හොරා කොහොමද දෙයියනේ අංකල් වුණේ? - මහේන්ද්‍ර පෙරේරා




හර්ෂණ වික්‍රමසිංහගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන ”‍හොරා අංකල් ”‍ සිනමා පටයට මහේන්ද්‍රට ආරාධනා කළාට පසුව ඔහු ගැන ඔබ තුළ තිබුණු විශ්වාසය කොහොමද?


හර්ෂණ මාත් එක්ක වසර කිහිපයක්ම මගේ නාට්‍ය වැඩමුළුවල හිටියා. ඒ වෙද්දිත් ඔහුගේ වැඩි කැමැත්ත අධ්‍යක්ෂණයට තිබුණේ. ඔහු නාට්‍ය වැඩමුළුවල ඉන්න අතරතුරේදිත් නිර්මාණය කිහිපයකම සහය අධ්‍යක්ෂණයටත් සම්බන්ධ වුණා. වසර ගණනාවක්ම නාට්‍ය වැඩමුළු හරහා හඳුනා ගැනීමත් එක්ක හර්ෂණට හොඳ යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ විශ්වාසයත් එක්ක පසුකාලීනව ”‍තමන්ගේ ටාගට්වලට මේ මිනිස්සු යනවා නේද?” කියන සතුටක් මට ඇතිවුණා. හර්ෂණ ගැන කොහොමටත් මට බයක් තිබුණේ නැහැ. ඔහු දක්ෂ තරුණයෙක්. ඔහු ගැන මට විශ්වාසය තිබුණා. ඒ නිසා ඔහු එක්ක මම මේ වැඩේ කරන්න සම්බන්ධ වුණා. මාත් එක්ක මේ විෂය සොයාගෙන යන්න එකතු වුණු කෙනෙක් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා, ඔහු එක්ක එකතුවෙලා වැඩ කරන්න ලැබීම මට සතුටක්.


මහේන්ද්‍රගේ නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වුණු අනුරුද්ධිකා පාදුක්කගේත් ”‍හොරා අංකල්”‍ සිනමා පටයට දායක වෙලා ඉන්නවා නේද?


ඔව්... “හොරා අංකල්” සිනමා පටයේ මගේ බිරිඳ විදියට රඟපාන්නේ අනුරුද්ධිකා පාදුක්කගේයි. ඇයත් මගේ නාට්‍ය වැඩමුළුවල වසර තුනක් පමණ රඟපෑම හදාරපු කෙනෙක්. මාත් එක්ක රංගනය සොයාගෙන ගිය කෙනෙක් එක්ක රංගනයෙන් එක්කට දායක වෙන්න ලැබීමත් හිතට සතුටක්. “අපි එකට රංගනය ගැන සොයාගෙන ගිය අයනේ මේ මාත් එක්ක එකට රඟපාන්නේ”‍ කියලා හිතද්දි ඒක හිතට සතුටක්.


“හොරා අංකල්” පිටපත මුලින්ම කියවද්දි සෑහීමකට පත්වෙන්න පුළුවන් වුණාද?


ඒකේ හොඳ කතා තේමාවක් තිබුණා. හැබැයි පිටපතේ දී අපි කතාබහ කරමින් බොහෝ තැන් නැවත හැදුවා. මේක ළමා චිත්‍රපටයක් වුණාට හරිම වෙනස් කතාවක් තිබුණා. “හොරා අංකල්”‍ කියන නමේ ඉඳන්ම මොකක්දෝ වෙනසක් මට දැනුණා. හොරා කොහොමද අංකල් කෙනෙක් වෙන්නේ කියන කුතුහලය තියෙනවා. ඒත් වෙනම කුතුහලයක් තිබුණා. පියෙක් දරුවකුට කරන ආදරය වෙනමම විදිහකින් පිටපතෙත් කතා කරලා තිබුණා. සමාජය ගැන පොඩි විග්‍රහයකුත් එක්ක කතාව ලියැවිලා තිබුණා. මුල් පිටපතේ දී අපි බොහෝ තැන් හැදුවා. අවසානයේ දී හොඳ පිටපතක් තුළින් සිනමා පටයක් බිහිවුණා කියලා විශ්වාස කරනවා.


