ලියානා කැමැත්තෙන් හිටියේ එයාට වඩා වයසින් වැඩි කෙනෙක්ටලු




දෙරණ නාළිකාවේ ප්‍රකට නිවේදක හසිත විජේවර්ධන පසුගිය දිනෙක (20) දින ‍බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී සුබ මොහොතින් යුග දිවියට එක්ව තිබුණා. හසිතගේ අතගත් ආදරණීය මනාලිය වුණේ ලියානායි. තනිකඩ ජිවිතයක් ගත කරන බවට සමාජ මාධ්‍යය තුළින් ඉඟි පළ කරමින් සිටි හසිත මේ විදියට විවාහ දිවියට එළඹීම මිතුරන් අතරේ දැඩි කතාබහට ලක්ව තිබුණා. තනිකඩ සංගමයේ සටන පාවා දුන් හසිත් ලෙසින් සමාජ මාධ්‍යය තුළ හසිත සහ ලියානාගේ ජායාරූප ශීඝ්‍රයෙන් පැතිර ගියා. මේ සියල්ල ගැන අපි හසිත සහ ලියානා එක්ක කතා කළා.


“හසිත – ලියානා මුලින්ම සුබ මංගලම්!“


“බොහොම ස්තුතියි. සිළුමිණ රසඳුනට“


කොහෙද මේ ඉන්නේ?


දැන් ඉන්නේ අපි වියට්නාමයේ. හනිමුන් ටුවර් එකක් ආවා දවස් 10කට. වියට්නාමයේ හැනෝයි, හැලෝන් බේ, ධනාන් සහ ඔචිමින් කියන නගරවල රවුමක් යන්න. මෙතනදි මතක් කරන්න ඕනේ විදුර ජයවර්ධන සහ බුද්ධික ජයවර්ධන කියන අයියයි මල්ලියි තමයි මගේ යාළුවො දෙන්නා. ඒ දෙන්නා තමයි මට මේ හනිමුන් පැකේජ් එක අරන් දුන්නේ.


අපිට මුලින්ම හසිත කියන්නකෝ මේ ආදර කතාවේ පටන් ගැන්ම කොහොමද සිද්ධ වෙන්නේ?


මේක පටන් ගන්නේ මුහුණු පොත හරහා. අවුරුදු එකහමාරකට විතර කලින්. මම තමයි fb රික්වෙස්ට් එක මුලින්ම දැම්මේ. මට එයාව දැක්කම අහිංසක ළමයෙක් වගේ හිතුණ නිසා. එහෙම නැත්නම් මම කෙල්ලොන්ට රික්වෙස්ට් යවනවා අඩුයි. මෙයා ඉස්සර යූටියුබ් එකේ වීඩියෝ දානවා. ඒ වීඩියෝ එකක් දැකලා තමයි මම මුලින්ම මැසේජ් කළේ. කාලයක් අපි යාළුවො වගේ හිටියා. ඊට පස්සේ මම කැමතිද ඇහුවමත් මුලින්ම එයාගේ වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ නිසා මම කතා කරන එක නතර කළා. ඊට පස්සේ මාසයක් එකහමාරක් විතර යද්දී මෙයා මට මැසේජ් එකක් දැම්මා. ඒ කතාව දුරදිග ගිහින් තමයි අපි දෙන්නගේ ආදර කතාව පටන් ගත්තේ.


මේ ආදර කතාවට වසර කියක් ද?


යාළුවො වගේ දැන හඳුනාගෙන නම් වසර එකහමාරක් වගේ වෙනවා. නමුත් අපේ ආදර කතාවට නම් වැඩි කාලයක් නැහැ.


ඉක්මනින් විවාහ වෙන්න හිතුවේ ඇයි?


ලියානාගේ ෆැමිලි එකම ඔස්ට්‍රේලියාවට යන්න ඉන්නේ. ඒ නිසා පවුලේ ඉල්ලීමත් එක්ක තමයි අපි දෙන්න බඳින්න හිතුවේ.


