ආදරවන්තියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා -සුහන්දි උපේත්මා



මේ දිනවල සියත නාළිකාවේ විකාශය වන සින්ධු ටෙලි නිර්මාණයේ සින්ධුජාගේ චරිතයට පණ පොවන හුරුබුහුටි රංගන ශිල්පිනිය කවුරුන්දැයි අසන පිරිස බොහෝය. ඔබ ඇය ගැන නොදන්නවා විය නොහැකිය. ඇය කලක් ඔබ ආදරය කළ චරිතයකි. නුවර අහස යට දිග හැරුණු ‘මන්දාරම් කතාවේ’ ඔබ බොහෝසේ ආදරය කළ විදූ ඇයයි. අරුන් – විදූ ආදර කතාවට අදටත් පෙම් බඳින්නන් සිටිනවා නොඅනුමානය. සින්ධු ද එවන් ආදරයකට බඳුන්වනවා නිසැකය. මන්දාරම් කතාවෙහි විදූ මෙන්ම සින්ධුහි සින්ධුජා ලෙසින් මේ දිනවල ඔබ හමුවන ඇය සුහන්දි උපේත්මාය.


මන්දාරම් කතාවේ ආදරණීය විදූ වුණු ඔබ මේ දවස්වල සින්ධු වෙලා. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?


සින්ධු නිර්මාණය වෙන්නේ සියත නාළිකාවේ නාට්‍ය අංශයේ ප්‍රධානී ලසිත කාරියවසම්ගේ අධ්‍යක්ෂණයෙන්. ඒ සඳහා මට ආරාධනා ලැබෙන්නේ එහි ඇසිස්ටන් ඩිරෙක්ටර් රසාංග අයියා හරහා. අලුත් නිර්මාණයක මෙහෙම චරිතයක් තියෙනවා නංගි ඔයා කැමතිද කියලා ඔහු මගෙන් ඇහුවා. ස්ක්‍රිප්ට් එක ගැන කිව්වම මට හිතුණා ඒක හරි ලස්සන ආදර කතාවක් කියලා. ආදර කතාවක් විතරක් යන නිර්මාණ දැන් අඩුයි. මන්දාරම් කතාවේ ඒ වගේ ලස්සන ආදර කතාවක් වුණාට සින්ධු ඊට වඩා වෙනස් කියල හිතුණා. මං කැමති වුණා. ඊට පස්සෙ මීටින් එකක් තියලා චරිතෙ ගැන ගොඩක් කතාකරලා, ප්ලෑන් කරලා තමයි නිර්මාණය පටන් ගත්තේ. ඊට පෙර සියත නාළිකාවේ මේ වගේ කතාවක් ගිහින් තිබුණෙ නෑ.


සුහන්දි ප්‍රධාන චරිතයකින් මුලින්ම හමුවුණේ මන්දාරම් කතාවේ. ඒ ගැන කතා කළොත්?


මන්දාරම් කතාවේ ටෙලි නිර්මාණයට මුලින් සම්බන්ධ වුණාට ඊට පස්සෙ සම්බන්ධ වුණු ධනුෂ්ක රත්නායකගේ See You කලින් විකාශය වුණා. See You ටෙලි නිර්මාණයේ මෞලී විදිහට මං කළේ සබ් රෝල් එකක්. ඒත් මන්දාරම් කතාවේ විදූ කියන්නේ ප්‍රධාන චරිතය. අරුන් – විදූ ආදර කතාව පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණා. විදූට පුදුමාකාර ආදරයක් ලැබුණා. ඒක ආදරය විතරක්ම මූලික කරගත් කතාවක්. මමත් පෞද්ගලිකව ආස කළ කතාවක්. එතැනදි මමත් ප්‍රේක්ෂකයෙක් වෙලා ඒ ටෙලි නිර්මාණය රසවින්දා.


ප්‍රධාන චරිතයකින් හමුවුණු පළමු අවස්ථාව නිසා අමතක නොවන තැන් ඇති?


