මඩගහලා මාව වට්ටන්න බැහැ – ශෙහානි ගායනයට

 



වසර කිහිපයක්ම විවිධාකාර නිර්මාණවල විවිධාකාර චරිත හරහා ඔබේ ආලින්දයට ගොඩවුණු ඇය මේ දිනවල ඔබේ නගරයේ ඇති ප්‍රසංග වේදිකාවට ගායිකාවක් ලෙසින් ද ගොඩවෙන්න පටන්ගෙන ඇත. මනබඳිනා රූසපුවක් හිමි ඇය මනබඳිනා විලාසිතා රැසකින් වේදිකාවට ගොඩවූවා විතරයි. හතර අතින් මඩ ප්‍රහාර ද එල්ල වෙන්න පටන් අරගෙන. මොන බාධක ආවත් කවුරු කකුලෙන් ඇද්දත් ඇයගේ ගමන වළක්වන්න බැරිලු. කවුද මේ ඇය. ඇය වෙන කවුරුවත් නෙමෙයි නමින් ශෙහානි කහඳවල.


සින්දු කියන්න ගිහිල්ලා හරි ප්‍රශ්න නේද?


කොහොමත් මගේ ගමන මම යනවා. නමුත් හැම කෙනාගේම එක එක මත තියෙනවා. මගේ හැකියාවන් ගැන දන්නේ මම. හැමදේටම වෙලාව එනවා. සමහර වෙලාවට මගේ කාලය හොඳ ඇති. මම කාටවත් වැරදි කරලා නැහැ. ක්ෂේත්‍රයේ කලාකරුවෝ පවා මට හරියට දොස් කියලා තිබුණා. මම දන්න අය පවා එහෙම එක එක දේවල් කියලා තිබුණා. ඒක හරි වැරදියි. ඇත්තටම මට තාලෙට කවියක්වත් කියාගන්න බැරි නම් කමක් නැහැ. තව කෙනෙක් ඉදිරියට යනවා නම් අත්පුඩි ගහලා හරි සහයෝගයක්නේ දෙන්න ඕනෑ.


සින්දු කියන්න බැහැ කියලයි ශෙහානිට මඩ ගහලා තිබුණේ?


මට සින්දු කියන්න බැරිකමක් නෑ. ඉස්කෝලෙ යන කාලේ ජනගී ගායනා කරලා පළමු ස්ථානය පවා අරගෙන තියෙනවා. මගෙත් එක්ක ඉන්න අය දන්නවා මට සින්දු කියන්න බැරි ද පුළුවන් ද කියලා. නවක කලාකරුවන් වගේම කලාකාරිනියන් කිහිපදෙනෙක් ඒගොල්ලන්ගේම ෆෑන් පේජ් හරහා සල්ලි දීලා මඩ ප්‍රචාර යවන එකක් තියෙනවා. ඒක මම හොඳටම දන්නවා. ඒවා කළහම කට්ටිය මට කතා කරලා කියනවා අහවල් අය තමයි මෙහෙම කරන්නේ කියලා. ඕවාට ඔයා සැලෙන්න එපා, ඔයාගේ ගමන ඔයා යන්න කියලත් කියනවා.


මඩ ගැහැව්වාට ශෙහානිව වට්ටන්න බැහැ?


මාව වට්ටන්න බැහැ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දහතුනකට වැඩියි. වැටෙනවා නම් මම මීට කලින් වැටිලා. ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් කරද්දී ඊර්ෂ්‍යාවෙන්නේ බලන්නේ. මම වගේ අලුත් දේවල් අත්හදා බලන්න ඉන්න අය ඉන්නවා නම් ඔවුන්ට කියන්නේ බය නැතිව ඒ දේවල් තමන්ගේ කැමැත්ත අනුව සිද්ධ කරන්න කියලයි.


විදෙස්ගත ප්‍රසංගවලදී ලැබුණු ප්‍රතිචාර එහෙම?


ඇත්තටම හොඳයි. හරියට සින්දුවත් නැතිනම් ස්වරයක් මට කියාගන්න බැරිනම් මට විදේශ රටවලින් ගීත ගායනා කරන්න කියලා ආරාධනා ලැබෙන්නේ නැහැනේ. මට මම ගැන හොඳ කියාගන්න වුවමනාත් නැහැ. නමුත් මම හිතන්නේ හරි වෙලාවේදී හරි දේ මිනිස්සු අනුමත කරාවි. ඔය කිසිදෙයක් මම ගණන් ගන්නේ නැහැ. මගේ ගමන මගේ පාඩුවේ යනවා.


දිගටම ප්‍රසංගවලට සහභාගි වෙනවාද?


