ගොඩක් දෙනා හිතන් හිටියා යොහානියි මමයි විවාහ වෙලා කියලා -සචින් චතුරංග



සමාජ මාධ්‍ය කලඹමින් මේ දිනවල වයිරල් වන මංගල ඡායාරූප පෙළක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. මංගල ඇඳුමින් සැරසී යොහානී හෙට්ටිආරච්චි සමඟ සිටින ඔහු හඳුනාගන්නා ඕනෑම අයෙකුගේ සිත මොහොතක් ව්‍යාකූල වනවා නොඅනුමානය. විවිධ අර්ථකථන දෙමින් ශෙයාර් වන ඡායාරූප පෙළ ගැන අපට ද කුකුසක් ඇති නොවුණාම නොවේ. මේ සචින් චතුරංග නේද? විනිශ්චය කරගත් බොහෝ දෙනා විය. ඔව්. ඔබ සිතුවා නිවැරැදිය. ඒ ඔහුය. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන සමීර පියරත්නගේ රොකී ටෙලි නිර්මාණයේ අනුහස් ලෙසින් ඔබ හමුවට එන ඔහු සංසාරිණී ටෙලි නිර්මාණයේ විලන්ගේ භූමිකාවට පණ පොවයි. ශෘංගාරියේ ගීතය හරහා මේ දිනවල බොහෝ ප්‍රතිචාර ලබන ඔහුගේ මේ හදිසි විවාහය ගැන දැනගැනීමේ අරමුණෙන් අද ඔහු අපේ කතාබහට එක්කර ගත්තෙමු.


සචින් චතුරංග කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්. සචින් කාටත් හොරා විවාහ වුණා කියන කතාව ඇත්තද?


ඕක මේ දවස්වල ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක්. ඇත්තටම ඒක ෆොටෝ ෂූට් එකක්. මගේ පළමුවැනි ගීතය ශෘංගාරියේ පහුගිය දා රිලීස් වුණා. ගීතයේ විෂුවල් එකට ඉන්නේ යොහානි නංගියි, මායි. මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒකට උදවුවක් විදිහට තමයි මේ වගේ ෆොටෝ ෂූට් එකක් කළේ. ඒක විවිධ හෙඩ්ලයින්වලින් වයිරල් වුණා. මගේ ගීතය ජනප්‍රිය වෙන්න ඒකත් රුකුලක් වුණා කිව්වත් හරි. ගොඩක් දෙනා හිතන් හිටියා යොහානියි මායි විවාහ වෙලා කියලා. නෑ. නෑ. අපි විවාහ වෙලා නෑ. අනික මට ආදරවන්තියක් ඉන්නවා. ඒ වගේම යොහානිටත් ආදරවන්තයෙක් ඉන්නවා. මේක ෆොටෝ ෂූට් එකක් විතරයි. ගීතයට සහාය වුණු යොහානි නංගි ඇතුළු කණ්ඩායමට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


ඔබේ පෙම්වතියගෙන් තහංචි වැටුණෙ නැද්ද මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරද්දි?


නෑ නෑ. මගේ පෙම්වතියගේ වගේම යොහානි නංගිගේ පෙම්වතාගේ අනුදැනුම, සහාය ඇතුව තමයි අපි මේක කළේ. ඒ දෙන්නගේ තේරුම් ගැනීම, සපෝට් එක නිසා තමයි මේක මේ තරම් ලස්සනට කරගන්න පුළුවන් වුණේ.


ඔබේ පෙම්වතිය ගැනත් කියමු?


මගේ වැඩවලට ලොකු සහයෝගයක් දෙන මාව හොඳින් තේරුම් ගත්ත ආදරණීය පෙම්වතියක් මට ඉන්නවා. දැනට ඒ ඇති. ඉදිරියේදී ඇය ගැන සියලු විස්තර කියන්නම්.


දැන් ඔබ රංගන ශිල්පියෙක් විතරක් නෙවෙයි ගායකයෙක් විදිහටත් ජනප්‍රියයි. ඔබ ක්ෂේත්‍රයට එන්නේ ගායකයෙක් විදිහටද රංගන ශිල්පියෙක් විදිහට ද?


