මම අහිංසකයි වගේ පෙනුණාට අයුක්තියට එරෙහිව නැඟී සිටින කෙනෙක් -සේමිණී ඉද්දමල්ගොඩ



පුංචි තිරයේ ප්‍රහසන රංගනයෙන් ජනප්‍රියත්වයට පත් වෙමින්, සම්භාව්‍ය ටෙලි රංගනයෙන් එකම වසරේදී ප්‍රධාන සම්මාන උලෙළ ද්විත්වයකින් හොඳම රංගනවේදිනිය සම්මාන දිනූ ඇය සිනමා රංගනයත්, වේදිකා රංගනයත් එක ලෙස ජය ගනිමින් සිටින්නී ය. දෙස් විදෙස් සම්මානනීය සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩිගේ විශිෂ්ට ටෙලි නිර්මාණයක් වූ ‘එයා දැන් බැඳලා’ හි සුද්දි ලෙසින් කළ ප්‍රතිභාපූර්ණ රංගනය වෙනුවෙන් ඇය එසේ සුමති සහ රයිගම් සම්මාන දිනුවා ය. එම චරිතයේ උණුසුම් කතා බහ මැකී යන්නටත් මත්තෙන් මෙරට ටෙලි නාට්‍ය කලාව වෙනත් මානයන් ඔස්සේ ප්‍රතිනිර්මාණය කරන්නට නව අත්හදාබැලීම් සිදු කරන සම්මානිත ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ ‘තත්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ ආන්දෝලනාත්මක ජේලර්වරිය වූවාය.


සේමිණි ඉද්දමල්ගොඩ ජනප්‍රියත්වයට පත් වෙන්නේ “යර්ස් බොස්” නිසා ද….?


ප්‍රහසන එහෙමත් නැත්නම් අපට පුරුදු විදිහට කියනවා නම් ‘කොමඩි’ රංගනය හිනාවෙලා නරඹන තරම් පහසු නැහැ. ‘යර්ස් බොස්’ කොමඩි නාට්‍ය මාලාවෙන් තමයි මම ජනප්‍රිය තලයට ආවේ. එහි රෝෂිණීගේ චරිතය ගැන අදටත් බොහෝ අය කතා කරනවා. ඒ වගේ චරිත හරි විදිහට අද ලැබුණත් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම රඟපානවා. නමුත් රංගන ශිල්පිනියක් හැටියට දිගු ගමනක් යනවා නම් එක රාමුවකට කොටු වෙන්න බැහැ. මේ වනවිට මම ටෙලි නාට්‍ය බොහෝමයක රඟපාලා තියෙනවා.


“සුද්දි” ඔබගේ රංගන ජීවිතයේ කඩඉමක් වුණා නේද…?


ඇත්තෙන් ම ප්‍රසන්න ජයකොඩිගේ ‘එයා දැන් බැඳලා’ටෙලි නාට්‍ය මගේ රංගන ජීවිතයට අත්දැකීම් රැසක් එක් කළා පමණක් නෙවෙයි එකම රංගනයක් වෙනුවෙන් සම්මාන උලෙළ දෙකකදී හොඳම නිළිය සම්මාන දෙකක් මට හිමි කර දුන්නා. ඒ මගේ ටෙලි නාට්‍ය රංගන ජීවිතයේ ප්‍රථම සම්මාන ද්විත්වය යි. ඉතින් ඒ ගෞරවය අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි අයියාට හිමි වෙනවා. ඇත්ත වශයෙන්ම ප්‍රසන්න ජයකොඩි කියන්නේ අධ්‍යක්ෂවරයෙක් හැටියට වෙනස්ම විදිහකට චරිත විනිවිද දකින කෙනෙක් බව ඒ නිර්මාණයේ වැඩ කරද්දි මම තේරුම් ගත්තා. රූගත කිරීම් කෙරුණු සමහර අවස්ථාවලදී මගේ රංගනයේ දෙබස් සහ රඟපෑම් මම හොඳට හිතට අරන් රඟපෑවා. ඒක බලාගෙන ඉඳලා ටිකකින් ප්‍රසන්න අයියා කියනවා ‘නංගි ඒක නියමෙටම කළා. හැබැයි මට ඕනේ එහෙම නෙවෙයි’ කියලා. ඉතින් මම ඒ වගේ වෙලාවලදි මහා ලොකුවට ඔහු සමඟ තර්ක කළා. ඇයි එහෙම රඟපෑමේ ඇති වරද කියලා මම ප්‍රශ්න කළා. ඒක සාධාරණීකරණය කරන්න තර්කානුකූල අදහස් පවා මම ඉදිරිපත් කළා. අවසානයේ ප්‍රසන්න අයියා එයාට අවශ්‍ය විදිහටම තමයි අපි හැමෝගෙන්ම නිර්මාණයට අවශ්‍ය රඟපෑම මතු කරලා ගත්තේ. ඇත්තෙන්ම ඔහු මාව මැටි පිඬක් බවට පත් කරලා හොඳටම අනලා අනලා ඔහුට අවශ්‍ය චරිතය මා තුළින් ඇඹුවා. ඒ හැමදෙයක්ම සහ මට ඒ චරිතය අගයලා ලැබුණු සම්මාන ගැනත් අද කල්පනා කරද්දි තමයි හොඳටම අවබෝධ වෙන්නේ මම හිතපු විදිහට රඟපෑවා නම් මොන සම්මානයක්වත් නෑ නේද කියලා.


