියේ ලයිව් @8 හි. දැන් ඒක යන්නේ ලයිව් @ ශ්‍රී ලංකා නමින් සවස 6.55ට. ඇත්තටම මම රඟපාන එකට සමහර අය ආසයි වගේම මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කරන එකටත් ගොඩක් අය ආසයි. මොකද ගොඩක් අය කියන්නේ මගේ හඬ ගැළපෙන්නේ ප්‍රවෘත්තිවලට. මම රඟපාන්න වගේම ප්‍රවෘත්ති කියන්නත් හරි ආසයි.


ඔබ කලාවට එන්නේ අහම්බෙන්. ඒ ගැන අද මොකද හිතෙන්නේ


ඇත්තටම සතුටුයි. මිනිසුන්ගේ ආදරේ ලබා ගන්න එක ටික දෙනෙක්ටයි කරන්න පුළුවන්. අපි කරන චරිතයකට හෝ අපේ පෙනුමට කතාබහට ආකර්ෂණය දිනා ගන්න හරි ම අමාරුයි. නමුත් රංගන ශිල්පිනියක් විදිහට මම ප්‍රේක්ෂක ආදරේ මම මේ ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන් ලබනවා. මම හිතනවා මගේ පෙර පිනකට ලැබුණු අවස්ථාවක් කියලා. මම පෙරුම් පුරාගෙන රංගන ශිල්පිනියක් වුණු කෙනෙක් නෙවෙයි. හරිම අහඹු සිදුවීමකින් ලැබුණු අවස්ථාවක් නිසා අද මම මේ තැන ඉන්නේ. මම හිතනවා හැමදේම වෙන්නේ පෙර කළ පිං පව්වලට අනුව කියලා.


චතූට මේ ගමනේ දී සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


එයා මගේ ජීවිතේට ලැබුණු දවසේ ඉඳන් මම මගේ ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට ගියේ. මට කිසිම දවසක අරක කරන්න එපා මේක කරන්න එපා කිව්වේ නැහැ. අදටත් මට සහයෝගය දෙනවා. එයා කියන්නේ ඔයාට මේ චරිතය ගැළපෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් කරන්න එපා. හැබැයි ඔයාට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන චරිතයක් නම් කිසිම වෙලාවක අත්හරින්න එපා. ඔයාගේ වැඩ ඔයා ලස්සනට කරගෙන යන්න කියලා.


කටකතා ගොසිප් ගැන මොකද හිතෙන්නේ?


තාම නම් මගේ නමට හානියක් වෙන කටකතාවක් හැදිලා නැහැ. නමුත් යම්කිසි තැන්වලදී පොඩි පොඩි හිත් රිදීම් ඇතිවෙලා තියෙනවා. ඒ අවස්ථාවන්වල නම් දුක් වෙලා තියෙනවා. හැබැයි මම දැන් හිතන්නේ අපිට කටකතා හැදෙන්න ඕනේ. අපි ගැන මිනිසුන් කතා කරන්නේ කටකතා හදන්නේ අපි දවසින් දවස ඉදිරියට යන නිසා. දැන් මම කටකතා ගොසිප් දකින්නේ ඒ විදිහට. අපේ සාර්ථකත්වයක් දකින නිසා. අපි කෙනෙක් දන්නේ නැත්නම් අපි නිකම්වත් කටකතාක් හදන්නේ නැහැනේ. ගොසිප්වලින් ලැබෙන්නේ එක්තරා විදිහක පබ්ලිසිටි එකක්. ඒ නිසා ලැබෙන හැම දෙයක්ම හරිම නිහතමානිව භාර ගන්නවා.


සැමියා ව්‍යපාරිකයෙක් නිසා, නාට්‍යයක් නිෂ්පාදනය කරන්න අදහසක් නැද්ද?


එයාගේ නම් ලොකු කැමැත්තක් තියෙනවා. එයාගේ අයියාත් ටෙලි නාට්‍ය දෙක තුනක් නිෂ්පාදනය කරලා තියෙනවා. මගේ හස්බනුත් කැමැත්තෙන් හිටියා නාට්‍යයක් කරන්න නමුත් මගේ අකමැත්ත නිසා ඒක කෙරුණේ නැහැ. හැබැයි දැන් මට හිතෙනවා හොඳ නිර්මාණයක් නම් අපි ඒක කළාට වරදක් නැහැ කියලා. මේ දවස්වල මම දැක්කා තමන් විසින්ම නිෂ්පාදනය කරන නිර්මාණවලටත් ඉතාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා තමන්ට හැකියාව තියෙනවා නම් චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන එකේ වරදක් නැහැ.


ඇයි එහෙනම් එදා එපා කිව්වේ


එදා විරුද්ධ වුණේ මට පොඩ්ඩක් බය හිතුණා. මගේ හස්බන්ඩ් එක දෙයක් අල්ල ගත්තොත් ඒකටම තමයි නැඹුරු වෙන්නේ. එහෙම වුණොත් එයාගේ තියෙන බිස්නස් පැත්ත කඩා වැටෙයි කියලා. දැන් හිතෙනවා එහෙම වෙන එකක් නැහැ කියලා. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් සලකා බලන්න ඉඩ තියෙනවා.


ආදරණිය මවක් වෙන්න දැන්ම අදහසක් නැද්ද?


පසුගිය දවස්වල නම් අපිත් කතා වෙලා හිටියා දැන් නම් දෙන්නා තුන්දෙනා වුණොත් හොඳයි කියලා. නමුත් මේ දවස්වල තියෙන කාර්යබහුලකම එක්ක පොඩ්ඩක් කල් දාලා තියෙනවා. තව චූටි කාලයක් ඉන්න හිතන් ඉන්නේ. අපි බලමු ඉතින්. අපි මෙහෙම කිව්වට අපි කැමති වෙලාවට අපිට කැමති කෙනා එන්නෙත් නැහැනේ. ඒ නිසා එයා කැමති වෙලාවට එයා එනකම් අපි දැන් බලන් ඉන්නවා.


අනුෂා රණසිංහ



Previous Post Next Post