ධනුෂ්ක ලොකුමීගොඩගේ සහ ලක්ෂිකා හිටිබණ්ඩාර කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සාර්ථක දිවියකට ධනාත්මක ආකල්ප සමාජගත කරන ආදරණීය යුවළක්. ඔවුන් එදිනෙදා ප්‍රායෝගිකව අත්විඳින දෑ සමාජ මාධ්‍යයට මුදාහරිමින් එය තවකෙකුගේ දිවියට අත්වැලක් වන අයුරු බලා හදවතින් සතුටු වන යුවළක් කිව්වත් හරි. ඒ නිසාමදෝ ඔවුන් වටා එක්රොක් වන පිරිස දිනෙන් දින වැඩිවන සෙයකි. මේ තරම් ළබැඳිව ඔවුන් මිනිසුන් ආකර්ෂණය කරගැනීමේ රහස සොයාබැලීමේ අදහසින් මෙවර අපේ කතාබහට ඔවුන් එක්කර ගත්තෙමු.
මිනිස්සුන්ගෙ ලොකු හීන කොටස් වශයෙන් සැබෑකර ගන්න විදිහ ඉතාම සරලව හරි අපූරුවට කියාදෙන ලක්ෂිකා පළමුව අප හා කතාබහට එක්විය.
ලක්ෂිකා – ධනුෂ්ක කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍යවල ගොඩක්ම ජනප්‍රිය යුවළක්. ඔබේ යූටියුබ් චැනල් එක මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද?
ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ අපට යූටියුබ් චැනල් එකක් තියෙනවා, ඒකෙන් අපි ගොඩක් සල්ලි හම්බ කරනවා කියලා. ඇත්තටම අපිට තියෙන්නේ ඉස්සරම කාලෙ අපි හදපු එක මිසක් සල්ලි හම්බ කරන්නවත් ජනප්‍රියත්වය ලබාගන්න හිතාගෙන හදපු එකක් නෙවෙයි. සබ්ස්ක්‍රයිබර්ස්ල 10,000ක් විතර ඉන්න නෝමල් එකක් අපිට තියෙන්නෙ. අනිත් එක අපි ජනප්‍රියත්වය ෆෝකස් කරලා වීඩියෝ කරන්නෙත් නෑ. යූටියුබ් කියන ටැග් ලයින් එක ඇත්තෙත් නැහැ. ගොඩක්ම අපි ෆේස්බුක්, ටික්ටොක්වල තමයි වීඩියෝ දාන්නේ. එහෙම දාන නෝමල් වීඩියෝ තමයි මේ වගේ වයිරල් වෙන්නේ.
මේ තරම් ආදරෙන් ප්‍රේක්ෂකයන් ඒවා වැලඳ ගන්න හේතුව මොකක් ද?
අපි දාන්නෙ අපේ සාමාන්‍ය ජීවිතේ සිදුවන සිදුවීම්. සමහරු හිතනවා පවුලක් කිව්වම ලොකු බරක් ඔළුවෙ තියාගෙන, ලොකු පීඩනයකින් දෙන්නට දෙන්න මිස් කරගෙන, බැනවැදීගෙන ගෙවන ජීවිතයක් කියලා. අපි දෙන්නට පෙන්නන්න ඕන වෙලා තියෙන්නේ ඒක එන්ජෝයි කරන්න පුළුවන් දෙයක් කියලා. තනි ගමනකට වඩා දෙන්නෙක් එක් වුණාම ලස්සන ඉලක්කයකට යන්න පුළුවන්. පෞද්ගලිකව අපි දෙන්නා අනිත් අය මෝටිවේට් කරන ඒවා කරනවා. හරි සරලව සැහැල්ලුවෙන් ඉන්න ඕන කියන එක තමයි අපි දෙන්නේ. ඒ නිසා වෙන්න ඇති එයාලට අපිව මේ තරම් දැනෙන්නේ. අපිට ලොකු ගණන්වලට ප්‍රමෝෂන්වලට කතා කරනවා. සල්ලිවලට එහෙම දේවල් කරන පිරිසකුත් ඉන්නවා. ඒත් අපි ගොඩක් වෙලාවට දාන්නේ අපේ එදිනෙදා ජීවිතේ අත්දැකීම්. ඒක ප්‍රමෝෂන් එකක් නෙවෙයි. අපි දෙන්නා මේ එකතු කරගෙන ඉන්න පිරිස හරියට අපි දෙන්නගෙ පවුලෙ අය වගේ. එයාල පෞද්ගලිකව අපිට කතා කරනවා, කමෙන්ට්ස් දෙනවා. අපේ අඩුපාඩු කියනවා.
ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ මොන වගේ වීඩියෝවලට ද?
කොමඩි වීඩියෝවලට ගොඩක් අය කැමැතියි. ඔය සැමියයි බිරියයි අතර වෙන කතාබහ වගේ. ධනුෂ්ක නම් මේ දවස්වල පොඩි පොඩි මෝටිවේෂන් වීඩියෝස් දානවා. පුදුමෙ කියන්නේ ප්‍රභූ පැලැන්තියේ අයත් එයාට කතා කරලා කමෙන්ට්ස් දෙනවා. මේ වෙනකල් කවදාවත් අපි ස්ක්‍රිප්ට් ලියලා ප්ලෑන් කරලා වීඩියෝ කරලා නෑ. ට්‍රැවල් කරන ගමන් මට මොකක් හරි අදහසක් ආවොත් මං ධනුෂ්කට කියනවා ඔයා මෙන්න මේ වගේ දෙබස් ටිකක් කියන්න මං මෙහෙම කියන්නම් කියලා. එහෙම තමයි හැදෙන්නේ.
එහෙම දාපු වීඩියෝවලින් ඵලක් වුණා කියලා හිතනවද?
ඔව්. ඔව්. ඒක අද අපි අත්විඳිනවා. ගොඩක්ම අපේ සැලෝන් එක පටන් ගත්ත විදිහ, ජූස් බාර් එක ඕපන් කළ විදිහ, බිස්නස් ගැන කතා කරපු ඒවට ගොඩක් අය පෞද්ගලිකවම කතා කළා. කියන්න ගොඩක් සතුටුයි, අපේ වීඩියෝ බලලා ගොඩක් අය මෝටිවේට් වෙලා තමන්ගෙම ව්‍යාපාර පටන් අරන් තියෙනවා. ඔවුන් ව්‍යාපාරය පටන් ගන්න මුල්ම අදියරට අපිටත් ආරාධනා කරනවා. ඒ වගේම බොහෝ දෙනා ඔවුන්ගේ පළමු නිෂ්පාදනය අපිට එවන්නත් පෙලඹිලා. ඒක අපිට මොනතරම් ආශීර්වාදයක් ද? හිතාගන්න බෑ මනුස්සයෙකුට ඒ තරම් ටච් වෙන්නෙ කොහොමද කියලා.
ඔබ දෙදෙනාත් මුල් අවස්ථාවල කඩාවැටිලා, ලොස්වෙලා තියෙනවා. ඒ දිහා ආපහු හැරිලා බැලුවොත්?
ඒකට හේතුව විදිහට මං දකින්නෙ අත්දැකීම් මදිකම. ඕනෑම දේක අත්දැකීම් ලබන්න ලබන්න තමයි පන්නරය ලබන්නේ. ඒකෙන් අපි තේරුම් ගත්ත දේ තමයි ඕනම දෙයක් එකපාරම අතාරින්නෙ නැතුව ටිකක් අල්ලගෙන ඉන්න ඕන. කොයිවෙලාවෙ හරි අපිට චාන්ස් එකක් එනවා. අපි ඒකට රෙඩිවෙලා ඉන්න ඕන. අපි දෙන්නත් මේ තැනට එන්න ගොඩක් දේවල් කළා. අඩුවට රෙදි ගෙනැල්ලා විකුණුවා, ජූස් බාර් එකක් කළා. ඉඳි ආප්ප හාල්මැස්සෝ අලෙවි කළා.
