ඕලුටත් වඩා ජනප්‍රිය වැඩක් ළඟදීම කරනවා -සුරාජ් මාපා



ඔහු සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක්. එදා ඕලු ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයාගේ මතකයේ ලැගුම්ගත් ඔහු දක්ෂ, කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහු කවුරුන්දැයි ඔබ දැනටමත් දන්නවා ඇති. ඉතින් අද හදගැස්ම සමඟින් කතාබහට එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සුරාජ් මාපා. 


මේ දවස්වල අලුත්ම වැඩකටයුතු මොනවාද…?


“මේ දවස්වල අලුත් වැඩකටයුතු කිහිපයක්ම කරගෙන යනවා. මගේ ඩාන්සින්ග් ඇකඩමි එකේ වැඩකටයුතු ලබන මාසේ වගේ පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම අලුත් නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වනවිට ඒ නාට්‍යයේ පිටපත ලියලා ඉවරයි. මම හිතනවා මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට හොඳ ආදර කතාවක අඩුවක් තිබෙනවා කියලා. ඉතින් මම හිතනවා මේ අලුත් නාට්‍යයත් එක්ක හොඳ ආදර කතාවක් ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න ලැබේවි කියලා.


සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්….?


“ශිවගුරුනාදන් සහ සද්ධාමංගල සූරියබණ්ඩාර කියන මහත්වරු දෙපළ තමයි මට මේ චරිතය සඳහා ආරාධනා කළේ…


මට දේශපාලනඥයකුගේ චරිතයක් තමයි නිරූපණය කරන්න තියෙන්නේ. මුලින් මට දේශපාලනඥයකුගේ චරිතයක් නිරූපණය කරන්න කම්මැළි හිතුණා. මොකද අපි හැමදාම රූපවාහිනියෙන් දකින සාම්ප්‍රදායික දේශපාලනඥයකුගේ චරිතයක් නිරූපණය කරන්න මම කැමැති වුණේ නැහැ. ඊට පසුව අපි මේ චරිතය සම්බන්ධව සාකච්ඡා කරලා චරිතයේ යම් යම් වෙනස්කම් සිදුකළා.  ඒ හරහා සමාජයට සහ මෙරට දේශපාලනයට ආදර්ශයක් ගෙනදෙන අවංක, නිර්භීත, බාහිර පෙනුමෙන් පවා වෙනස් දේශපාලනඥයකුගේ චරිතයක් ගොඩනඟා ගැනීමට අපිට හැකිවුණා.


අවසානයේදී ගොඩක් සතුටින් සහ ගොඩක් ආසාවෙන් මේ චරිතය භාරගත්තා. එම චරිතයට ඇත්තටම ගොඩක් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.


ලංකාවේ සැබෑ දේශපාලනඥයන් පවා මට පෞද්ගලිකව කතා කරලා කිව්වා එයාලත් මේ චරිතය ආසාවෙන් බලනවා කියලා.”


ඉදිරියේදීත් සුරාජ් මාපාව පුංචි තිරයෙන් දැකබලා ගන්න පුළුවන් වෙයිද….?


“මම චරිතයකට සම්බන්ධ වන විට ආවට ගියාට සම්බන්ධ වෙන්නේ නැහැ. මම චරිතයක් භාරගනිද්දී පෞද්ගලිකව හිතනවා එම චරිතය සමාජයට කොතෙක් දුරට බලපානවද කියන එක. මම හිතනවා අපි කලාකරුවෝ විදිහට මේ රට ගොඩනැඟෙන විදිහේ නිර්මාණ කළ යුතුයි කියලා. වර්තමාන කලාකරුවෝ දේශපාලනයට අවතීර්ණ වෙනවට වඩා නිර්මාණ තුළින් දේශපාලනය පිළිබඳව කතා කරන එක තමයි හොඳ. කවරාකාර නිර්මාණයකින් වුවත් බුද්ධිමත් ප්‍රේක්ෂකයකු බිහිකර ගැනීම තමයි වැදගත් වන්නේ. ඉතින් මම ඉදිරියේදීත් ගුණාත්මක නිර්මාණ සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම මුදල් මතම චරිත තෝරා ගන්නේ නැහැ.”


