සාරංග දිසාසේකර ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කරන්නට හැකි අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම තමයි දක්ෂ නිවේදකයෙක්. මේ දිනවලත් එකිනෙකට වෙනස් වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන සාරංග සමඟ කළ සොඳුරු කතාබහයි මේ.
මේ දවස් වල Take Care ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර දැනෙන්නේ කොහොමද?
ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉන් අදහස් කරන්නේ හොඳ ප්‍රතිචාර පමණක් ලැබෙනවා කියන එක නෙවෙයි. හොඳ හෝ නරක කියන්න වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉදිරිපත් වෙනවා. ඒක තමයි නිර්මාණකරුවන් විදියට අපි ලබපු සාර්ථකත්වය. මෑත ඉතිහාසයේ මම දැකලා නැහැ මේ තරම් පිරිසක් ටෙලිනාට්‍යයක් ගැන ලියනවා, කතා බහ කරනවා, මත පළකරනවා, අපිව අගය කරනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යය තුළ Take Care ටෙලි නාට්‍යය ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. දැන් අවසානයට ඇවිත් තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් අවසානය අනුමාන කරන්න උත්සාහ කරනවා. එතැන තරගයක් සහ කතිකාවන් නිර්මාණය වෙලා තියෙනවා. ඒක මම දකින්නේ ඉතා සුබ දෙයක් විදියට.
ප්‍රධාන භූමිකාව වගේම Take Care හි නිෂ්පාදකත් ඔබමයි. මෙවැනි ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න ලැබීම මොන විදියට ද දැනෙන්නේ?
ඇත්තටම සතුටුයි. නිෂ්පාදකවරයෙක් විදියට මේ කාලයේ ලොකු ලාභ ඉපැයීමක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක සමස්ත මේ රටේ ආර්ථික තත්ත්වය එක්ක ඇතිවෙලා තියෙන දෙයක්. හැමදේම වියදම් වැඩිවෙලා තියෙන කාලයක ටෙලිනාට්‍යය ක්ෂේත්‍රය තුළින් ලාභ නොලැබුවත් මේ සඳහා යොමු වෙලා ඉන්නේ පවතින නිර්මාණ අතරේ හොඳ නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාව මත. මම නිෂ්පාදකවරයෙක් විදියට ඒ බලාපොරොත්තු වුණු දේ ඉතාම හොඳින් ඉටු වුණා කියලා හිතනවා.
වාසල, මේනකා, අසේනි මේ චරිත ගැනත් කතා කළොත්?
මටත් දිනක්ෂිට සහ රෙබෙකාටත් රංගන ශිල්පීන් ශිල්පිනියන් විදියට වටිනාකමක් ගොඩනැගෙන වෙනස් චරිත තුනක් ලැබුණේ. වාසල හරහා රංගන ශිල්පියෙක් විදියට මම වෙනස්ම චරිතයක් කළේ. මේනකා තුළින් දිනක්ෂිටත් අවස්ථාව ලැබුණා ඇය සතු රංගන හැකියාව පෙන්නුම් කරන්න. ඒ එක්කම අසේනි කියන චරිතය තුළින් රෙබෙකා දිල්රුක්ෂි කියන හැංගිලා හිටපු අති දක්ෂ රංගන ශිල්පිනිය Take Care හරහා ජාතික තලයට ගෙන එන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒ වෙනකම් ගොඩක් වෙබ් සීරිස් හරහා අප ඇයව දැකලා තිබුණේ. ඒ එක්කම Take Care හි අධ්‍යක්ෂවරයා ගැනත් මතක් කරන්න ඕනේ. අනුෂ්ක රසාංජන කියන අලුත්ම තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා එළියට එනවා. මින් පෙර ඔහුත් වෙබ් සීරිස් කරලා තිබුණට පළමු වතාවට තමයි මේ වගේ ජාතික නාලිකාවක නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේ. පසුගියදා පැවති කැලීන් පොපියුලර් Awards වලත් අපිට සති අන්තයේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය ලැබුණා. ඒ නිසා නිෂ්පාදකවරයෙක් විදියට ආර්ථිකමය වාසි කෙසේ වෙතත් හැම පැත්තකින්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය වඩාත් කතාබහට ලක්වෙන නිර්මාණයක් කිරීම ගැන ලොකුන් සතුටක් තියෙනවා.
සාරංගට වාසනාව ලැබෙනවා නේද එකිනෙකට වෙනස් චරිත කරන්න?
මම ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ අහිංසක ප්‍රේමවන්තයාගේ චරිත ලැබුණේ. ඒ හරහා යම්කිසි ජනප්‍රියත්වයක් ලැබුණා. ඉන්පස්සේ මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්ෂය වුණේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා මුණගැහීම. ඔහු තමයි මට යෝජනා කරන්නේ වෙනස් විදියේ චරිත රඟපාන්න සහ ඔහු තමයි මට ඒ අවස්ථා හදලා දෙන්නේ. ඔහු නිසා තමයි මට අහිංසක ප්‍රේමවන්තයාට කොටු නොවී එකිනෙකට වෙනස් චරිත කරන්න ලැබුණේ. ඒ හරහා සිනමාවේ වගේම වේදිකාවේත් ඒ අභ්‍යාස කරගෙන යන්න අවස්ථාව ලැබුණා. ඒ එක්කම මම රූපවාහිනියට කොටුවෙන්නේ නැතුව හැම කාලයකම මම මොකක් හෝ වේදිකා නාට්‍යයක වැඩ කළා. එතැන තමයි මම අභ්‍යාස කරන්න යොදා ගත්තේ. ඒකත් එක්ක මම දැන් මට ලැබෙන හැම චරිතයකටම මොකක් හෝ වෙනසක් එකතු කරනවා. ඒක බාහිර ස්වරුපයෙන් හෝ වාග් විලාසයෙන් හෝ අංග චලනයෙන් හෝ එකතු කරනවා.