ඔව්. ඔව්. විදෙස් රටවල වගේම ලංකාවේත් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. මම හිතපු නැති විදිහට තමයි ගායනයෙන් මගේ ජීවිතය අනෙක් පැත්තට පෙරළුණේ. මම හරිම වාසනාවන්තයි. මොකද අවුරුදු දහතුනක් ක්ෂේත්‍රයේ ඉඳලා තවමත් මට මිනිස්සුන්ගේ හිතේ රැඳෙන්න පුළුවන් කියන එකම ඇති. ඇත්තටම ඒක වෙනම හැඟීමක්. ගොඩක් අය නිළියක් ගායිකාවක් විදිහට එනවා, යනවා. ඔවුන්ට හරි අමාරුයි තමන්ගේ නම කියන එක පවත්වාගෙන යන්න. ඒ අතරින් මම හරිම වාසනාවන්තයි. මම කවදත් අද කාලෙට ගැළපෙන දේවල් තමයි කරන්නේ. අතීතය ගැන කතා කරන්නෙත් නැහැ. අනාගතය ගැන කතා කරන්නෙත් නැහැ. වර්තමානයේ මිනිස්සු එක්ක තමයි මම ජීවත් වෙන්නේ. මිනිස්සු කියන තරම් වගේම හිතන තරම් මම මහ ලොකු කෙනෙක් නෙමෙයි. මම හරි සරලයි.


මොකද මේ දේවල් ගැන හිතන්නේ?


මොන දේ කිව්වත්, මොන දේ කළත් මොන විදිහට මට මානසික ප්‍රහාර එල්ල කළත් මාව වට්ටන්න බැහැ.


ඒ වගේ වෙලාවට කලකිරීම් එහෙම ඇතිවෙලා තියෙනවාද?


ඇත්තටම මේ ක්ෂේත්‍රයේ ඉන්න නවක කලාකරුවන් සහ කලාකාරිනියන් පිළිබඳව කලකිරීමක් ඇතිවෙලා තියෙනවා. ලංකාව කියන්නේ හරිම පොඩි රටක්. එහෙම වෙන්න හොඳ නැහැනේ. හැම කෙනෙක්ම එකතුවෙලා කලාව පැත්තෙන් මුළු ලංකාවම උඩට ගන්න පුළුවන් නම් ඒක හරිම සුන්දර වෙයි කියලා හිතනවා.


ශෙහානි සින්දු කියන්න ආවට පස්සේ කට්ටිය ටිකක් බයවෙලා වගේ?


සමහරක්විට එහෙම වෙන්නත් පුළුවන්. ඒක තමයි ඔච්චර මඩගහන්නේ.


අලුත් ගීත කිහිපයක් කරන්න අදහසක් නැතිද?


අලුත් ගීතයක් ඉක්මනටම එනවා. දැන් ටිකක් කල් වෙනවනේ ගීතය නිර්මාණය කරලා. ඔය අතරේ තවත් ගීත කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා.


දැන් වැඩිපුර ඉඩකඩ වෙන් කරන්නේ රංගනයටද? ගායනයටද?


මම හිතන්නේ ගායනයට. ගායිකාවක් වෙන්න තමයි වැඩිපුර කැමැති. එහෙමයි කියලා රංගනයෙන් ඈත්වෙන්න සූදානමක් නැහැ. මට පුළුවන් නම් සමබරව දෙකම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.


රඟපෑමට අලුත් ආරාධනා ලැබුණද?


අලුත් ආරාධනා කිහිපයක්ම ලැබුණා. ළඟදීම මම රංගනයෙන් දායකවුණු මෝඩ තරිඳු කියන චිත්‍රපටය තිරගතවීමට නියමිතයි. ඔය අතරේ චිත්‍රපටයකට සහ ටෙලිනාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා. නමුත් මම ටෙලිනාට්‍ය පොඩ්ඩක් සීමා කරන්න කියලයි බැලුවේ. හොඳම සහ මට ගැළපෙනම චරිතයක් ලැබුණොත් විතරයි භාරගන්නේ.


කැපිලි කෙටිලිවලට බයද?


මම කවදාවත් කැපිලි කෙටිලිවලට බය චරිතයක් නෙමෙයි. මම කාගෙවත් දේවල් අහන්නේ නැහැ. මගේ සුන්දර ලෝකයේ මම තනිවෙලා ජීවත්වෙනවා.


සංගීත කණ්ඩායම්වලින් ලැබෙන සහයෝගය?


හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම සතුටුයි. මිනිස්සු මාව දන්නේ නිළියක් විදිහට. ඔවුන් මාව ගායිකාවක් විදිහට පිළිගන්නවා කියන්නේ වෙනම දෙයක්. ඒක හින්දා වෙන්න ඇති සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා ඇත්තේ. මොකද එයා නිළියක්, ඇයි ගායිකාවක් වෙන්න යන්නේ කියලා. නමුත් මේක කලාවක්. ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නිදහස තියෙනවා. මේක විතරයි කරන්න පුළුවන් කියලා කාටවත් නීති දාන්න බැහැ. කලාව කාගෙවත් බූදලයක් නෙමෙයි.


දිනේෂ් විතාන



Previous Post Next Post