මගේ හඬ ඇහුණම හැරිලා බලලා මේ අර නළුවා නේද කියලා අහනවා-නිරෝෂන් ඉලේපෙරුම

 



මිල්ලේ සොයා සිනමා කෘතියෙන් රංගනයට පිවිස ඉන්ගම්මාරුවෙන් පුංචි තිරයට පිවිසි ඔහු නාලන්දාවෙන් රංගනයට අඩිතාලම දමා ගත්තේය. අධ්‍යාපනයෙන් ඉහළ ගිය ඔහු අධ්‍යක්ෂවරයෙක් හැටියටත් කටයුතු කරමින් රංගනයෙන් ජනතාවට සමීප වූයේ නිර්මාණ බොහෝමයකට චරිත වෙස්මාරු කරමින්ය. ඔහු නමින් නිරෝෂන් ඉලේපෙරුමය. මේ කතාබහ ඔහු හා ඔහුගේ කුටුම්බය ගැනය.


මවුපියන් උප්පැන්නෙට දුන් නිරෝෂන් ඉලේපෙරුම කියන නම චරිතයක් හැටියට ගොඩනඟා ගන්න ඔබ වෙහෙසක් ගන්න ඇති. අපි එතැනින් කතාබහට ප්‍රවේශය ගනිමු..?


කලාකරුවෙක් හැටියට මේ තරම් ගොඩනැඟෙන්න විශාල පරිච්ඡේදයක ව්‍යායාමයක් නිසයි. කැපකිරීම්, පුහුණුව හා නිරන්තර අභ්‍යාසගත වීම මත තමයි මාව ගොඩනැඟෙන්නෙ. මම ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙලා කොළඹ නාලන්දාවට ඇතුළත් වෙලා අධ්‍යාපනය හැදෑරුවා. පුංචි කාලේ ඉඳලා රංගනයට ආසාව තිබුණ නිසා දහම්පාසල් නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ වගේම මුතුහර සාමාජිකයෙක් විදිහටත් කටයුතු කළා.


පාසලේ ගණිත ගුරුවරයා වූ වික්‍රම සෙනෙවිරත්න සර් හත්පණ ටෙලි නාට්‍යයේ කිරිහාමි චරිතය රඟපාලා තිබ්බා. ඔහු ජනප්‍රිය චරිතයක්. නාට්‍ය වැඩපොළ කියලා ඔහු නාට්‍ය වැඩමුළුවක් පැවැත්වුවා පාසල් ළමුන්ට. මමත් සම්බන්ධ වුණා. ඔහු අපට හොඳ පුහුණුවක් දුන්නා. ක්‍රිකට් සයිකල් පැරට් කියලා, සර් නිර්මාණය කරපු නාට්‍ය ත්‍රිත්වයකින් මම ප්‍රසිද්ධ වේදිකාවට එනවා. මගේ පළමු පිවිසීම වුණේ සිනමාව. ඒ ‘මිල්ලේ සොයා‘ චිත්‍රපටයෙන්. ඉන්ගම්මාරුව තමයි පළමු ටෙලි නාට්‍යය. එතැනින් පටන්ගත් ගමන විවිධ චරිත එක්ක තවමත් ගමනක් යනවා.


ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට ඇති ඉල්ලුම කොහොමද ..?


පූර්ණ ප්‍රේක්ෂකාගාරය මාව, නමින් හා රූපයෙන් දන්නවා. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේත් මාව වැඩිපුර නමින් හඳුනා ගන්නවා. නමුත් මගේ නම නොදන්න මම රංගන ශිල්පියෙක් කියලා දන්න අයත් නැතුව නෙමෙයි. එහෙම අය මුණගැහුණම මගෙන් නම අහනවා. මම නිහතමානීව උත්තර දෙනවා. මගේ කටහඬ විශේෂයි කියලා හිතෙනවා. මොකද මගේ හඬ ඇහුණම හැරිලා බලලා අහ් මේ අහවල් නළුවා නේද කියලා අහනවා. හඬින් මතකයට ආවේ කියලා කියූ අවස්ථාත් තියෙනවා.



මෑතකදී ඔබ වඩාත් ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නේ ‘දිවිතුරා‘ ටෙලි නාට්‍යයෙන්..?