මහේන්ද්‍ර පෙරේරා සහ සරත් කොතලාවල යන රංග ප්‍රවීණයින්ගෙන් ලැබුණු සහාය කොහොම ද…?


මම හරිම කැමතියි හැම තිස්සේම මට වඩා දක්ෂ ශිල්පියෙක් මගේ ප්‍රතිවිරුද්ධ චරිතයට සම්බන්ධ වෙනවා නම්. මොකද මට හරි හරියට රඟපාන්න වටපිටාව එහිදී ඉබේම වගේම හැදෙනවා. මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල වැනි රංගන ශිල්පීන් මගේ මේ චරිතය තවත් ඔප නංවා ගැනීම සඳහා විශාල සහායක් වුණා. අපි ඒ නාට්‍යයේ රූගත කිරීම් කළේ කොවිඩ් තිබුණු කාලෙයි. ඒ නිසා අපි ඒ වැඩේ පටන් අරගෙන අවසන් වනතුරු එක පවුලක් විදිහට එක තැනක පරෙස්සමට හිටියා. ගෙවල්වලට යන්න එන්න ගත්තේ නැහැ. අපි හැමෝම තම තමන්ගෙන් මිදිලා චරිතවල ජීවත් වුණා. මට කොහොමටත් චරිතයකට අදාළව ඇඳුම ඇඳලා මේකප් එක දැම්මාම එතන ඉඳලා මම සේමිණි බව හිතෙන් අයින් වෙනවා. මම චරිතයට ඉබේම වගේ කිඳා බහිනවා. මේ හැම දෙයක්ම සුද්දි දිනවන්න හේතු වුණා.


ජේලර් නෝනාගේ චරිතයත් බොහෝ කතාබහට ලක් වෙනවා නේද….?


සුපුන් රත්නායක කියන්නේ මෑත කාලයේ අමුතු පැති ඔස්සේ සිතමින් ටෙලි නිර්මාණ කරන තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ ‘තත්පරයක් දෙන්න’ ටෙලි නිර්මාණය සඳහා තිර පරීක්ෂණයක් තිබුණා. එතැනදී මම ජේලර්ගේ ඇඳුම ඇඳලා ඒ චරිතය සඳහා සූදානම් වෙලා තිර පරීක්ෂණයට මොහොතකට පෙර අධ්‍යක්ෂවරයා ළඟට ගිහින් මොනවා හරි දෙයක් කතා කළා. ඒ අවස්ථාවෙන් පස්සේ අධ්‍යක්ෂවරයා ඒ චරිතය ගැන කිසිම දෙයක් මා එක්ක කතා කළේ නැහැ. මම ඒ කතා බහ කරන විදිහෙන්ම ඔහුට ක්ෂණිකව අවබෝධ වෙන්න ඇති මම ඒ වෙලාවෙත් හිටියේ සේමිණිගෙන් මිදිලා ජේලර් බවට පත් වෙලා කියලා. බොහෝ අය මේ චරිතය ගැන කතා කරන්නේ ඒ නිසා වෙන්න ඇති.


