අපි ඔක්කොම අළු පාටයිද?

 


ඔහු ලාංකික කලා ක්ෂේත්‍රය තුළ තම නාමකාය නොමැකෙනා අයුරින් සටහන් කළ කලාකරුවෙකි. වෘත්තියෙන් නීතිඥයෙක් වන ඔහු වේදිකාව තුළ තම අනන්‍යතාවය තහවුරු කළ නාට්‍යකරුවෙක්. කතුවරයෙක් ලෙස තම පන්හිඳ මෙහෙයවන ඔහු විශිෂ්ට නවකතා සහ කෙටිකතාකරුවෙක්. ඔහුගේ නවතම නාට්‍ය වන ‘අපි ඔක්කොම අළු පාටයි’ මේ දිනවල වේදිකාගත වෙනවා. ඉතින් ඒ පිළිබඳව කතා බහ කිරීමට හදගැස්ම හා එක්වන්නේ නීතීඥ කපිල ගාමිණි ජයසිංහ. මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දිනවල මගේ නවතම වේදිකා නාට්‍යය වන ‘අපි ඔක්කොම අළු පාටයි’ නාට්‍යය වේදිකා ගත වෙනවා. ඉතින් මේ නාට්‍යයේ වැඩ කටයුතු සමඟ කාලය ගෙවිලා යනවා.


අපි ඔක්කොම අළු පාටයි නිර්මාණය වුණේ කොහොමද?


මෙම නාට්‍යයේ තේමාව වන්නේ චුති සිත අන්තරාභවයට බලපාන්නේ කෙසේද යන්නයි. අධික තණ්හාවෙන් බැඳීමකින් මරණයට පත් වුණොත් අන්තරාභවය ගත කරන කාල සීමාව වැඩියි. අධික වෛරයකින්, පළිගැනීමකින් මරණයට පත් වුණත් ඒ ආකාරයට විශාල කාල සීමාවක් අන්තරාභවයේ ගත කරන්න ඕන. එවැනි කෙනෙක්ට ප්‍රතිසන්ධියක් ලබන්න සෑහෙන කාලයක් ගත වෙනවා. එවැනි චරිත සහ ජීවත්ව සිටින චරිත කිහිපයක් කනත්තකදී මුණ ගැසෙනවා. මේ කතාව තුළ අතීන්ද්‍රීය ලෝකයයි පියවි ලෝකයයි සම්බන්ධ වෙනවා. අහඹු ලෙස මොවුන් මුණ ගැසුණත් ඔවුන්ගේ අතීත කතාවන් මේ නාට්‍යය තුළ හෙළි වෙනවා. ඔය ආකාරයට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් කේසස් 3000ක් පර්යේෂණ කර ලියූ අඥඪදජචපදචබඪධද ධට ඡඪපබඩ පොත සහ එඩ්ගා කේසිගේ සංසාර මන්දිර පොත මට මේ නාට්‍යය නිර්මාණය කරන්න විසල් බලපෑමක් සිදු කළා.


මෙම නාට්‍යයේ ඔබ වේදිකා ආලෝකකරණයට සහ සංගීතයට වැඩි බරක්දී තිබෙනවා. මේ ඇයි?


මේ නාට්‍යය හ¾දුන්වලා තිබෙන්නේ musical suspense thriller ශානරයේ නාට්‍යයක් කියලා. මෙම නාට්‍යයේ සංගීතයෙන් සහ ආලෝකකරණයෙන් තමයි හැඟීම් උත්දීපනය වෙන්නේ. මෙහි සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ. මෙම නාට්‍ය පුරාවට සංගීත ඛණ්ඩ 12ක් භාවිත වෙනවා. මෙහි ගීතයකුත් තිබෙනවා. මම මාසයකට කලින් මෙහි පිටපත නවරත්න ගමගේට දුන්නා. ඔහු එය මාසයක් පුරාවට හදාරමින් විශාල පරිශ්‍රමයක් දරමින් තමයි මෙහි සංගීතය නිර්මාණය කළේ. මෙහි සංගීත ශබ්ද පටිගත කිරීම් පටන් ගත්තේ උදේ 10ටම ඉවර වෙද්දී 12.45යි. නාට්‍යයේ සාර්ථකත්වයට මෙම සංගීතයෙහි ප්‍රබල බව විසල් ආකාරයට බලපෑවා.


ඔබ මීට පෙර නිර්මාණය කළ මායා දැල නාට්‍ය පිළිබඳව විසල් කතා බහක් ඇති වුණා. ඒ පිළිබඳව කතා කරනවා නම්?


මම වසර 27කට පසුව තමයි මායා දැල නාට්‍යය නිර්මාණය කළේ. මෙය රචනා කළේ මීට වසර හතරකට පෙර. මායා දැල කියන්නේ සංගීතමය අති නාටකයක් (Musical melo drama). මෙහි සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ. මෙහි කතා තේමාව ගත්විට මිනිස්සු විවිධ ඇලීම් ගැලීම්වල දැවටෙන ආකාරය තමයි නිරූපණය වෙන්නෙ. මෙම නාට්‍යයේ පසු තලයේ විශාල මකුළු දැලක් තිබෙනවා. එහි සිටින මකුළුවා කතාවේ සිටින ප්‍රධාන චරිතය වන නිරෝධගේ වෙනස් වීම් සිදුවන විට විවිධ තැන්වලට ගමන් කරනවා. ඔය විධියට තමයි කතාව ගලා යන්නෙ.