චාමර ජයවීර කියන්නේ වසර විස්සක විතර කාලයක සිට කලාවේදි හඳුනාගත් හොඳ මිත්‍රයෙක්. ඔහු තමයි මට ප්‍රධාන චරිත ලබා දුන්නෙ පෝය නාට්‍යවල රඟන්න. ‘දිවිතුරා‘ ටෙලි නාට්‍යය විකාශය වන අතර මඟදි තමයි මට ආරාධනා කරන්නේ අගස්ති කියන චරිතයේ හොඳම මිතුරාගේ භූමිකාවට සම්බන්ධ වෙන්න කියලා. මම ඊට සම්බන්ධ වුණා. එය අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. මගේ චරිතවලින් මෑතකදී බොහෝ රසිකයින් පිරිසක් මට ආදරේ කළ චරිතයක් බවට එය පත්වුණා. මමත් හරිම ආසාවෙන් රඟපෑ නිර්මාණයක්. ඒ වගේම තමයි 99 වර්ෂයේ ‘සත්පුර වැසියෝ‘ ටෙලි නාට්‍යයෙන් තමයි මාව නළුවෙක් හැටියට භෞතිෂ්ම වෙන්නේ. එතැනදි මම දොස්තර රුවන්. බහුතරයක් මාව හඳුනා ගත්තේ රුවන්ගෙන්. ඒ වගේම පබා, ටෙලි නාට්‍ය ඇතුළු නාට්‍ය 300කට වඩා සුදු කළු, දඩබ්බර සාදු චරිත වගේ බොහෝමයක් මම රඟපෑවා. පසුගියදා චන්දෝලී ටෙලි නාට්‍යයේ හා ‘අරයි රිරයි රෝ‘ කියන නිර්මාණවලටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.


කලාකරුවන් දැන් චරිත මේන්ටේන් කරන්න ලොකු වෙහෙසක් ගන්නවා, ජනප්‍රියත්වය රඳවාගෙන යන්න ඔබව ඔබ මේන්ටේන් කරන කෙනෙක් ද..?


එදත් අදත් මිනිසුන් මාව විශ්වාස කරන පෞරුෂත්වයක් මට තියෙනවා. වෙනම ගොඩනගාගන්න හෝ ජනප්‍රියත්වය උදෙසා රූපකාය වර්ධනය කරන්න අවශ්‍ය නැහැ.


මම අධ්‍යාපනයෙන් පූර්ණ වෙන්න උත්සාහ කරන චරිතයක්. මේ වෙද්දී මම ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධාරියෙක්. ජනසන්නිවේදන උසස් ඩිප්ලෝමාවත් හැදෑරුවා. සිනමාකරණය පිළිබද විශේෂකරණ ඩිප්ලෝමා වක් හැදෑරුවා. සිනමාව හා රූපවාහිනීය පිළිබද උපාධියක් හැදෑරුවා. තව බොහෝ පැතිකඩ වලින් මා ඉගෙන ගෙන තියෙනවා. ඇකඩමික් හැදැරීම් මම සාර්ථකව කරගත්තා. මම නළුවා මේන්ටේන් කරන්නේ නැහැ. මම හරිම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නෙ, නළුවා කියලා ඇඳලා ඉන්න සීන් එකේ නෙමෙයි මම ඉන්නෙ. මම මාව මේන්ටේන් කළේ අධ්‍යාපනයෙන් කිව්වොත් හරි.


ඔබ උගත් රංගන ශිල්පියෙක් හැටියට ආර්ථිකයෙන් ශක්තිමත් විය නොහැකි මඟක ගමන් කිරිම තුළ කලකිරීමකට පත් වෙලා නැද්ද?