හුරු පුරුදු නොවන චරිතයක් රඟපෑම අභියෝගාත්මක වුණේ නැද්ද…?‍


සාමාන්‍යයෙන් මට අත්දැකීම් අඩු. අභියෝගාත්මක චරිතයක් රඟපාන්න ලැබුණාම මම ඒ චරිතය ගැන ටිකක් අධ්‍යයනය කරනවා. ඊට අමතරව බන්ධනාගාරයක අත්දැකීම් මටත් තියෙනවා. මම කාලෙකට පෙර බන්ධනාගාරයේ සුබසාධන කටයුතු එකක් සම්බන්ධ වෙලා මරණීය දණ්ඩනය නියම වූ කාන්තාවන්ගේ මානසික පීඩනය අවම කිරීමේ වැඩසටහන්වලට ස්වේච්ඡාවෙන් සහාය වෙමින් ඒ අය සමඟ කතා බහ කළා. ඉතින් ඒ අයගේ හැසිරීම්, මානසික තත්ත්වයන්, ඔවුන්ට එහෙම වෙන්න හේතු වුණේ මොන වගේ දේවල් ද කියලා මම හොඳින් හඳුනා ගත්තා. ඒ වගේම එම නිලධාරීන් එක්කත් බොහොම සුහදව මම ඇසුරු කළා. පිටත සිට දකිනවාට වඩා ඇතුළේ නිලධාරීන් සිරකරුවන්ගේ මානසික නිදහස වෙනුවෙන් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ දේවල් මට මේ චරිතයට පහසුවක් වුණා.


ඔය මොන අත්දැකීම් ලැබුවත් ජේලර්වරියකගේ පෞරුෂය ප්‍රතිරූපණය කිරීම පහසු නැහැ‍නේ…?


ඒක ඇත්ත. මම කොහොමටත් අහිංසකයි වගේ පෙනුණාට අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටින කෙනෙක්. ඒ වගේ තැනකදී කට වහගෙන ඉන්න මට බැහැ. ඒ ගතිය මගේ ඇඟේම තියෙනවා. ඒ විතරක් නෙවෙයි බොහොම තරුණ කාලෙදිම ධම්මික නමැති පොලිස් නිලධාරියා එක්ක මම සමීප ඇසුරක් ආරම්භ කරලා, කාලයක් ඔහුව ඇසුරු කරලා, අද ඔහු සමඟ අඹු සැමියන් විදිහට දරුවෙකුත් හදාගෙන හොඳින් ජීවත් වෙනවා. අපේ දුවට දැන් අවුරුදු විසි තුනක් වෙනවා. ඉතින් එදා මෙදාතුර මම ධම්මිකගේ ජීවන රටාව හොඳින් අත්දකිනවා. බ්‍රිජට් මැඩම්ගේ චරිතයේ පෞර්ෂය ගොඩනගා ගන්න මට බෙහෙවින්ම හේතු වුණේ ධම්මිකගේ ජීවන රටාවයි.


ඔබගේ රංගන කෞශල්‍ය සහජයක් පමණක් නොවෙයි නේද….?


සහජයෙන් ලද රංගන කෞශල්‍ය මම සෑම අවස්ථාවකදීම ඔප මට්ටම් කර ගත්තා. මම අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ පාඨමාලාවට සම්බන්ධ වෙලා පුහුණුවීම් කළා. මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. එයින් රංගනය පිළිබඳ ලොකු පුහුණුවක් අභ්‍යාසයක් ලැබෙනවා. මම හිතනවා වාසනාවත් මට තියෙනවා කියලා. මේ හැමදෙයක්ම මට ලැබෙන්නේ ඒ නිසයි.”


අලුතෙන්ම සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද…?


මේ දවස්වල සුදේශ් වසන්ත පීරිස්ගේ ‘සීරුවෙන්’ චිත්‍රපටය තිරගත වෙනවා. ප්‍රියන්ත කොළඹගේ ගේ ‘මන්දාරම්’ චිත්‍රපටයේත් අලුත්ම විදිහේ චරිතයක් මම රඟපානවා. ඉතින් මේ චරිත දෙකටත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


තුෂාරී කළුබෝවිල



Previous Post Next Post