අනාගතය ගැන අහස උසට මාලිගා හදාගෙන නෑ – දසුනි නවෝද්‍යා



 මේ දිනවල පුංචි තිරයේදී විකාශය වන මීමැස්සා, රොන් වගේම රොකී නමැති ටෙලිනාට්‍ය ඔස්සේ විවිධ චරිත රඟපාමින් ඔබ හමුවට එන ඇය නමින් දසුනි නවෝද්‍යා. අතිශය කාර්යබහුල වෙලාවක දසුනි සමග පුංචි කතාබහක නියැළුණේ ඇය රඟපෑ චරිත ගැන කතාබහ කිරීමටය.

දසුනිව මේ දිනවල මීමැස්සා, රොකී සහ රොන් කියන ටෙලිනාට්‍ය ත්‍රිත්වයකින් දකින්න ලැබෙනවා නේද?


ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. චරිත තුන තුන්විදිහක්. විශේෂයෙන් ක්‍ෂේත්‍රයේ අයගෙන් පවා ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. කොහොම වුණත් හරි සතුටින් මේ දිනවල ජීවිතය ගත වෙනවා.


වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතවලටද?


වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මීමැස්සා හි භාග්‍යාට වගේම සියාරා චරිත දෙකට. මොකද දෙකම ටිකක් ජනප්‍රිය නාට්‍ය දෙකක්. අනික ඒ චරිත දෙක දෙවිදිහක්.


මීමැස්සා හි භාග්‍යා ගැන කතා කළොත් ?


මීමැස්සා හි මගේ චරිතය ගැන මුහුණු පොතේ, ක්‍ෂේත්‍රයේ අය වගේම ප්‍රේක්ෂකයෝ, සටහන් ලියා තිබෙනවා මාත් දැකලා තියෙනවා. ඇත්තටම මම ගැඹුරු චරිතයක් තමයි එහි රඟපාන්නේ. කවදාවත් මම නොකරපු විදිහේ චරිතයක්. මාව විශ්වාස කරලා ඒ වගේ බරසාර චරිතයකට තෝරාගැනීම පිළිබඳව ඩිල්ෂාන් පතිරත්න අයියාට බොහොම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මම හිතනවා මම ක්‍ෂේත්‍රයට තවම ආධුනික කෙනෙක් කියලා. හැබැයි මට පුළුවන් උපරිමයෙන් මහන්සිවෙලා චරිතය රඟපානවා. මම හිතනවා භාග්‍යාට සාධාරණයක් කරන හින්දා වෙන්න ඇති ඒ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ කියලා.


මීමැස්සා පිටපතට අතට ලැබෙනකොට මොකද හිතුණේ ?


අනිවාර්යයෙන්ම. මීමැස්සා නාට්‍යයේ පිටපත මගේ අතට ලබාදෙනකොට මම හිටියේ ටිකක් කාර්යබහුල කාලවකවානුවක. පසුගිය දවස්වල මම රඟපෑ ටෙලිනාට්‍ය පහක් හයක් එකදිගට විකාශය වුණා. එහෙම මට එකදිගටම රූගත කිරීම් තිබුණ කාලයක තමයි ඔය පිටපත මගේ අතට ලැබෙන්නේ. පුළුවන් ඉක්මනට කියලා උත්තරයක් දෙනවා කියලා හිතලා තමයි පිටපත අතට ගත්තේ. රූගත කිරීම් කරලා ඇවිත් රාත්‍රියේ එක හුස්මට මම පිටපත කියවලා ඉවර කළා. මම හිතුවෙත් නැහැ මම එහෙම එකදිගට කියවයි කියලා. පිටපත ඒ තරම් ප්‍රබලයි. අන්තිමේ කොහොම හරි සතුටින් ඒ චරිතය රඟපානවා.


රොන් නාට්‍යය ගැනත් කතා කළොත්?


රොන් හි මම රඟපාන්නේ ඉතාම අහිංසක චරිතයක්. මම ප්‍රේක්ෂකයො අතරට මුලින්ම ගියේ සර්කස්කාරයෝ හි අනුකි කියන චරිතය හරහා. ඒකෙන් තමයි මිනිස්සු මාව ගොඩාක් අඳුර ගන්නේ. හැබැයි ඒකෙන් මාව අඳුර ගන්නේ මම ගොඩක් සැරපරුෂ කෙනෙක් විදිහට. සර්කස්කාරයෝ විකාශය වෙද්දී ප්‍රේක්ෂකයො මගෙන් අහපු එකම ප්‍රශ්නය තමයි ඔයා ඔය තරම් සැරපරුෂ චරිතයක්ද කියලා. හැබැයි රොන් නාට්‍යයේ ඉතාම අහිසංක චරිතයක් කරන හින්දා මිනිස්සු කියනවා ඔයාට විවිධාකාරයේ චරිත කරන්න පුළුවන් නේද කියලත්.


සර්කස්කාරයෝ හි අනුකි ජීවිතයට මොනවගේ බලපෑමක්ද ඇති කළේ ?