සමාජ, ආර්ථික ව්‍යුහය එක්ක ප්‍රතිපත්තියක් කලාව තුළ නැති වීම මත තමයි කලාකරුවන් ඔය ආර්ථිකය කියන ප්‍රශ්නවලට මුහුණ දෙන්නෙ. මහේන්ද්‍ර පෙරේරාගේ වර්ක් ෂොප් එකට මම ඒකාලේ සම්බන්ධ වුණා. ඔහු කිව්ව දෙයක් තමයි මේ නාට්‍ය කෙරුවාව වගේ නෙමෙයි ඔයා මෙතැනින් එළියට බැහැලා කඩේකින් ප්ලෙන්ටියක් ගන්න තැන ඉඳලා කලාව නොකරන තැන දක්වා ලංකාවේ සමාජය හැදිලා තියෙන්නේ කියලා. ආත්ම ශක්තිය තියාගෙන මේ ගමන යන්න කියලා කිව්වේ ඔහු. ඇත්තටම ඔහු කිව්වා වගේ වසර තිහක කාලයක් මේ ගමන ආවේ ආත්ම ශක්තියෙන්. කලාව අතහැර අධ්‍යාපනය එක්ක වෙන මඟක් තෝරා ගත්තා නම් මීට එහාගිය ජීවිතයක් ගත කරන්න තිබ්බා කියලා බිරිය වගේම මවුපියන් කියනවා. නමුත් මේ වෙහෙසකර ගමනේ මගේ කැමැත්තට ඉඩදීම තුළ ආත්ම තෘප්තියක් ලබා ගත්තා. මම රංගන ශිල්පියෙක් හා අධ්‍යක්ෂවරයෙක් හැටියටත්, නාළිකා දෙකක නාළිකා ප්‍රධානියෙක් හැටියටත් කටයුතු කළා. අධ්‍යාපනය පැත්තෙනුත් ඉහළට ගියා. නමුත් ආර්ථිකය ශක්තිමත් කරගනිමින් මම ජීවිතේ විඳිමින් ඉන්නවා. පසුතැවීමක් නැහැ.


ඔබ නිර්මාණ බිහි කරන අධ්‍යක්ෂවරයෙක්. චරිතාංග නළුවෙක්. අධ්‍යක්ෂ භූමිකාව නිසා රංගන ශිල්පියෙක් හැටියට තෝරා බේරා ගැනීම් කරනවා ඇති?


මම ඇක්ටර් ඩිරෙක්ටර් විදිහට පෙනී ඉන්නවා. ඒකත් ඉතිං විශේෂ හැකියාවක්. මම නිර්මාණ කිහිපයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. අලුත් නිර්මාණයක් අධ්‍යක්ෂණය කළා. එහි සම්පූර්ණ වැඩ අවසන්. ධරණී නමින් එය ළඟදීම විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක් හිතනවා අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරන නිසා වෙනත් නිර්මාණවලට මම සම්බන්ධ වෙන්න අකැමැති ඇති කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මුලින්ම නළුවෙක් වෙන්නේ. ඒ නිසා මට ලැබෙන චරිත ඇතුළේ මට හැකි උපරිමය කරන්න තමයි මහන්සි වෙන්නේ. එහෙම නැතුව කොටු, ඉරි ඇඳගෙන මේ ගමන යන කෙනෙක් නෙමෙයි මම.


ඔබ පුත්තු දෙදෙනෙක් ඉන්න පියෙක්. කොහොමද පවුල් ජීවිතේ ..?


ලොකු පුතා මෙවර සාමාන්‍ය පෙළ කරන්න සූදානම්වී ඉන්නේ.. ඔහු මහානාම විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. සසෙන් ඉලේපෙරුම. පොඩි පුතා කලින ඉලේපෙරුම. එයා ශිෂ්‍යත්වයට පෙනී ඉන්නවා. බිරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්. ඇය සංගීත විශාරදවරියක්. ඇය දැන් ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. මම කලාව එක්ක කාර්යබහුල චරිතයක්. නමුත් පවුල් ජීවිතේත් සුන්දර විදිහට ගත කරනවා.


බිරිය කරගත් ඇය පෙම්වතිය කාලේ දක්ෂ නිළියක් නේද ..?


‘ගුරුතරුව, ලෝකය තනියායක්‘ වගේ නිර්මාණවලට සම්බන්ධ වුණා. අපි කලා කටයුතුවලදි තමයි මුණගැහෙන්නේ. විවාහයෙන් පසුව ඇය රංගනයට සමු දුන්නා.


ඇයව මුලින්ම දැකලා ආදරේ කරන්න පටන් ගත් සුන්දර අත්දැකීම් ගැනත් මතක් කරමු..?


