මං ගායිකාවක් කියලා දන්නෙවත් නැතුව එයා මාත් එක්ක යාළු වුණේ -එරන්දි මධුෂිකා



රාමාට මා සැකයි රාවණා’ ගීතයෙන් ප්‍රේක්ෂක හදවත් ගැඹුරින්ම ස්පර්ශ කළ ඇය ඩ්‍රිම්ස්ටාර් වේදිකාවෙන් කලා ක්ෂේත්‍රයට පිවිසුණු ජනප්‍රිය තාරකාවකි. පසුගිය සමයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු රන් මලක් ලෙස ගීතය ගයන්නේ ද ඇයයි. එමෙන්ම උපේඛා නිර්මාණි ප්‍රමුඛ කොච්චි සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් ද වන ඇය ඩ්‍රීම්ස්ටාර් වේදිකාව තුළ ඇයටම අනන්‍ය රටාවක් තහවුරු කරගත්තාය. ඇය එරන්දි මධුෂිකාය.


එරන්දි මධුෂිකා ගොඩක්ම ජනප්‍රිය වුණේ ‘රාමාට මා සැකයි රාවණා’ ගීයත් එක්ක. ඒ ගැන කතා කළොත්?


ඔව්. ජනිත් ඉද්දමල්ගොඩ ඩ්‍රීම්ස්ටාර් බවට පත්වුණු 6 වැනි අදියරේ මං අවසන් 6 දෙනා අතරට ආවා. මිනිස්සු මාව හඳුනගත්තේ පිරිමි ගීත ගායනා කරන ගායිකාව විදිහට. ඒ කාලේ කාන්තා හඬින් පිරිමි ගීත ගැයෙන්නෙම නැති තරම්. මට ඕන වුණේ ඒ අභියෝගය භාරගන්න. මං හිතනවා මං ඒක කළා කියලා. වැඩිපුරම ගායනා කළේ අමරදේව සර්ගේ, වික්ටර් සර්ගේ වගේ නිවුණු හඬින් ගැයෙන ඒවා. ඒ වගේම මං ගායනා කළ හබීබී අරාබි ගීතය ගොඩක්ම ජනප්‍රිය වුණා. ඊට පස්සේ සතියේ මට වේදිකාවෙන් සමුගන්න වුණත් ඒ ගීතය හරහා ගොඩාක් දෙනා මාව හඳුනගත්තා. මට ගොඩක් ආරාධනා ලැබුණා. ඩ්‍රීම්ස්ටාර් වේදිකාවෙන් අයින් වුණාටත් පස්සෙ තමයි මගේම නිර්මාණයක් විදිහට ‘රාමාට මා සැකයි රාවණා’ ගීතය එළිදක්වන්නේ. ඒක හිතුවෙ නැති විදිහට ජනප්‍රිය වුණා.


‘රන් මලක් ලෙස‘ ගීතයක් ගොඩක් ජනප්‍රිය වුණා නේද?


ඔව්. ඒ ගීතය අරගල ගීතය විදිහට නම් කළාට ඕනෙම කාලෙකට ඕනෙම වැඩකට ගැළපෙන ගීතයක්. ඒකෙ මෙලඩි එකට වගේම පද රචනයටත් මං ගොඩක් කැමැතියි. අරගලයේ ගොඩක් වීඩියෝ ක්ලිප්ස්වලට ඒක යොදා ගත්ත නිසා ජනප්‍රිය වුණා. ඊට පස්සේ වෙනත් ආයතනවල දේවල්වලටත් ඒක යොදා ගත්තා. එදා ඒක වොයිස් කරද්දිම මට හිතුණා මේකට කවදහරි මිනිස්සු ආදරේ කරයි කියලා.


කොච්චි කියන්නෙත් ලංකාවේ නම දිනාගත්ත ගීත කණ්ඩායමක්. කොහොමද සම්බන්ධ වෙන්න ලැබෙන්නේ?


ඉස්සර ත්‍රී සිස්ටර්ස්ලා හිටියට පස්සෙ ගර්ල්ස්ලගෙම ගීත කණ්ඩායමක් තිබුණෙම නැති තරම්. උපේඛා නිර්මාණි තමයි යෝජනා කළේ අපි එහෙම එකක් හදමු කියලා. අපි හතර දෙනාම ඩ්‍රීම්ස්ටාර් ජනප්‍රිය වුණු චරිත නිසා අපේ හැකියාවන් අපි හඳුනගෙන හිටියා. උපේඛා නිර්මාණිගේ නායකත්වයෙන් නිරාශා නැටලි, ශෂිකා මධුශානි සහ එරන්දි මධුෂිකාගේ එකතුවෙන් තමයි කොච්චි නිර්මාණය වෙන්නේ. කොච්චි කණ්ඩායම නිර්මාණය කරලා දැන් අවුරුදු 3ක් වෙනවා. අපි කවර්ස් කරනවා, ඔරිජිනල් කරනවා. මේ ළඟදිත් ක්ලැරන්ස් විජේවර්ධනගේ ජන්ම දිනය වෙනුවෙන් අපි කවර් එකක් කළා. ඒ වගේම අපි ගෘහස්ථ වගේම එළිමහන් ප්‍රසංගවලටත් සහභාගි වෙනවා. අපිට ඕනෙම ස්ටයිල් එකක ගීත ගායනා කරන්න පුළුවන්. අපි මුලින්ම කරපු කවර් සෝන් එක මිලියනයක් බලලා තිබුණා. කොච්චි කණ්ඩායමේ හැමෝටම ස්වාධීනව තමන්ගේ වැඩ කරගන්න නිදහස තියෙනවා. අපේම නිර්මාණ කරන්න වගේම ප්‍රසංගවලට සහභාගි වෙන්නත් පුළුවන්. කණ්ඩායමක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. මෙවර ජනාධිපතිවරණ වේදිකාවේදීත් මං ගීත ගායනා කළා.