මහේන්ද්‍ර තමන් රඟපෑ චිත්‍රපටයක් නරඹන්නේ නැහැ. ඇත්ත කියන්න හොරා අංකල් බැලු‍වද?


නැහැනේ... ඇත්තම කිව්වොත් මම රඟපෑ චිත්‍රපටයක් මට බලන්න බැහැ. ඒ වෙලාවට මට හිතාගන්න බැරි මානසික මට්ටමක් දැනෙනවා. මට ‘හාට් ඇටෑක්’ එකක් හැදෙන්න එනවා වගේ දැනෙන්නේ. මම රඟපාන්නේ නැති චිත්‍රපට නම් මම බලනවා. හැබැයි මම දායක වෙන චිත්‍රපටයක් මට බලන්න බැහැ. අම්මෝ... ඒ වෙලාවට මගේ කකුල් දෙකත් පණ නැති වෙනවා වගේ දැනෙන්නේ. චිත්‍රපට රූගත කිරීම් කරලා දෙබස් කවද්දි ස්ටූඩියෝ ඇතුළට ගිහින් ඒ වැඩේ නම් කරන්න පුළුවන්. එතැන වැඩිය කවුරුත් නැහැනේ. හැබැයි රඟපාපු චිත්‍රපට එකක්වත් සිනමාහලක වාඩිවෙලා බලලා නැහැ.


මේ දිනවල දායක වුණු නිර්මාණ මොනවාද?


ප්‍රියන්ත කොළඹගේගේ චිත්‍රපටයක් කරනවා. ඒකත් අමුතු විදියෙ ලස්සන කතාවක්. අනුරාධපුරේ රූපගත කිරීම් කරලා අවසාන වුණා. තවත් කොටස් කිහිපයක් කොළඹ කරන්න  තියෙනවා. ඒ අතරතුරේ සිනමා වැඩ කිහිපයකටම කතා කරලා තියෙනවා. ටෙලිනාට්‍ය නම් මම ඉතාම අඩුවෙන් තමයි කරන්නේ. එකකට කතා කරලයි තියෙන්නේ. ඒ ගැන හරියටම තවම කියන්න බැහැ.


අත්දැකීම් බහුල ප්‍රවීණ කලාකරුවෙක් වෙන ඔබට සිනමා අධ්‍යක්ෂණයට එකතු වෙන්න අදහසක් නැද්ද?


හොඳ නිෂ්පාදකයෙක් ඉන්නවනම් අධ්‍යක්ෂණය කරන්න කැමතියි. එවැනි අධ්‍යක්ෂණයට හොඳ කතා තේමාවන් කිහිපයක්ම අපේ හිත්වල තියෙනවා. අපි ඒ වගේ තේමාවන් එකතුවෙලා කතා කරන අවස්ථා තියෙනවා. නමුත් ඒ කතා කරන සිනමාවන් සිනමාවට නගන්න ලෙහෙසි වෙන්නේ නැහැ. ඒකට හොඳ නිෂ්පාදකයෙක් සොයාගන්න ඕනෑ. ඒකට විශාල මුදලක් යටවෙන නිසා ඒක ලොකු ගැටලු‍වක් වෙලා තියෙනවා.


මෑත කාලයේ දී තරුණ නවක අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණ තිරගත වෙනවා. ක්ෂේත්‍රයට  තරුණ පිරිස එකතුවෙන මේ කාලය ගැන ප්‍රවීණයෙක් විදියට සතුටු වෙන්න පුළුවන් නේද?