මුලින්ම මං ක්ෂේත්‍රයට එන්නේ රංගන ශිල්පියෙක් විදිහට. මට රංගනය ගැන ආසාවක් උනන්දුවක් ඇති වුණේ මගේ අයියා දසුන් මධුශංක නිසා. සූරිය අරණ චිත්‍රපටයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතයෙන් ඔහු ගොඩක් ජනප්‍රිය වුණා. මේ වෙද්දි ඔහු රංගනයෙන් ටිකක් ඈත් වෙලා ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මං ගායකයෙක් වෙන්න කලින් ගයාන් ගුණවර්ධනගේ රෝඩ්ස් බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා පර්කර්ෂන් වාදන ශිල්පියා විදිහට කටයුතු කළා. මේ වෙද්දි ගායකයෙක් විදිහට කටයුතු කරනවා. අපේ බෑන්ඩ් එකට ලංකාවෙ වගේම විදෙස් සංචාර සඳහාත් දැන් ආරාධනා ලැබෙනවා. ඉදිරියේදී ඒ සඳහා සහභාගි වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මුලින්ම අපි රංගන ශිල්පියා කියන භූමිකාව ගැන කතා කරමු?


රංගන ශිල්පියෙක් විදිහට මුලින්ම මං අත්දැකීමක් ලබන්නේ ජයලත් මනෝරත්නයන්ගේ තුන්පත් රටාවක ලස්සන කියන ටෙලි නිර්මාණයෙන්. ඊට පස්සේ ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. පාර දිගේ, සංසාරිණී වගේම මේ වෙද්දි රොකී ටෙලි නිර්මාණයත් ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳගෙන තියෙනවා. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.


සිනමාවට ආරාධනා නැද්ද?


මේ වෙද්දි චිත්‍රපට දෙකක් කරල තියෙනවා. එකක් කේස් නො. 447. ජෙගනාදන් චන්ද්‍රදාසන්ගේ අධ්‍යක්ෂණයක්. අනිත් එක මහේෂ් මුණසිංහගේ සූර්යයා. ජනිත් වික්‍රමගේ ප්‍රධාන චරිතයෙන් දායක වෙද්දි මං එයාගේ විලන් විදිහට රංගනයෙන් දායක වනවා. තවත් ආරාධනා ලැබිල තියෙනවා.


රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


සංසාරිණී ටෙලි නිර්මාණයේ කප්පම් ගන්න චණ්ඩි චරිතයක්. ඒක කළු චරිතයක්. ජීවිතේ කවදාවත් නොලබපු අහම්බෙන් ලැබෙන ආදරයක් නිසා ඔහු තුළ සිදුවන වෙනස තමයි පෙන්නන්නේ. මුලදි මුලදි ප්‍රතිචාර ලැබුණෙම බැණලා. ඒත් කියන්න සතුටුයි මේ වෙද්දි එදා බැණපු අයම ආදරණීය ප්‍රතිචාර දක්වන්න පටන් අරන්. ඔයා ලස්සනයි කියලත් කියනවා. රොකී ටෙලි නිර්මාණයේ අනුහස් කියන්නේ මට ලැබුණු වෙනස්ම චරිතයක්. එකම ගෙදර පුතාල තුන්දෙනා තුන් විදිහක්. මගේ චරිතය හරිම ආත්මාර්ථකාමියි. ඒකටත් මේ දවස්වල බැණුම් අහනවා. ඒ නිසා මං හිතනවා මං ඒ චරිතයට සාධාරණයක් කළා කියලා.


ගායන ශිල්පියාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් ගායන ශිල්පියාටත් වෙන්වුණු ප්‍රේක්ෂකාගාරයක් හැදීගෙන එනවා. ඉදිරියේ දී තවත් ගීත කිහිපයක් එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙද්දි ගීත තුනක් කරලා තියෙනවා. එකක් විතරයි තාම රිලීස් කරලා තියෙන්නේ. ඒ මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙන ශෘංගාරියේ ගීතය. දෙවැනි ගීතය විදිහට මගේ තාත්තා ප්‍රියන්ජිත් මංජුල මෙන්ඩිස් රචනා කළ කට්ට පිත්තල ගීතය රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක සික්ස් එයිට් විදිහට යන ගීතයක්. ඔහුත් කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්. අපි කලාව පැත්තට යොමු කළෙත් ඔහු.


නාමලී ගමගේ



Previous Post Next Post