ඕලු ටෙලි නාට්‍ය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. එවැනි චරිතයකින් නැවතත් ඔබව ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙයිද….?


“මම කරන හැම චරිතයකටම උපරිම සාධාරණයක් කරනවා. නමුත් ප්‍රේක්ෂකයන් චරිතයක් වැලඳ ගන්නා විධිය අනුව තමයි තීරණය වන්නේ ඒ චරිතය ප්‍රේක්ෂකයන්ගේ මතකයේ කොපමණ රැඳෙනවාද නැද්ද කියන එක. ඇත්තටම මම ජනප්‍රියත්වය වෙනුවෙන් දඟලන කෙනෙක් නෙවෙයි. නමුත් මට පුළුවන් වුණා එදා සිට අද දක්වාම ජනප්‍රියත්වය එකම විදිහට පවත්වා ගන්න. මම නිතරම උත්සාහ කරනවා ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන චරිතවලට සම්බන්ධ වෙන්න.


සමහර විට මම ඉදිරියේදී ඕලු ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රිය ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණේවි.”


වර්තමානයේදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන නවකයන් පිළිබඳව ඔබේ අදහස කුමක්ද….?


“අතීතයට වඩා වර්තමාන ක්ෂේත්‍රයට පැමිණිය හැකි මංපෙත් පුළුල් වී තිබෙනවා. ඒක නිසා ක්ෂේත්‍රය තුළ යම් තරගයක් තිබෙනවා. මම දකින විදිහට ඒක හොඳ තත්ත්වයක්.


නවකයන් ජනතාවගේ කැමැත්ත පමණක් නෙවෙයි, ගරුත්වයත් ලබා ගන්නත් උත්සාහ කළ යුතුයි. එවිට  ඔවුන්ට සාර්ථක ගමනක් යන්න පුළුවන්.”


වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ ඔබ දකින වෙනස්කම් මොනවාද…?


“ඇත්තටම එදා වාණිජ ගණයේ නිර්මාණවලට වඩා ගුණාත්මක නිර්මාණ බිහිවුණා. නමුත් වර්තමානයේදී ගුණාත්මක නිර්මාණවලට වඩා වාණිජ ගණයේ නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාවක් ඇති වෙලා තිබෙනවා. මෙය යහපත් තත්ත්වයක් නෙවෙයි.


මෙවැනි ප්‍රවණතාවක් ඇති වීමට රූපවාහිනී නාළිකාවල ක්‍රියාකාරිත්වයත් බලපා තිබෙනවා.”


ජනප්‍රියත්වය පිළිබඳව ඔබ දරන මතය කුමක්ද….?


“ජනප්‍රියත්වය කියන්නේ ජනතාවගේ කැමැත්ත විතරක් නෙවෙයි. ජනතාවගේ ගෞරවයත් ලැබුණොත් තමයි ජනප්‍රියත්වය දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අනෙක අපි කරන නිර්මාණ අවංකව කළොත් විතරයි අපේ නිර්මාණවලට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන්නේ. ජනප්‍රියත්වයට වාසනාව සහ කැපවීම කියන සාධක දෙකක් බලපානවා. මට එදා වගේම අදටත් ජනප්‍රියත්වය නොවෙනස්ව තබා ගන්න පුළුවන් වුණේ මම මගේ නිර්මාණ වෙනුවෙන් කරන කැපවීම් නිසා.”


විවාහය ගැන තවම හිතුවේ නැද්ද…?


“තව අවුරුදු දෙකක් වගේ ඇතුළත විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.”


ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කෙටියෙන් කිව්වොත්…


“අනාගත බලාපොරොත්තු කිහිපයක්ම තිබෙනවා. ඉදිරියේදී ගුණාත්මක නිර්මාණ අධ්‍යක්ෂණය සහ  නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව හොඳ ව්‍යාපාරිකයකු වීමටත්, අනාගතයේදී හොඳ ස්වාමිපුරුෂයකු සහ හොඳ පියකු වීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.”



Previous Post Next Post