වෙස්මුහුණෙන් පැන්න මියුසික් පිම්ම ඇවටර් ඇමේලියා



පාරම්පරික සාම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් දස්කම් දක්වන තරුණ තරුණියන් අද සමාජයේ අපිට නිතර දකින්න ලැබෙනවා. පාරම්පරික සාම්ප්‍රදාය අතික්‍රමණය කරමින් පසුගිය දවස්වල දස්කම් පෙන්වූ චරිතයකට තමයි අපි අද මේ ඉඩකඩ වෙන්කරන්න හදන්නේ. ඇය නමින් ඇමේලියා විජේසූරිය. මේ දවස්වල තරුණ තරුණියෝ අතර ඇය හරි ජනප්‍රියයි. ඒ වගේම ඇය ගායනයෙන් දස්කම් දක්වන ඇවටර් බෑන්ඩ් එකත් ඒ වගේම ජනප්‍රියයි. ඉතින් හැමෝම හොයන ඇමේලියාගේ විස්තරේ ඔයාලට අපි මෙවර මීවිතෙන් ලියන්න හිතුවා.

ඇමේලියා මේ දිනවල හරි ජනප්‍රිය චරිතයක්නේ ද?


ඇත්තටම ගොඩක් සතුටුයි. මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. මොකද ජනප්‍රිය වෙන්න අමාරුයිනේ. හැමෝගෙන්ම ලැබෙන්නේ ගොඩක් හොඳ ප්‍රතිචාර.


සංගීතයට යොමුවුණේ කොහොම ද?


මම තාත්තාගේ මාර්ගයෙන් තමයි සංගීතයට යොමුවුණේ. මගේ තාත්තාට මීට කලින් රුවන් ෆ්‍රෙන්ඩ්ස් කියලා එකෝස්ටිස් බෑන්ඩ් එකක් තිබුණා. ඉතින් මම නිතරම තාත්තා සින්දු කියනවා බලාගෙන ඉඳලා තියෙනවා. තාත්තාගේ උපන් දිනය දවසේ තමයි මම මුලින්ම සින්දු කියන්න පටන්ගත්තේ. එතකොට මට වයස අවුරුදු පහක් හයක් විතර ඇති. එදා තමයි අම්මයි, තාත්තයි දැනගත්තෙ මට සින්දු කියන්න පුළුවන් කියලා. ඊට පසුව මාව සංගීතයෙන් ඉදිරියට යන්න කියලා උමාරා මියුසික් ඇකඩමියට යොමු කළා. මම සංගීතයේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ උමාරා මිස් ගෙන්. රයිනි මිස් ගෙනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අන්තිමට මම අමිල අංකල් ගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.


ඔබ මේ දවස්වල ජනප්‍රිය ඇවටර් බෑන්ඩ් එකක් එක්ක. ඇවටර් බෑන්ඩ් එකට සම්බන්ධ වුණේ කොහොම ද?


මම ඇවටර් බෑන්ඩ් එකට සම්බන්ධ වුණේ ගිය අවුරුද්දේ. මම ඔවුන්ට සම්බන්ධ වෙනකොට එළිමහන් ප්‍රසංගවල සින්දු කියලා තිබුණෙත් නැහැ. ලොකු සෙනඟක් ඉදිරියේ ගෘහස්ථ ප්‍රසංගවල සින්දු කියලා තිබුණාට එළිමහන් ප්‍රසංගවල සින්දු කියලා තිබුණේ නැහැ. මම බෑන්ඩ් එකට සම්බන්ධ වෙච්ච ගමන් මුලින්ම සින්දු කිව්වෙත් එළිමහන් ප්‍රසංගයක. ඒ කාලේ සහ අද ගැන සංසන්දනය කරලා බලද්දී මට තේරෙනවා මම ගොඩක් දියුණුවෙලා කියලා. ඒ වගේම මම ජනප්‍රිය වෙලා තියෙන්නෙත් ඇවටර් බෑන්ඩ් එකත් එක්ක. ඒ වගේම මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනෑ, ඇවටර් බෑන්ඩ් එකේ අනෙක් සාමාජිකයන් වගේ ඇවටර් බෑන්ඩ් එකේ හිමිකරු චතුරංග අංකල්ව. ඇත්තට ම අපි කට්ටියම ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව අපේ තියෙන එකමුතුකම වගේම අපේ තියෙන කැප කිරීම. අනික අපි හැමෝම වගේම දිනපතා පුහුණු වීම් සිදුකරනවා.


තරුණයෝ හයදෙනෙක් එක්ක වැඩ කරන්න බය හිතුණේ නැති ද?


