නිළියක් පෙම්වතිය හෝ බිරිය කරගන්නේ නැහැ-යශ් වීරසිංහ



පුංචි තිරයේ පෙම්වතාගේ චරිතය වගේම දුෂ්ටයගේ චරිතය රඟපාන නළුවෙක්වන යශ් වීරසිංහට දෛවයේ සරදමකට මෙන් රංගන ක්ෂේත්‍රය ගැන කතා කරන main character ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබිලා තියනවා. ඒ නිළියක් සමග පෙමෙන් ⁣බැඳෙමින් නළුවෙක් වෙන්න උත්සාහ කරන අපූරු තරුණයෙක් විදිහට. ඉතින් මෙතෙක් නොදුටු යශ්ගේ වෙනස්ම රංගන විලාසයකුත් එක්ක රංගන ක්ෂේත්‍රයේ නළුවෙක් විදිහට රඟපාන්න සිදුවීම ගැන යශ් එක්ක කතා කරන්න අපි හිතුවා.




රංගන ක්ෂේත්‍රය ගැන කතා කරන ටෙලි නාට්‍යයක රඟපාන්න වුණ එක යශ්ගේ දෛවයද ?




නළුවෙක් වෙන්න මම කරපු කැපවීම මහන්සිය උත්සාහය ඒ විදිහටම රඟපාන්න හම්බවුණ ටෙලි නාට්‍යයක් තමයි main character කියන්නෙ. ඉතින් නවක අධ්‍යක්ෂවරයෙක් වන ෂාන් ජයරත්න රංගන ක්ෂේත්‍රය අනුසාරයට අරගෙන ඔහුගේ දෙවෙනි ටෙලි නාට්‍යය හොඳ විදිහට පටන් අරගෙන තියනවා. ඉතින් මට ඇත්තටම සතුටුයි නළුවෙක් වෙන්න කාපු කට්ටට සමාන සිද්ධීන් ඇතුළත් චරිතයක් මට මේ විදිහට නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂකයන්ට ඉදරිපත් කරන්න වුණ එක ගැන.




යශ්ට නළුවෙක් වෙන අදහස ඇති වුණේ කොහොමද ?




පුංචි කාලෙ ඉඳලා මට තිබුණ අදහසක් තමයි කවදා හරි රටේ ජනප්‍රිය නළුවෙක් වෙනවා කියන එක. ඒ අදහස ඇතිවෙන්න ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩි මගේ ලොකු අම්මා වීම හේතුවක් වුණා.




රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩි හරහාද රංගන ක්ෂේත්‍රයට ආවෙ ?




අනේ නැහැ. ලොකු අම්මා රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වුණාට එයා දන්න සම්බන්ධතාවලින් කවදාවත් මාව ක්ෂේත්‍රයට යොමු කරන්න උත්සාහ කළේ නැහැ. ඒ වගේම ඇයගෙන් මම එහෙම උදව්වක් බලාපොරොත්තු වුණෙත් නැහැ. නළුවෙක් වෙන්න නම් රංගනය ඉගෙන⁣ගෙන ක්ෂේත්‍රයට පිවිසිලා මුල ඉඳන් වැඩකරන්න ඕන කියන මතයක තමයි ලොකු අම්මා ඉන්නෙ. ඒ විදිහට මුල ඉඳලා මහන්සිවෙලා ක්ෂේත්‍රයේ ඉදිරියට ඇවිත් නළුවෙක් විදිහට හදාගත්ත අනන්‍යතාවකුයි මට තියෙන්නෙ.




ගෑනු ළමයින්ට සාපේක්ෂව පිරිමි ළමයින්ට නළුවො වෙන්න අමාරු තත්ත්වයක් තියනවද ?




ඔව්. රඟපාන්න නළු නිළියො තෝරගන්න තිර පරීක්ෂණවලදි ගොඩක් වෙලාවට ගෑනු ළමයි තේරිලා පිරිමි ළමයි කැපිලා යන වෙලාවල් තියනවා. ඒක කලා ක්ෂේත්‍රයේ ලොකු ඛේදවාචකයක්. හැබැයි ඉතින් මොන ක්‍රමයකින් ක්ෂේත්‍රයට ආවත් පැවැත්ම තීරණය වෙන්නෙ රංගන හැකියාව මත.