මේ කාලෙත් වාසලට අමතරව තවත් චරිත කිහිපයකින්ම ඔබව දකින්න ලැබෙනවා, ඒ එකිනෙක චරිතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඔව්. මේ දවස්වල සල්ලි පොකුරු ටෙලිනාට්‍යයේ ද්විත්ව චරිත කරනවා. චුටියා සහ හේමක කියන චරිත දෙක. ඒකත් මට අභියෝගාත්මක වුණා. මොකද එතැන වේශ නිරූපණයෙන් වෙනසක් කරන්න බැහැ. එකම විදියට ඉන්නත් ඕනේ. නමුත් එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඒ නිසා ඒ වෙනස ඇති කර ගත්තේ අංග චලන සහ වාග් විලාසයන්ගෙන්. ඒ එක්කම සංසාරිණි නාට්‍යයේ මම කරන්නේ මේ චරිත තුනටම වෙනස් තිහස්වර කියන චරිතය. ඒ චරිත සියල්ලම මේ දවස් වල මගේ ප්‍රේක්ෂකයින්ට දැක ගන්න ලැබෙනවා සහ රසික රසිකාවියන් අගය කරනවා එකිනෙකට වෙනස් චරිත එක්ක කරන රංගනය.
එකම කාලයක මෙහෙම චරිත කිරීම අභියෝගයක් නෙවෙයිද?
අනිවාර්යයෙන්ම අභියෝගයක්. එක නිර්මාණයක් කරලා තව නිර්මාණයකට යන්න පුළුවන් නම් තමයි හොඳ. මම කැමැතිමත් එහෙම. නමුත් දැන් තියෙන වාතාවරණය එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මට මේ චරිත කරන්න වෙනවා. එකිනෙකට වෙනස් චරිත කරන එක මගේ පැත්තෙන් මම භාර ගන්න අභියෝගයක්. එහෙම කරන චරිත තුළින් ප්‍රේක්ෂකයා මාව එකිනෙකට වෙනස්ව දැකලා ලබා දෙන ප්‍රතිචාර තමයි මම ලබන ලොකුම සතුට.
දිනක්ෂි සහ පුංචි දෝණි සාර්න්‍යා එක්ක ගත වෙන ජිවිතේ කොහොමද?
මේ හැල්මේ දුවන ගමනේ එයා තමයි අපිට ලැබෙන සිහිල් හෙවණ විදියට දැනෙන්නේ. නැවතිලා පොඩ්ඩක් ගිමන් හරින තැන තමයි එතැන. දවසේ කොතරම් මහන්සි වෙලා ගියත් එයා ළඟට ගියාම ඒ විඩාව නිවිලා ආයෙත් ජිවත් වෙනවා කියලා දැනෙනවා. ඒක මම හිතන්නේ මට විතරක් නෙවෙයි, ඕනෙම තාත්තා කෙනෙක්ට, අම්මෙක්ට දැනෙන පොදු හැඟීමක්.
එයත් කලාවට යොමු වෙයි වගේ නේද?
ඔව්. අපි දෙන්නා විතරක් නෙවෙයි. අපේ මුළු පවුලම කලාවට යොමු වෙලා ඉන්න නිසා සහ අපි හැම තිස්සෙම අපේ හැම කටයුත්තක්ම කලාව හරහා සිදු කරන නිසා එයාටත් යම් යම් දක්ෂතා ඇති. එයාගේ දක්ෂතා වෙනුවෙන් අපි උදව් කරනවා. එයා මේ වෙද්දී නම් බොහොම කෙළිදෙලෙන් ජිවිතේ ගත කරනවා. ඉදිරියේදී එයාට දැනුම් තේරුම් ඇති වයසක දී එයා කැමැති අංශයකින් ඉදිරියට යන්න අපි අපේ උපරිම සහයෝගය දෙනවා.
Take Care හි අවසානය බොහෝ රසිකයින් අනුමාන කරනවා කියලා ඔබ කිව්වා, ඇත්තටම ඒක කොහොම වෙයි ද? ඉඟියක් දෙන්න පුළුවන්ද?
ඉඟියක් කියන්නේ. මේ ගෙවුණු සති දෙක ඇතුළත 500කට එහා කමෙන්ට්ස් දාලා තියෙනවා මම දැක්කා. ඔවුන් අනුමාන කරනවා නාට්‍යයේ අවසානය මෙහෙම වෙයි කියලා. හැබැයි අපි සතුටුම කාරණාව තමයි තවමත් කාටවත් හරියට අපේ අවසානය අනුමාන කරන්න බැරිවීම. ඒක විශාල සතුටක්. ගොඩක් නිර්මාණ පටන් ගනිද්දිම අපිට අවසානය කියන්න පුළුවන් නිසා. කොහොම වෙතත් මේ සති අන්තයෙන් ටෙලිනාට්‍යය අවසන් වෙනවා. මැතිවරණයට තියෙන උණුසුමට එහා ගිය උණුසුමක් දැඩි ප්‍රතිචාරයක් Take Care හි අවසානයට තියෙන බව ලැබෙන ප්‍රතිචාර එක්ක දැනෙනවා. ඒක නිර්මාණකරුවන් විදියට අපි ලබපු ජයග්‍රහණයක්. මම ඉඟියක් දුන්නොත් ඒක ප්‍රේක්ෂක රසවින්දනයට කරන අසාධාරණයක්. එනිසා මේ කුතුහලය ඔය විදියටම තියමු. තව පැය කිහිපයයිනේ.
අනුෂා රණසිංහ