සර්කස්කාරයෝ හි අනුකි තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. එතැනින් පස්සේ තමයි මට මේ හැම නිර්මාණයක්ම ලැබුණේ. අනුකි කියන චරිතය මම හිතනවා හරිම වාසනාවන්ත චරිතයක් කියලා. මගේ රංගන ජීවිතයේ ලොකු වෙනසක් කළේ අනුකි කියන චරිතය.


මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?


ජනප්‍රියත්වය කියන දේ හැම මනුස්සයෙකුටම ලැබෙන දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම පෙර කරපු පිනකට හෝ වාසනාවකට ලැබෙන දෙයක්. නමුත් මම හිතනවා වාසනාව විතරක් තිබිලා බැහැ කියලා. උත්සාහය, මහන්සිය, කැපවීම තියෙන්න ඕනෑ. මම හිතනවා උත්සාහය, මහන්සිය, කැපවීම වගේම වාසනාව කියන හැමදේම එකතු වුණහම තමයි හොඳ ගමනක් යන්න පුළුවන් කියලා. මට සතුටුයි මම අද ඉන්න තැන ගැන. මම ආපස්සට හැරිලා බලද්දී බොහොම මහන්සියෙන් තමයි මේ ගමන එන්නේ.


2021 තමයි මම ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමාරිය වෙන්නේ. එතැනින් එහාට මම හරිම හෙමින් ගමනක් ආවේ. වේගයෙන් යන්නේ නැහැ. මොකද ඉක්මන් කෙටියි කියලා කතාවකුත් තියෙනවානේ. මේක හරිම හෙමින් යන ගමනක්.


මේකත් දසුනි පුංචි කාලේ දැකපු හීනයක්ද?


ඔව්. මම පුංචි කාලේ දැකපු හීනයක්. මගේ හීන තුනක් තිබුණා. ඒක මම ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යවලට වගේම පුවත්පත් සාකච්ඡාවලට කියලා තියෙන දෙයක්. අවුරුදු කුමාරියක්, රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වෙනවා කියන හීන තුනම මට තිබුණා. හැබැයි මම හිතුවේ නැහැ මට ඒ විදිහටම ඒ හීන තුන සැබෑ කරගන්න පුළුවන් වේවි කියලා. මම අර මුලින් කිව්වා වගේ පෙර පිනකට හෝ වාසනාවට ඒ හීන තුනම හැබෑ කරගෙන ඉන්නවා.


ගෙදරින් මොකද කියන්නේ?


මුල් කාලයේදී ඇත්තටම කැමැති වුණේ නැහැ. අවුරුදු කුමාරියක් වෙනවාටවත් කැමැති වුණේ නැහැ. විශේෂයෙන් රංගන ශිල්පිනියක් වෙනවාට ගෙදරින් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. දැන් මට මගේ අම්මයි තාත්තායි ලොකු සහයෝගයක් ලබාදෙනවා. තාත්තා තමයි ගොඩාක්ම විරුද්ධ වුණේ. හැබැයි දැන් තාත්තා මම රඟපාන නාට්‍යයක කොටසක් ටීවී එකෙන් බලාගන්න බැරිවුණොත් යූටියුබ් එකෙන් හරි බලනවා. මේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්නට මට ඒ දෙන්නගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


ඔබ රඟපාන නාට්‍ය ඔබට බලන්න වෙලාවක් තියෙනවාද?


අනිවාර්යයෙන්ම. මම මගේ නාට්‍ය හැමදාම නරඹනවා. ෂූටින් ඉවරවෙලා හරි ෂූටින් අතරතුර ලැබෙන ඉඩකඩකදී හරි නරඹනවා.


මේ වෙනකොට ඔබේ වෘත්තිය?


මම ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් හැටියට සේවය කරනවා. ඊට අමරතව දැන් රංගනයත් මගේ වෘත්තිය වෙලා තියෙනවා. ඔය අතරේ අධ්‍යාපන කටයුතු එක්කත් මම කාර්යබහුලයි. මම හැමදේම සමබරව කරගෙන යන කෙනෙක්. මගේ ජීවිතයේ කිසිම දෙයක් මම මගහැරෙන්න දෙන්නේ නැහැ.


ජීවිතයේ අරමුණු තියෙනවාද?


මම අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මම ඒක හැමතැනකදීම කියන දෙයක්. අනාගතය ගැන ඇත්තටම අහස උසට මාලිගා ගහගෙන නැහැ. මගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ තියෙන එකම බලාපොරාත්තුව තමයි මගේ අම්මටයි තාත්තාටයි මගේ අත්දෙකින්ම සලකන්න පුළුවන් හොඳ දුවෙක් වෙන එක. ඒ ඇරෙන්න රංගනය සහ නිවේදනයෙන් මට පුළුවන් උපරිම දුරක් යන්න තමයි උත්සාහ කරන්නේ. හොඳ විදිහට චරිතවත්ව මගේ නම රැකගෙන මගේ ගමන මම යනවා.


දිනේෂ් විතාන



Previous Post Next Post