ලියානාව බිරිඳ කර ගන්න ඕනේ කියලා හිතුණේ ඇය සතු මොන ගුණාංග නිසාද?


එයා හරිම අහිංසක චරිතයක්. ඒ වගේම හුදකලාවේ ඉන්න කැමති කෙනෙක්. එයාට වැඩිය යාළුවො ඇත්තෙම නැහැ. අම්මලා තාත්තලා එක්කම හැදුන කෙනෙක්. වියානා කියන්නේ වැඩිය සෝෂල් නැති කෙනෙක්. මට ඇත්තටම ජීවිතේට ඕනේ වුණේ එහෙම කෙනෙක්. පහුගිය කාලේ මට වෙච්චි දේවල් සහ යාළුවන්ට වුණු දේවල් එක්ක මට ඕනේ වුණේ ගුණයහපත් කමින් හොඳ, හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ ගුණාංග ටික ලියානා ළඟ තිබ්බා. හරිම නිහතමානී මනුස්සකමෙන් පිරි කෙනෙක්. ඒ නිසා මට හිතුණා මගේ ජීවිතේට ඕනේ මේ වගේ කෙල්ලෙක් කියන එක.


හසිත මොකද සටන පාවා දෙන්න හිතුවේ?


මම පහුගිය කාලේ ඇත්තටම බඳින සීන් එකේ හිටියේ නැහැ. මම හිතාගෙන හිටියේ මට එහෙම හදිසියේ බඳින්න වුවමනාවට බඳින්න ඕනේ නැහැ කියන තැන. හැබැයි හොඳ කෙනෙක් ලැබුණොත් බඳින තැන හිටියේ. ලියානා කියන්නේ ඇත්තටම මම බලාපොරොත්තු වෙච්චි විදියේ කෙනෙක්. ඒ නිසා මම හිතුවා ලියානාව බැන්දොත් මට හොඳක් වෙයි කියලා. ඒ නිසා තමයි සටන පාවා දෙන්න වුණේ.


දැන් ඔය සටනේ ඉතුරු කවුද?


රන්ජන් අයියා, අනුෂ්ක, ඩිලාන්, රැට්ටා ඇතුළු තව කිහිපදෙනෙක් ඉන්නවා. මම නම් කියන්නේ සටන දිගටම ගෙනිච්චට කමක් නැහැ හොඳ කෙනෙක් හම්බෙනකම්. හොඳ කෙනෙක් හමුවුණොත් සටන පාවා දුන්නට කමක් නැහැ.


සමාජ මාධ්‍යය තුළ දැන් කතා වෙන්නේ වයස් පරතරය ගැන, ඒ ගැන හසිතට කියන්න දෙයක් තියෙනවද?


මම නම් වයස් පරතරය ගැන එච්චර හිතන්නේ නැහැ. අපේ අම්මා තාත්තා ගත්තත් අවුරුදු 11ක විතර ගැප් එකක් තියෙනවා. අපේ අම්මා තාත්තා අද වෙනකම් ඉතාම හොඳින් ආදරෙන් ජීවත් වෙනවා. ඒ කාලේ එක්ක මේ කාලේ ගත්තම මට නම් හිතෙනවා වයස් පරතරයක් තියෙන කෙනෙක් එක්ක විවාහ වෙන එක හොඳයි කියලා. මට ගොඩක් ඉන්නේ අඩු වයසේ යාළුවො. මම තවම තරුණ විදියට හිතන මානසික මට්ටමේ ජීවත් වෙන කෙනෙක්. ලියානත් කැමත්තේන් හිටියේ එයාට වඩා වයසින් වැඩි කෙනෙක්ටලු. ඒකත් එක්ක අපේ මේ බැඳීමට වයස නම් කවදාවත් බාධාවක් වෙලා නැහැ.