දැන් ඔබ සාර්ථකව රූපලාවණ්‍ය ව්‍යාපාරයේ නියැළෙනවා. ඒ අත්දැකීම කොහොමද?
අපි ගොඩක් දේවල් අත්හදා බලලා නිසි හැදෑරීමක් එක්ක තමයි රූපලාවණ්‍ය පැත්තට යොමු වුණේ. පටන් ගනිද්දි ඔක්කොම දේවල් අපිම කරගත්තා. වොෂ් රූම් පවා අපිම හෝදගත්තා. අද ළමයි එහෙම කරන්න කැමති නෑ. මං ලංකාවේ රූපලාවණ්‍ය NVQ දක්වා කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාව, බැංකොක්, කුවේට් වගේ රටවල ගිහින් ආයුර්වේද පැත්තත් හැදෑරුවා. මැලේෂියා, ඉතාලි, ස්ව්ට්සර්ලන්තය වගේ රටවලටත් ගියා. ඒ අත්දැකීම් එක්ක තමයි මේ තරම් දුර ආවේ. මං නිතරම මගේ ස්ටාෆ් එකේ ළමයින්ට කියන්නේ ඉන්න තැන පිරිසුදුවට ලස්සනට තියාගන්න. දුම් අල්ලලා සුවඳවත් කරන්න. පිළිවෙළට ඇඳලා ලස්සනට ඉන්න. කස්ටර්මර්ස්ල එක්ක කාරුණිකව කතාකරන්න කියලා. හැමදාම මං එද්දි ප්‍රෙෂ් මල් අරන් එනවා. එහෙම හිටියම සොබාදහමේ ආශීර්වාදය අපිට ඉබේම ලැබෙනවා. කස්ටර්මර්ස්ලටත් ආයෙම එන්න හිතෙනවා. නුවර සැලෝන් එකේ ස්ටාෆ් එක 3යි. කිරිල්ලවල 7ක් ඉන්නවා. දැන් නම් ස්ටාෆ් එක මදිත් වගේ.
ඔබේ රූපලාවණ්‍ය කටයුතුවලට ආයුර්වේදයත් සම්බන්ධයි නේද?
ඔව්. මං ඒ පිළිබඳ හැදෑරීමක් කරලා තියෙනවා. මේ වෙද්දි නවීන තාක්ෂණයත් එක්ක හැමදේම අලුත් වෙලා තිබුණත් ෆේස් ස්ටීමර් එකයි හෙඩ් ස්ටීමර් එකයි ඇරුණම මං කිසිම වෙන මැෂින් එකක් පාවිච්චි කරන්නේ නෑ. නමුත් මං ඒ හැම මැෂින් එකක්ම පාවිච්චි කරන විදිහ ඉගෙනගෙන තියෙනවා. එක කස්ටර්මර් කෙනෙක් ආයෙ එන්නෙ තව දෙතුන් දෙනෙක් එක්කගෙන. ඒක තමයි වෙන්න ඕන. අපේ ආයතන තුළ වුණත් අපි දෙන්න පොඩි ෆැමිලි වයිබ් එකක් ගොඩනඟල තියෙනවා. ස්ටාෆ් එකත් අපිට පුදුම සහායක් දෙනවා. කිසිම ප්‍රශ්නයක් අපිට පීඩනයක් වෙන්න දෙන්නෙ නෑ. එයාලම සාකච්ඡා කරලා විසඳගන්නවා.
ඔබ නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා නේද?
චැනල් C, CSN ඇසිස්ටන් ප්‍රඩියුසර්, ශ්‍රී ටීවී ප්‍රඩියුසර්, ස්වර්ණවාහිනියේ අවුරුදු දෙකහමාරක් විතර ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරිපත් කළා. අදටත් මට ගැළපෙන මගේ ප්‍රතිරූපයට හානියක් නොවන වැඩසටහන් තෝරබේරා ගෙන ඉදිරිපත් කරනවා.