ඇත්තටම මට තවම අවුරුදු දහසයයි. අනෙක් අයියලා සියලුම දෙනා මට වඩා වැඩිමහල්. ඒ ගොල්ලොත් එක්ක වැඩ කරන්න මට කිසිම බයක් නැහැ. කවදාවත් මාව තනිකරලත් නැහැ. බයකරලත් නැහැ. ඒ ගොල්ලන්ගේ නංගි කෙනෙක් වගේ තමයි මාව බලාගන්නේ. මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. මගේ අඩුපාඩු දැක්කොත් කියලා දෙනවා.


ඇවටර් බෑන්ඩ් එකත් මේ දවස්වල හරි ජනප්‍රියයි ?


ඇත්තටම සතුටුයි. අපේ රසික රසිකාවියන් වගේම ගායක ගායිකාවන් ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වෙලාවේ මම ආදරයෙන් මතක් කරන්න ඕනෑ මගේ සහෝදර ගායකා ටී.ජේ. (තේජාන්), බේස් ගිටාර් ශෙහාන් අයියා, ලීඩ් ගිටාර් දුලාන් අයියා, පර්කශන් සචිත් අයියා, ඩ්‍රම්ස් වාදකයා බෙන්ඩමින්, කීබෝඩ් නිලංග අයියා. මේ වෙලාවේ බෑන්ඩ් එකේ හිමිකරු චතුරංග අංකල්වත් මතක් කරන්න ඕනෑ. එයාගේ තමයි සැලසුම් සියල්ලම.


චන්ද්‍රලේඛාගේ තරු එළියේ ගීතය ගායනා කරලා හරියට ජනප්‍රිය වුණා?


තරු එළියේ ගීතයෙන් තමයි අපේ බෑන්ඩ් එකත් එක්ක මෙය වෛරල් වුණේ. කෝච් රයිනි මිස් පවා මට කතා කරලා සුබ පැතුවා. ඉක්මනටම අලුතෙන් ගීතයක් එළිදක්වන්න කියලත් රයිනි මිස් කිව්වා. හැමදාම පුහුණු කරන කොට මට ඕනෑම සින්දුවක් ඕනෑම කට හඬකින් කියන්න පුළුවන්.


ඇමේලියාගේ පවුලේ විස්තර?


මගේ ගම අම්බලන්ගොඩ. මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි ඉන්නේ. මම වැඩවලට එන්නේ අම්බලන්ගොඩ ඉඳලා. හැබැයි එක දිගට වැඩවලට එද්දී කොළඹ නතර වෙන්න වෙනවා. ඉතින් මම නතර වෙන්නේ භාෂිණී විජේසූරිය වන මගේ නැන්දාගේ ගෙදර. ඇයත් මට මේ වෙලාවේ ගොඩක් ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේම මගේ අම්මයි, තාත්තයි මගේ පිටුපසින් ඉන්නවා. මොකද මම තවම පොඩියිනේ. මේ යන ගමනට පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


අධ්‍යාපන කටයුතු එහෙම ?


මම දැනට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා. මගේ මූලික අරමුණ වෛද්‍යවරියක් වෙන්න. දැනට මම ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ තමයි අධ්‍යාපන කටයුතු හදාරන්නේ. උසස් පෙළත් හදාරන ගමන් සංගීතයත් හදාරනවා.


සංගීතයයි අධ්‍යාපනයයි ලේසි නැහැනේ?


ඔව්. ලේසි නැහැ. මම ගොඩක් නිදිවරනවා. අනික මම කාලසටහනකට අනුව තමයි වැඩ. මට දෙකම හැන්ඩ්ල් කරන්න බැහැ. දන්නෙ නැද්ද ජීව විද්‍යාව හදාරනවා කියන එකත් ලේසි නැහැ. ඒවගේම ජනප්‍රිය වුණහම ඒක දිගටම පවත්වා ගෙන යනවා කියන එකත් ලේසි නැහැ. දෙකම සමබරව පවත්වා ගෙන යන්න උත්සාහ කරනවා.


ඔබේ ‘කොහේ යන්නද මා’ ගීතයට ලැබුණු ප්‍රතිචාර ?


කොහේ යන්නද මා ගීතය මා නිර්මාණය කරන්නේ අමිල අංකල් එක්ක. එයා ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒක තමයි මගේ පළමු සිංහල ගීතය. මොකද මම පළමුවෙන්ම එළිදැක්වූයේ අයි වෝන්ද ෆ්ලයි කියලා ඉංග්‍රීසි ගීතයක්. සිංහල ගීතයක් විදිහට මුලින්ම එළිදැක්වූයේ කොහේ යන්නද මා ගීතය. ඒකටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


පුංචි කාලේ ඉඳලා හීන මැව්වේ ගායිකාවක් වෙන්න ද?