මන්දාරම් කතාවේ මුළු නිර්මාණයම අමතක නොවන අත්දැකීමක් වුණා. ඒ තරමට ප්‍රේක්ෂක ආදරය ලැබුණු නිර්මාණයක්. කතාව අවසන් වෙලා අදටත් අරුන්- විදූ ආදර කතාවට ප්‍රතිචාර ලැබෙනවා. ලැබුණු ප්‍රතිචාර අතර කවදාවත් අමතක කරන්න බැරි ඒව තිබුණා. මන්දාරම් කතාවේ ඉවර වෙලා කාලයක් ගියාට පස්සෙ නුවරට පය තියද්දිත් අරුන්-විදූ ආදර කතාව කාටවත් අමතක වෙන එකක් නෑ කියල සමහර ප්‍රතිචාරවල තිබුණා. ඒක නම් මගේ හිතට හොඳටම දැනුණා. ඒ ආදරේ කවදාවත් අමතක වෙන්නෙ නෑ.


සුහන්දි කලාවට පිවිසුණු විදිහ ගැන කතා කළොත්?


ටෙලි නිර්මාණයක් විදිහට මුලින්ම සම්බන්ධ වුණේ රනිල් කුලසිංහගේ 1990 ටෙලි නිර්මාණයට. මට ඒ සඳහා අවස්ථාව ලබාදෙන්නේ නිල්මිණි තෙන්නකෝන් අක්කා. ඇය තමයි එහි ප්‍රධාන චරිතය කළේ. මං ගැන රනිල් කුලසිංහ අයියට කියලා මාව හඳුන්වලා දුන්නේ ඇය. ඊට පස්සෙයි ඔඩිෂන් එකට සම්බන්ධ වුණේ. මට මන්දාරම් කතාවේ ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණේ ඒ විදිහටයි. මන්දාරම් කතාවේ විදූ තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඊට පස්සේ ධනුෂ්ක රත්නායක අයියගේ See You ටෙලි නිර්මාණය. ඒ අතරේ දෙරණ අවුරුදු ටෙලි ෆිල්ම් එකක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. දෙවරක් චක්කරේ අංජලී , ආදරේ ගීතයක් ටෙලි නිර්මාණයේ මෙහෙන්දි වගේම මේ දිනවල විකාශය වන සින්ධු ටෙලි නිර්මාණයේ සින්ධුජා දක්වා ආවා. සින්ධුත් මන්දාරම් කතාවේ වගේම ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගනීවි කියලා හිතනවා.


සුහන්දිගෙ පෞද්ගලික තොරතුරු දැනගන්නත් ප්‍රේක්ෂකයින් කැමැති වේවි?


මං ඉන්නේ කඩවත. මගේ ගෙදර ඉන්නේ මායි, අම්මයි, නංගියි. අප්පච්චි ව්‍යාපාර කටයුතුත් එක්ක ටිකක් ඈත ඉන්නේ. මගේ අම්මා අපි දෙන්නගෙ හෙවණැල්ල වගේ නිතරම අපි පස්සෙම ඉන්නවා. මං තාම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු එකහමාරක් වගේ. ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙලා ටික දවසක් ගිහින් කට්ටිය අඳුනගන්න කල් අම්මා මාත් එක්ක ෂූටින්වලට එනවා.


ඔබ නර්තනයටත් දක්ෂයි නේද?


ඔව්. නර්තනය තමයි මං පොඩි කාලෙ ඉඳන්ම කළේ. රංගන කටයුතුත් එක්ක නර්තනයෙන් ටිකක් ඈත් වුණා. දැන් ආයෙම නර්තනය පැත්තට යොමු වුණොත් හොඳයි කියලා හිතෙනවා. කවදහරි නර්තනය උගන්වන්නත් අදහසක් තියෙනවා.


සුහන්දිත් ලස්සන තරුණියක්නේ. ආදරය ගැන මොකද හිතෙන්නේ?


ආදරය කියන්නෙ සුන්දර හැඟීමක්. මං දකින විදිහට ආදරය කියන්නේ තමන් ආදරය කරන කෙනාගේ සතුට, සැනසීම ගැන හිතන එක. එයාට ගෞරව කරන එක. ඇත්තටම ආදරේ නම් ඒ දේවල් ඉබේම වෙනවා.


සුහන්දි ආදරවන්තියක් ද කියල ඇහුවොත්?


ආදරවන්තියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයා මට ගොඩක් ආදරේ වෙන්න ඕන. මගේ වැඩවලට උදවු කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම මාව තේරුම් ගන්න පුළුවන් විශ්වාසය රකින කෙනෙක් වෙන්නත් ඕන.


 නාමලී ගමගේ



Previous Post Next Post