දීපිකා සහ රන්වීර් මවුපිය පදවි ලබති




බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පදුකෝන්ගේ සහ ඇයගේ සැමියා වන රන්වීර් සිංගේ රසික රසිකාවියන් තුළ සතුට දනවනසුලු පුවතක් පසුගිය දා වාර්තා වුණා. එනම් දීපිකා සහ රන්වීර් පළමු වතාවට මවුපියන් බවට පත් වීම පිළිබඳ පුවතයි. ඔවුන්ගේ කුලුඳුල් දරුවා දියණියක්.


මේ වනවිට 38 වැනි වියෙහි පසුවන දීපිකා සිය දියණිය බිහි කළේ පසුගිය 8 වැනි දිනයි. දරු ප්‍රසූතිය සිදුව තිබුණේ මුම්බායිහි එච්. එන්. රෙලයන්ස් (HN Reliance) රෝහලේ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. දරුවා ලැබුණු දිනට කලින් දවසේ එනම් 7 වැනි දින තමයි දීපිකා රෝහල්ගතව තිබුණේ. එදින රන්වීර් මෙන්ම ඔවුන් දෙදෙනාගේ මවුපියන් ද රෝහල වෙත පැමිණි බව මාධ්‍ය වාර්තාවල දැක්වුණා. ඊට පෙර දිනයේ දීපිකා සහ රන්වීර් ආශීර්වාද ලබා ගැනීම සඳහා ආගමික සිද්ධස්ථානවලට ගොස් තිබූ බවත් සඳහන්.


8 වැනි දින දරුවා ලැබීමෙන් පසු ඔවුන් දෙදෙනා ඒ බව රසික රසිකාවියන්ට දැනුම් දී තිබුණේ සමාජ මාධ්‍ය තූළ පළ කළ පෝස්ටුවක් හරහායි. “Welcome baby girl. 08.09.2024. Deepika and Ranveer” යනුවෙන් ඉතා සරල පණිවුඩයක් එහි සඳහන් වුණා. ආලියා භාත්, ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර්, අර්ජුන් කපූර්, බිපාෂා බාසු ඇතුළු සිනමා ක්‍ෂේත්‍රයේ මිතුරු මිතුරියන් නව මවුපිය දෙපළට උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනුත් දක්නට ලැබුණා.


2018 වසරේ යුග දිවියට එළැඹුණු දීපිකා සහ රන්වීර් පළමුවරට දරු සුරතල් බලන්නේ විවාහයෙන් වසර 6 කට පසුව යි. තමුන් දෙදෙනා මවුපිය පදවි ලැබීමට සූදානම් වන බව ඔවුන් මුල්වරට නිවේදනය කළේ පසුගිය පෙබරවාරි මාසයේ යි.


පසුගිය කාලයේ මාතෘ නිවාඩු ලබා සිටි දීපිකා කිසිදු චිත්‍රපටයක රඟපෑමට භාර ගත්තේ නැහැ. ඇය නැවත චිත්‍රපටවල කටයුතු ආරම්භ කරනු ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේ බවයි සඳහන් වන්නේ.


දීපිකා- රන්වීර් දෙදෙනා ආදරවන්තයන් බවට පත් වූයේත් චිත්‍රපටයක වැඩ කරමින් සිටින අතරයි. Goliyon Ki Rasleela: Ram-Leela නම් වූ එම චිත්‍රපටය සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂ සංජේ ලීලා බන්සාලිගේ අධ්‍යක්‍ෂණයක්. එය තිරගත වූයේ 2013 වසරේ යි.


ඔවුන් දෙදෙනා ළඟදීම සුපිරි නි‍ෙවසක පදිංචියට යාමට සූදානම් වන බවටත් කතාවක් තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 100 කට ආසන්න වටිනාකමකින් යුතු මෙම නි‍ෙවස පිහිටා තිබෙන්නේ මුම්බායිහි බන්ද්‍රා බෑන්ඩ්ස්ටෑන්ඩ් නමැති ප්‍රදේශයේ මුහුද ආසන්නයේය. මෙම නි‍ෙවස සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයක බවත් වාර්තා වෙනවා. දීපිකා සහ රන්වීර් දෙදෙනා ගේ මෙම නි‍ෙවස ඉහත කී නිවාස සංකීර්ණයේ මහල් හතරක් පුරා පැතිරුණු සුවිසල් නි‍ෙවසක් බවයි මාධ්‍ය පවසා තිබුණේ. එම ගොඩනැඟිල්ලේ 16-17-18-19 යන මහල් හතරම ඔවුන්ගේ නි‍ෙවසටයි අයත් වන්නේ.


ඔවුන් දෙදෙනා වාසය කරන වත්මන් නි‍ෙවසත් සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයක පිහිටා තිබෙන්නක්. මුම්බායිහි ප්‍රභාදේවි නැමැති ප්‍රදේශයේ පිහිටා ඇති මහල් 33 ක ගොඩනැඟිල්ලක 26 වැනි මහලේ යි මෙම නි‍ෙවස පිහිටා තිබෙන්නේ. දීපිකා සහ ඇයගේ පියා ප්‍රකාශ් පාදුකෝන් එක්ව මෙම නි‍ෙවස මිල දී ගත්තේ 2010 වසරේයි. ඒ වෙද්දී දීපිකා සහ රන්වීර් විවාහ වී සිටියේ නැහැ. දීපිකා සහ ඇගේ පියා මෙය මිල දී ගෙන තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 16 කට යි. අද එහි වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 42 ක් (ලංකා රුපියල් කෝටි 150 ක්) පමණ වන බවත් සඳහන්. නිදන කාමර හතරකින්, විසිත්ත කාමරයකින් සහ මුළුතැන්ගෙයකින් මෙය සමන්විත වන අතර දීපිකාගේ සහ රන්වීර්ගේ සුඛෝපභෝගී මෝටර් රථ එකතුව සඳහා වෙනම රථගාල් තුනක් ද මෙම නිවාස සංකීර්ණයේ ඇති බව පැවසෙනවා.


දීපිකා මේ දිනවල චිත්‍රපටවල රඟ නොපෑවත් ඇය මාතෘ නිවාඩු ලබා ගැනීමට කලින් රඟපෑ සිනමාපටයක් මේ වසරේ තිරගත වීමට නියමිතයි. ඒ Singham Again චිත්‍රපටයයි. දීපිකා පමණක් නොව රන්වීර් ද මෙම චිත්‍රපටයේ රඟපානවා. මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයට එය ලබන නොවැම්බර් මාසයේ ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත.


කසුන් අරවින්ද



Previous Post Next Post