කොහොමද මිතුරන්ගෙන් ලැබෙන ප්‍රතිචාර


ඇත්තටම හොඳයි. හැමෝම කියන්නේ ගත්ත තීරණය හොඳයි කියන එක. මංගල දවසත් ලස්සනටම ගන්න පුළුවන් වුණා. ඒ හැමදේටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඔබේ මාධ්‍යය ජීවිතේට ලැබෙන ඇයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


ලියානාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාගෙන් කවදාවත් නීති රීති නැහැ. මගේ දේවල් වලට ලොකු සහයෝගයක් එයා මට ලබා දෙනවා. ඒක මට ගොඩක් වටිනවා මගේ මාධ්‍යය ජිවිතේ තව දුරටත් ඉස්සරහට අරගෙන යන්න.ලියානා එක්කත් කතා නොකරම බෑනේ ලියානා ගැන විස්තර ටිකක් කිව්වොත්,


මගේ නම ශෙනුලි ලියානා දේවගේ. පවුලේ ඉන්නේ අම්මා, අක්කලා දෙන්නෙක් සහ අයියා කෙනෙක්. තාත්තා මේ වෙද්දී ජිවතුන් අතර නැහැ.


ලියානා කොහෙ කෙනෙක් ද?


මමත් වත්තල. හසිතගේ ගෙවල්වලට කිලෝමීටරයක් වගේ දුරකින් අපේ ගෙදර තියෙන්නේ.


ඔයා රැකියාවක් කරනවද?


නැහැ. මම රැකියාවක් කරන්නේ නැහැ.


මුලින්ම හසිතව දැක්කම මොකද හිතුණේ?


මට හිතුණේ එයා හරිම හොඳ කෙනෙක් කියලා. ඒ වෙද්දීත් ගොඩක් අය හසිතට ආදරෙයි. ඒ නිසා මම ටික කාලයක් යාළුවෝ විදියට ආශ්‍රය කරලා බැලුවා. ඒ කාලය තුළ මට හිතුණා ඇත්තටම හසිත කියන්නේ හොඳ කෙනෙක් බව. ඒ වගේම එයා මට හොඳ ආදරයක් රැකවරණයක් දෙන්න පුළුවන් කෙනෙක් බව දැනුණා.


ලියානා, හසිතගේ දැක්ක හොඳම ගුණාංගය මොකක්ද?


එයා ගොඩක් ආදරණීයයි. මාව ගොඩක් හොඳින් බලාගන්නවා. ඒ වගේම මනුස්සකම තියෙන සුන්දර මනුස්සයෙක්.


ආදරණීය සැමියා ජනප්‍රිය මාධ්‍යවේදියෙක්, ඒ බව දැනෙන්නේ කොහොමද?


මම නම් පෞද්ගලිකව ජනප්‍රිය කිසිම කෙනෙක්ට කැමති නැහැ. මුලින්ම කැමතිද අහද්දිත් අකමැති වුණේ එයා ජනප්‍රිය කෙනෙක් නිසා. අපි යාළුවෝ වෙලා ඉන්න කාලෙත් මට තිබ්බ එකම කරදරය තමයි අපිට නිදහසේ කොහෙවත් ඇවිදින්න බැහැ. ෆොටෝ දාන්න බැහැ. නමුත් කාලයත් එක්ක මම තේරුම් ගත්තා ඒක එයාට ලැබෙන ආදරයක් කියන එක. එයා එක්ක ඇවිත් කතා කරන විදිය, එයාට ආදරේ කරන විදිය දැක්කම මම ඒ දේවල් සතුටින් භාර ගත්තා. මම එයාට කැමති වුණේ එයා ජනප්‍රිය කෙනෙක් නිසා නෙවෙයි. එයා ළඟ තියෙන ආදරණීය මනුස්සකමට.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගේ කැමැත්තට තිබ්බ අනාගත බලාපොරොත්තු කලින් තිබ්බා. නමුත් හසිත එක්ක යාළුවුණාට පස්සේ එයාගේ දේවල් වලට උදව් කරගෙන එයාගේ ගමනට මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන එක තමයි දැන් මගේ එකම බලාපොරොත්තුව.

 


අනුෂා රණසිංහ




Previous Post Next Post