බිරිය මුණගැහෙන්නේ නිදහස් වර්ණ ජයන්තිය දවසේ. ඒකට සියලුම නාට්‍ය කණ්ඩායම් එකතු කරලා පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශාල උත්සවයක් තිබුණා. 2000 අවුරුද්දෙදි තමයි අපි හමුවන්නේ. ඒ හමුවීම තමයි ප්‍රේමයක් බවට පත් වෙන්නෙ. අපි වසර හයක් ආදරේ කරලා තමයි 2006 වසරෙදි විවාහ වෙන්නේ. දැන් අපි වසර දහඅටක නොබිඳුණු පවුල් ජීවිතයක් ගත කරමින් දීර්ඝ චාරිකාවක ගමන් කරමින් ඉන්නවා,


ඔබට ලැබෙන ජනප්‍රියත්වය එක්ක ඇගේ ප්‍රතිචාර කොයි වගේ ද? ජනප්‍රිය බොහෝ තරු බිරින්දෑවරුන්ගේ පීඩනයට ලක් වෙනවා අපිට අහන්න ලැබෙනවා?


කලාව අවදානම් තැනක තියෙන්නේ. හැසිරිම් හා විවිධ භූමිකා රියැක් කරන සමාජයක අපි ජීවත් වෙන්නෙ. එතැනදි අවබෝධය හා විශ්වාසය එකිනෙකාට තියෙන්න ඕන. අද පවුල් ජීවිත කෙටි කාලයකින් කැඩෙනවා. ඒකට එක හේතුවක් තමයි විවිධ දේවලට මුළාවීම. නමුත් අපි අතර ඔය ප්‍රශ්න නැහැ. එකිනෙකාව විශ්වාස කරමින් ජීවත් වෙනවා. දැනට ලොකු කාලයක් මේ ගමන යන්නේ ඇය නිසයි. ඇගේ ශක්තිය නිසයි. ඒ නිසා මම හිතනවා ඒ තමයි මගේ හරි තේරීම කියලා.


කලා ජීවිතේ පවත්වාගෙන යන්න ඇත්තටම ඇය සහාය දෙනව ද..?


මට මගේ භූමිකාවන් තුළ සාර්ථක වෙන්න අවශ්‍ය නිදහස ඇය මට ලබා දීලා මාව තේරුම් අරන් ඉන්නවා කියලා හිතෙනවා. බොහෝ වෙලාවට මම ගෙදර ඉන්න කාලය අඩුයි. මගේ දරුවෝ දෙන්නත් බලාගෙන පවුල් ජීවිතේ අරන් යන්නෙ ඇය තමයි. ඒ නිදහස තමයි මාව සාර්ථක මනුස්සයෙක් කරලා තියෙන්නේ කියලා කියන්න ඕන. එක පැත්තකින් ඇය අධ්‍යාපනයෙන් හොඳ මට්ටමක ඉන්න එකත් එකිනෙකා අවබෝධ කර ගන්න හේතුවක් වෙන්න ඇති.


තරු ගුණය පවත්වාගෙන යන්න බොහෝ කලාකරුවන් විවාහ ජීවිතේ වසන් කරනවා. ඔබත් පවුල් ජීවිතය හංගගෙන හිටපු නළුවෙක් ද ජනප්‍රියත්වය උදෙසා..?


කොහෙත්ම නැහැ. මුල් කාලේ ඉඳලම මම විවාහකයි මේ මගේ බිරිඳ, දරුවෝ කියලා සමාජයට කියන්න මට පුළුවන්කමක් තිබුණා. එහෙම හංගගෙන ජීවත් වෙන කලාකරුවෝ ඉන්නවා. මට හංගන්න වුවමනාවක් තිබුණේ නෑ. පවුල් ජීවිතේ හා කලාව කියන්නේ දෙකක් බව තේරුම් ගත් රංගන ශිල්පියෙක් මම. ඒ නිසා ඕනෑම වැඩසටහනක මට ආරාධනා කළොත් මම ඔවුන් එක්ක යනවා. නැත්තම් පවුල ගැන කතා කරනවා. පවුල් ජීවිතය හංගගෙන ජීවත් වෙන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. එහෙම කරලා මට ලබා ගන්න දෙයක් නැහැ.


 හර්ෂණී වීරරත්න



Previous Post Next Post