ඔබ දෙදෙනාගේ හමුවීම ගැන මතක් කළොත්?
අපි දෙන්න හමුවෙන්නේ නුවර රූපලාවණ්‍ය ඇකඩමියකදී. ඔහු එහි නිරූපණය ඉගැන්නුවා. අපි හොඳ යාළුවෝ විදිහට අපේ දුක සැප බෙදා ගත්තා. යාළුකම ආදරයක් බවට පෙරළෙද්දී මං ගෙදරට කිව්වා. මුලින් ගෙදරින් පොඩි අකමැත්තක් තිබුණත් අපි දෙන්නටම කලින් තිබුණු ආදරණීය අත්දැකීම්වල ගැටලුත් එක්ක බැලුවම එයාලම තේරුම් ගත්තා. දෙන්නට දෙන්න කැමති නම් ගැටලුවක් නෑ කියලා අන්තිමට කැමැති වුණා. එයා කතෝලික. මම බුද්ධාගම. ඒත් අපි අද වෙනකල් කේන්දර බලලවත් පොරොන්දම් ගළපලවත් නෑ. අපිට අපි ගැන හොඳ තේරුම් ගැනීමක් තිබුණා. අපි දෙන්න දන්නෙත් නෑ අපිට අපි මේ තරම් ගැළපුණේ කොහොමද කියලා.
ලක්ෂිකාගේ ඒ පිළිතුරේ ඌනපූරණය එකතු කරන්න අපි ධනුෂ්කට ඉඩ දුන්නා.
ඇත්තටම ධනුෂ්ක ලක්ෂිකා ගැළපීම සිදුවුණේ කොහොමද?
ඇත්තටම මෙතන ගැළපීමට වඩා නොගැළපීම් ටික ගළපගැනීම තමයි ගැළපීම වුණේ. මගේ දුර්වලකම් ටික ලිව්වොත් අන්න ඒ දුර්වලකම් ලක්ෂිගේ දක්ෂතා වෙලා තිබුණා. ලක්ෂිගේ දුර්වලකම් මගේ දක්ෂතා වෙලා තිබුණා. එතන තමයි ගැළපීම තිබුණේ. එතනින් අපි දෙන්නව බැලන්ස් වුණා.
ධනුෂ්කට ලක්ෂිකාව මුණගැහෙන්නේ නුවරදී?
ඔව්. මගේ ගම කිරිබත්ගොඩ. අපි ආර්ථික අතින් ගොඩක් පහළ හිටියේ. පාසල් ගමන ඉවර කළ ගමන්ම මං ක්ලබ්වල, ස්ටුඩියෝවල, ඇඳුම් කඩවල එක එක රැකියා කළා. සල්ලි හොයන එක තමයි එකම සිහිනය වුණේ. මොකද සල්ලි තියෙනව නම් පොරක් වෙන්න පුළුවන් කියන සිතුවිල්ල මට තිබුණා. ස්ටුඩියෝ එකක වැඩ කරද්දි එතන හිටිය අයිය කෙනෙක් මට වෙන තැනක IT පැත්තෙ ජොබ් එකක් හොයලා දුන්නා. එතැන AC එකට වෙලා ඉඳලා මං ටිකක් පාට වැටිලා ලස්සනත් වුණා. මගේ ෆේස්බුක් ෆොටෝ දැකපු මගේ යාළුවෝ මට කිව්වා දැන් ඔයාට මොඩ්ලින් කරන්න හොඳ පෙනුමක් තියෙනවා කියලා. මගේ අයියාගේ වයිෆ් මාව වාසනා දන්තනාරායනගේ මොඩ්ලින් ක්ලාස් එකට යොමුකළා. කැමරා වීඩියෝ පැත්තෙ වැඩ කරල තිබුණ නිසා මට ඒක ඒතරම් අමාරු වුණේ නෑ. එතැන යාළුවෙක්ගෙ මාර්ගෙන් මං දමයන්ති ෆොන්සේකාගේ රංගන