ඔව් අනිවාර් යෙන්ම... මම කියන්නෙත් නවක තරුණ අධ්‍යක්ෂවරුන් බිහිවෙන්න ඕනෑ කියලයි. එහෙම නොවුණොත් මේකෙ පැවැත්මක් ඇතිවෙන්නේ නැහැ. අලු‍ත් අධ්‍යක්ෂවරුන්ගේ අලු‍ත් අදහස් එක්ක තමයි චිත්‍රපටයක් එළියට එන්නේ. ඒ වගේ හොඳ අධ්‍යක්ෂවරුන් වගේම කතා රචකයනුත් ඉන්නවා. විවිධාකාර වූ අධ්‍යක්ෂවරුන් බිහිවීම හරහා මේ ක්ෂේත්‍රය රැඳී තියෙනවා. ප්‍රේක්ෂකාගාරය පොහොසත් කරගන්න එක තමයි අපි කළ යුතු වෙන්නේ. ප්‍රේක්ෂාකාගාරයෙන් බැහැරව චිත්‍රපට කළොත් අපිට බිත්තිවලට ගහලා චිත්‍රපට බලාගෙන ඉන්න සිදුවේවි. ප්‍රේක්ෂකාගාරය රසවින්දනය කරන්නේ කොහොමද කියලා අපි අවධානයෙන් ඉන්න ඕනෑ. ඇත්තටම අලු‍ත් අධ්‍යක්ෂවරුන් මේ ක්ෂේත්‍රයට අවශ්‍යයි.


“හොරා අංකල්” දැන් නැරඹිය හැකියි. මහේන්ද්‍රගෙන් ආරාධනාවක් තියෙනවද?


ඔව් අනිවාර්යයෙන්ම... “හොරා අංකල්” තුළින් තමන්ට විශාල යමක් දැනේවි කියලා මම විශ්වාස කරනවා. දරුවන්ට තියෙන ආදරය, දෙමව්පියන්ට තියෙන ආදරය තවත් දැනේවි. ඒ නිසා මෙම චිත්‍රපටය නරඹන්න මම හැමෝටම ආරාධනා කරනවා. චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයන් එකතු වීම අපේ ජීවයයි. අපි පණ ගැහිලා එන්නේ ප්‍රේක්ෂක  සහභාගිත්වයත් එක්කයි. සමහරු ”‍ඕක කවදද ටීවී එකේ පෙන්නන්නෙ”‍ කියලා අහනවා. චිත්‍රපටයක් සිනමා හලකට ගොස් නරඹන්න. ඒක අපි හැමෝටම ධෛර්යයක් ශක්තියක් වෙනවා. ඒ නිසා ශාලාවට ඇවිත් හොරා අංකල් බලන්න කියලා මම ආරාධනා කරනවා.


ඔබගේ නාට්‍ය වැඩමුළුවලින් ඉගෙන ගත්තු, ක්ෂේත්‍රයේ බොහෝ තැන්වල ඉන්න කලාකරුවන් කලාකාරියන් වැඩියි. ඉදිරියේ දී නාට්‍ය වැඩමුළු කරන්න බලාපොරොත්තුවක් නැද්ද?


දැන් නම් ඒ සම්බන්ධයෙන් මට විශාල කලකිරීමක් තියෙන්නේ. කොච්චර කිව්වත් තාම මේ තෝතැන්න සක්‍රීය නැහැ. තව ඒ වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න තියෙනවා. කලාවේදි‌ෙයක් විදියට ගොඩනැගෙන්න ඕනෑ. ඒක ලෙහෙසි දෙයක් නොවේ. නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂවරයෙක් තමන් ළඟට ඇවිත් ”‍ඔයාගේ ගාණ කීයද?” කියලා අහන තැනට එන්න ඕනෑ. ඒ ගමනට මේ අය එන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් මට බයක් සහ කුතුහලයක් තියෙනවා. තමන්ගේ මහන්සිය කැප කිරීම හා සොයා යාම තුළින් තමයි තමන්ට ගොඩනැගෙන්න පුළුවන් වෙන්නේ. ඒක ලෙහෙසි කාරණාවක් නෙවෙයි. ඒ නිසා තව පොඩි කාලයකදී මේක කරලා බලනවා. ඉගෙන ගත්ත අයට මොන හරි දෙයක් කරන්න පුළුවන් වටපිටාවක්, අවස්ථාවක් ලබා දෙන්න ඕනෑ. තව අලු‍ත් අයට උගන්වනවාට වඩා ඉගෙන ගත්තු අයට හොඳ යමක් කළ යුතු වෙනවා.



• දිශානි ජයමාලි



Previous Post Next Post