ඔබ නිර්මාණය කළ පිළිරූ නාට්‍යය ප්‍රේක්ෂකයා අතර විසල් කතා බහකට ලක් වුණා ඒ ගැන කතා කරමු.


මම මගේ පළමු නාට්‍ය නිර්මාණය කරන විට මට වයස 20යි. 1990 තමයි මම එය නිර්මාණය කළේ. එය යෞවන සම්මාන උළෙලට තේරුණා. එහි නම පිළිරූ. එය නාට්‍ය 136ක් අතරින් හොඳම නාට්‍යයට තේරී පත්වෙලා සම්මාන හතරක් ජයග්‍රහණය කළා. මේක විද්‍ය ප්‍රබන්ධමය නාට්‍යයක්. විනිශ්චය මණ්ඩලයේ සිටි පිරිස මගෙන් ඇහුවා මේක ලිව්වෙ මමද කියලා. මම ඒ යුගය වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරිලා සිටියා. අසූඅට, අසූනවය භීෂණ යුගය නිසා අපිට වසර දෙකක් ගෙදර ඉන්න සිද්ධ වුණා. මම මේ කාලය තුළ නාට්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳව හැදෑරුවා. ඉන් පසුව තමයි මේ දේවල් නිර්මාණය වෙන්න ගත්තෙ. මම විශාල ලෙස විද්‍යා ප්‍රබන්ධ කියවන කෙනෙක්. මම විදුසර පත්තරයට පවා  විද්‍ය ප්‍රබන්ධ ලිවුවා. අයිසෙක් ඇසිමෝව්, එච්.ජී. වේල්ස්, ජූල්ස් වර්න්, ආතර් සී. ක්ලාක් වැනි විශිෂ්ටයන්ගේ කෘති මම විසල් ලෙස ඇසුරු කළා. ඒ ආභාෂය තමයි මට පිළිරූ නිර්මාණය කරන්න බලපෑවේ. මේක 2171 වසරේ අනාගතයේ දවසක කතාවක්. ඒ යුගයේදී මිනිසුන් කියන්නෙ රොබෝවරුන්ගේ වැඩ බලන පිරිසක්. ඒ යුගයෙ කම්කරුවො නැහැ. මිනිස්සු වැඩ නොකරන නිසා ඔවුන්ට බැරි බැරියාව කියන රෝගය වැලඳිලා. මේ යුගයට අතීතයෙන් පිටමං කළ දෙදෙනෙක් එනවා. පිංගුත්තර සහ ආරච්චි තමයි ඒ එන දෙන්නා. ඒ කාලේ අපි මේ නාට්‍යයට මාස්ටර් කම්පියුටර් එකක් පවා නිර්මාණය කළා. අපි මේ නාට්‍යය මුළු ලංකාව පුරාම වේදිකා ගත කළා. එය විශාල ජනාදරයකට පත් වුණා.


වත්මන් පරපුරට මේ නවතම නාට්‍යයෙන් දෙන පණිවුඩය කුමක්ද?


දැන් ඉන්න පරපුර ඒ මොහොතේ ෆන් එක ගැන තමයි හිතන්නේ. ඔවුන් ඉන්නේ ෆෝන් එකේමයි. පර ලොවක් ගැනවත් තමන් කරන දේවල්වල විපාක පිළිබඳවත් ඔවුන්ට අවබෝධයක් නැහැ. ඔවුන්ට තිබෙන්නේ පාවෙන ජීවිත. ඒ නිසා මෙවැනි නාට්‍ය ඔවුන්ට බලන්න දෙන්න ඕන කියලා විදුහල්පතිවරු කිහිප දෙනෙක්ම මට කිව්වා. මතුගම සහ කළුතර කලාපීය අධ්‍යක්ෂවරු මේ නාට්‍ය පාසල් ළමුන්ට පෙන්වීම සඳහා ඉතා සුදුසු නාට්‍යයක් කියලා නිර්දේශ කරලා තිබෙනවා. ඒ මේ නාට්‍යයේ තිබෙන ප්‍රබලත්වය සහ ආදර්ශය නිසා. ඉතින් අපි මේ නාට්‍ය සෑම අධ්‍යාපන කලාපයකින්ම අවසරය අරගෙන පෙන්නන්න බලාපොරොත්තු වෙනවා. හැම වෙලාවෙම ජීවිතය සමබරව ගෙන යන්න. අපි පොඩි කාලේ වොලිබෝල් ගැහුවා, ක්‍රිකට් ගැහුවා, මලල ක්‍රීඩා කළා. නමුත් අද පරපුර පොතටම ඇලිලා ඉන්නවා. දැන් තිබෙන අධ්‍යාපන තරගය නිසා ළමයින්ගෙ දැනුම මොට වෙලා.


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?


සැප්තැම්බර් 27 වැනිදා වාද්දුව ධර්මපාල විද්‍යාල රංග ශාලාවේදීද, ඔක්තෝබර් 01දා මීගමුව නගර ශාලාවේදීද, ඔක්තෝබර් 16 මතුගම ශ්‍රවණාගාරයේදීද, ඔක්තෝබර් 18 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වළ සතියේදීද, ඔක්තෝබර් 23 මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයේදීද, ඔක්තෝබර් 25 වැනිදා පන්නල ජාතික පාසලේදීද අපි ඔක්කොම අළු පාටයි නාට්‍යය වේදිකා ගත වීමට නියමිතයි.


ගිහාන් සචින්ත




Previous Post Next Post