පාසලට යොමු වුණා. ඒ හරහා වේදිකාවට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඊටත් පස්සේ තමයි නුවර මගේ යාළුවෙක්ගෙ සැලෝන් එකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. සැලෝන් එක කරන ගමන් අපි මොඩ්ලින් ක්ලාස් කළා. ලක්ෂි සම්බන්ධ වෙන්නේ ක්ලාස් එකේ තුන් වැනි බැච් එකට. ගුරු ගෝල සම්බන්ධයකින් පටන් ගත්ත ආදරයක් මේක. අපි දෙන්නම ඒ වෙද්දි කලින් ආදර කතාවලින් බැට කාල හිටියේ. මුලින්ම අපි දුක බෙදාගත්තා. මං හොඳ ඇහුම්කන් දෙන්නෙක්. එයාගෙ දුක අහන්නෙ මම. මගේ දුක අහන් ඉන්නෙ එයා. ඒ යාළුකම ටික දවසකින් ආදරයක් බවට පෙරළුනා. 2013 අපි විවාහ ගිවිස ගෙන ඊට අවුරුදු 7කට පස්සෙ තමයි විවාහ උත්සවේ ගත්තේ.
ඇයට කැමති වුණු විශේෂ තැනක් ඇති?
මං කතෝලික. එයා බුද්ධාගම. එයා මට වැඩිය අඟලක් විතර උසයි. හැබැයි ලක්ෂි ගැහැනියක් වුණාට පිරිමියෙක් වගේ උත්සාහවන්තයි. ඒකට මං හරි කැමැතියි.
ඔබ අද ඉන්න තැනට ආවෙ රෝස මල් මාවතක නෙවෙයි කියලා හොඳටම පැහැදිලියි?
ඔව්. අපි දෙන්න ගොඩක් දේවල් කළා. අපේ අම්මා ඉඳි ආප්ප තම්බලා අපිව ජීවත් කළ කාලයක් තිබුණා. ඒ අත්දැකීමෙන් මාත් ඒ දේ කළා. මපට්ල වගේ ඇඳගෙන පත්‍රිකා බෙදුවා. අෂරින්වලට ළමයි දෙන පුංචි ආයතනයක් කළා. දැන් නම් සැලෝන් වැඩේ හොඳින් කරගෙන යනවා.
ඔබ මෝටිවේෂන් පැත්ත ගැනත් කතාකරනවා?
අංගොඩ, මානසික රෝහල පැත්තෙ අපි කාලයක් හිටියා. ඒ කාලෙ මනෝ වෛද්‍යවරු ඇසුරු කරලා ඔවුන්ගෙන් යම් යම් දේවල් දැනගත්තා. පොත්පත්වලින් ඒ දැනුම ලබාගත්තා. ඒ ඇසුරෙන් මං පොඩි පොඩි මෝටිවේෂන් වීඩියෝ දැම්මා. ගොඩක් අය ඒවා ෆලෝ කළා. මං කරන්නෙ ගොඩක්ම ඇහුම්කන් දෙන එක. ඒ නිසාම ගොඩක් අය කිව්වා ඔයාට මේක ගැළපෙනවා කියලා. දැන් මං ඒ පිළිබඳ ඩිග්‍රිය හදාරමින් ඉන්නවා. ගොඩක් අය කියනවා මගේ පොඩි කොමඩි කතා අස්සේ මං හිනාවෙලා එයාලට ලොකු පාඩමක් කියලා දෙනවා කියලා. ඒක මට ලොකුවටම දැනුණේ ඩොක්ටර් රේට් එකට ගිය කෙනෙකුත් මට එහෙම කිව්වා. ඒක තමයි මට ලැබුණු ලොකුම සම්මානය.
නාමලී ගමගේ