ඔබේම නිර්මාණ ගැන කතා කළොත්?


‘රාමාට මා සැකයි රාවණා‘, කළු කොල්ලා, පත්තිනියේ, ගතක් ඇතුළු තවත් ගීත කිහිපයක්ම මං කරලා තියෙනවා. ඒ වගේම ‘හාරත හේරා, කී, අළු පාට දේදුනු, ආයෙමත් හමුවුණා, පෝය කතා වගේ ටෙලි ඩ්‍රාමා ගීතත් ‘ඔබ හා මොහොතක්‘ වැනි චිත්‍රපට ගීතත් කරල තියෙනවා. එෆ්. එම් නාළිකාවල සහ වෙළෙඳ දැන්වීම්වලට හඬ දායකත්වය සපයනවා. බොහෝවිට මං කරල තියෙන්නේ කාන්තාව ගැන එහෙම නැත්නම් ටිකක් කතාබහට ලක්විය යුතු මාතෘකා ගැන නිර්මාණ.


එරන්දිගෙ පාසල් කාලය ගැන කතා කළොත්?


මං මූලික අධ්‍යාපනය හැදෑරුවේ පස්යාල ප්‍රාථමික විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය සමත්වෙලා කෑගල්ල බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. පොඩි කාලෙ ඉඳන්ම මගේ හීනයක් තිබුණා ගායිකාවක් වෙන්න. ඒත් මම උසස් පෙළට කළේ විද්‍යා අංශයෙන්. ඒ අතරේ ප්‍රැක්ටිකලි මං සංගීතය හැදෑරුවා. තරගවලට ඉදිරිපත් වුණා. ජයග්‍රහණ ලැබුවා. මගේ හීනය සැබෑ කරගන්න ප්ලැට්ෆෝම් එකක් සොයද්දි තමයි මට ඩ්‍රීම්ස්ටාර් වේදිකාව මුණගැහෙන්නේ. 2014 මං ඩ්‍රිම්ස්ටාර් එන්නෙත් අවසන් 10 අතරට එනවා කියන විශ්වාසයෙන්. කොහොමහරි අවසන් 6 අතරට එන්න හැකියාව ලැබුණා.


එරන්දි මේ වෙද්දි විවාහකයි. කොහොමද ඒ ආදරය මුණගැහෙන්නේ?


ඔව්. මට දැන් අවුරුදු එකහමාරක පුංචි පුතෙක් ඉන්නවා. මගේ සැමියා තිවංක රණවක. ඔහු හෝටල් කළමනාකාරවරයෙක්. මං ඩ්‍රීම්ස්ටාර් ආපු කාලෙමයි ට්‍රිප් එකක් ගිය වෙලාවක මට ඔහු මුණගැහෙන්නේ. ඔහු මාව ගායිකාවක් විදිහට දැනන් හිටියෙ නෑ. ඔහු ලංකාවෙ ඉඳලා නෑ. මං ඩ්‍රීම්ස්ටාර් ගයනවා කියලා දන්නෙවත් නැතුව එයා මාත් එක්ක යාළු වුණේ. ඒකට මං ගොඩක් කැමැති වුණා. මොකද ගොඩක් දුරට අපට යෝජනා එන්නේ එක්කො හඬට එක්කො රූපෙට. එහෙම නැත්නම් ජනප්‍රියත්වයට. එයා මට කැමැති වුණේ මං මිනිස්සුන්ගේ ආදරය ලබන ජනප්‍රිය කෙනෙක් කියල දන්නෙවත් නැතුව. 2019 අපි එන්ගේජ් වුණා. ඔයා වේදිකාවේ ඉන්නම ඕන කෙනෙක් කියලා එයාම මට උදවු කරන්න පටන් ගත්තා. ඒ වගේම මගේ අම්මයි තාත්තයි වගේම තිවංකගේ අම්මයි තාත්තයි ආදරෙන් මතක් කරන්න ඕන. බබත් එක්ක මට මේ ගමන යන්න ඔවුන් ලොකු සහායක් දෙනවා.


නාමලී ගමගේ



Previous Post Next Post