පොඩි කාලයේ ඉඳලා තිබුණ ලොකුම හීනය තමයි වෛද්‍යවරියක් වීම. අදටත් ඒ අදහසේ වෙනසක් නැහැ. පුංචි කාලේ මට සංගීතය පිළිබඳ මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මම සංගීතය ඉගෙන ගනිද්දි ඒකට ලොකු කැමැත්තක් ඇතිවුණා.


අලුත් ගීතයක් එළිදක්වන්න එහෙම අදහසක් තියෙනවා ද?


පාවී පාවී කියලා ගීතයක් එළිදක්වන්න අදහසක් තියෙනවා.


ඇමේලියාගේ අනාගත බලාපොරොත්තු ?


සංගීතය පැත්තෙන් ජාත්‍යන්තරයට යන්න තමයි මගේ අදහස. අධ්‍යාපනය පැත්තෙන් මට ඕනෑ වෛද්‍යවරියක් වෙන්න. ඒ හීන දෙකම සැබෑ කරගන්න තමයි අදහස.


ඇමේලියාගේ පෞද්ගලික ජීවිතය ගෙවෙන විදිහ?


පුංචි කාලේ ඉඳලා මම කවදාවත් නිහඬව ඉඳලා නැහැ. කොහෙන් හරි සද්දයක් මගෙන් එනවාමයි. අනික මම නර්තනයත් හදාරනවා. මගේ පරම්පරාවේ මුල්පුරුක වන්නේ ආරියපාල විජේසූරිය. එයා තමයි වෙස්මුහුණු සහ කෝලම් සම්ප්‍රදාය ලෝකයට හඳුන්වා දුන්නේ. දැන් යන්නේ හත්වැනි පරම්පරාව. ඒක පවත්වා ගෙන යන්නේ මගේ තාත්තා රුක්මල් විජේසූරිය. මගේ සීයා මහින්දපාල විජේසූරිය.


ඇමේලියාගේ පරම්පරාව වෙස්මුහුණු සහ කෝලම් කලාවෙන් පැවැත එන අය?


අම්බලන්ගොඩ වෙස්මුහුණු සහ කෝලම් කලාව පවත්වා ගෙන යන්නේ අපේ ෆැමිලි එක. ඉතින් අටවන පරම්පරාව ගෙනියන්නේ මමයි, නංගියි, මල්ලියි. අපි තවම දේවල් ඉගෙන ගන්නවා. මොකද ගොඩක් දේවල් තියෙනවා කෝලම් සම්ප්‍රදායේ සහ වෙස්මුහුණු කලාවේ. ඒක ලොකු විෂයක්.


ඔබට වෙස්මුහුණු කපන්න එහෙම පුළුවන් ද?


ඔව්. මට වෙස්මුහුණු කපන්න පුළුවන්. කදුරු ලීයෙන් තමයි අපි වෙස්මුහුණු හදන්නේ. අතින් තමයි ඒ සියලුම දේවල් නිර්මාණය කරන්නේ. පින්තාරු කටයුතු පවා අතින් සිදුකරන්නේ.


ගෙදර තවම ඒ වැඩ කරගෙන යනවාද?


මගේ ගෙදරට පිටුපසින් ආරියාපල වෙස්මුහුණු ප්‍රදර්ශනාගාරය වගේම ආරියපාල වෙස්මුහුණු කෞතුකාගාරය, වැඩ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය තියෙනවා. ඉතින් විවේක වෙලාවට මමත් ගිහිල්ලා වෙස්මුහුණු කපනවා.


කෝලම් නාට්‍ය කලාව ඉගෙන ගන්නවා ද?


ඔව්. ගොඩක් දේවල් මම තවම ඉගෙන ගන්නවා. පොලිස් කෝලම්, ලෙන්චිනා වගේ දේවල් තවම ඉගෙන ගන්නවා. මගේ තාත්තාත් ඩාන්සින් ඇකඩමියක් පවත්වා ගෙන යනවා. මටත් විවේකයක් ලැබුණොත් ඒ දේවල්වලට සහභාගි වෙනවා. අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැරට පවා මම සහභාගි වුණා. වෙස්මුහුණක් ගැටගසා ගෙන අපේ පවුලේ අයම නැටුවා. ඇත්තට ම මියුසික් වගේම තමයි නාගරාක්ෂ නැටුම් නටන්නත් මට පුළුවන්. මම පෙරහැරේ නැටුවේ කිලෝ හතරක විතර වෙස්මුහුණක් ගැටගසා ගෙන.


දිනේෂ් විතාන



Previous Post Next Post