ක්ෂේත්‍රය තුළ යශ් පැවැත්ම හදාගත්තෙ කොහොමද ?




රංගන ගැන තියන උණ නිසා තමයි ක්ෂේත්‍රය තුළ පැවැත්ම හදාගන්න පුළුවන් වුණේ. කවදාහරි රටේ ජනප්‍රිය නළුවෙක් වෙනවා කියන ඉලක්කය තියාගෙන රංගනය ගැන උනන්දුවෙන් ආසාවෙන් මහන්සිවෙලා වැඩ කළා. නළුවෙක් වෙන්න මම එදා කාපු කට්ට අද main character ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න පුළුවන් වෙලා තියනවා.




අනුරාධව හම්බ වුණේ කොහොමද ?




දැනට අවුරුදු නවයකට විතර කලින් නළු නිළියො තෝරගන්න තිර පරීක්ෂණයකදි තමයි අනුරාධව මට ඉස්සෙල්ලාම හම්බවෙන්නෙ. අපි දෙන්නම ඒ තිර පරීක්ෂණයෙන් තේරිලා එකට රඟපෑවා. එතන ඉඳලා අනුරාධයි මායි හොඳ යාළුවො වෙනවා. මේ වෙද්දි මම අනුරාධා එක්ක ටෙලි නාට්‍යය පහක් විතර රඟපාලා තියනවා.




Main Character වෙනුවෙන් අනුරාධා එක්ක සූදානම් වුණේ කොහොමද ?




Main character අධ්‍යක්ෂ ෂාන් අනුරාධවයි මාවයි ප්‍රධාන චරිත රඟපාන්න තෝරගත්තා කිව්වහම මම ගොඩක් සතුටු වුණා. ඒ මගේ හොඳම යාළුවා අනූ එක්ක රඟපානවා කියන්නෙ මේ ටෙලි නාට්‍යය සාර්ථක කරගන්න පුළුවන්කම තියන නිසා. ඉතින් පිටපත හම්බවුණහම අනුයි මායි කතාබහ කරගෙන ගොඩක් හොඳට රංගනය ඉදිරිපත් කරනවා.




නිළියක්ව පෙම්වතිය කරගෙන තියනවද ?




ක්ෂේත්‍රයේ ඉන්න නිළියන්ව යළුවො විදිහට ආශ්‍රය කළාට මේ තාක් මම කාවවත් පෙම්වතිය කරගෙන නැහැ. ඉදිරියෙදිවත් නිළියක්ව පෙම්වතිය හෝ බිරිඳ කරගන්න අදහසක් නැහැ.




හැබැයි පහුගිය කාලෙ නිළියක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියනවා කියලා කටකතා පැතිරුණා..




කටකතා නම් ඉතින් ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ ඉඳලා පැතිරුණා. අනුරාධා එක්ක නිතරම ටෙලි නාට්‍යයවල රඟපානකොට අපි දෙන්නා ජෝඩු කරලා කටකතා පැතිරුණා. ඊට පස්සෙ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ රඟපානකොට සචින්තනී එක්ක ජෝඩු කරලා කටකතා හැදුණා. මම හිතන්නෙ main character එක්ක ආපහු අනුරාධා එක්ක ජෝඩු කරලා කටකතා පැතිරෙන්න ඉඩ තියනවා. ⁣කටකතා කොහොම පැතිරුණත් මේ අය මගේ හොඳම යාළුවො මිසක පෙම්වතියො නෙමෙයි.




කටකතා ⁣නිසා පෞද්ගලික ප්‍රතිරූපයට හානියක් නැද්ද ?




සමහර වෙලාවට කටකතා නිසා හානිවෙන වෙලාවල් තියනවා. ප්‍රේම සම්බන්ධයක් නැහැ කියලා මමයි ඒ නිළියයි දන්නවා වුණාට අපේ නෑදෑයො යාළුවො දන්නෙ නැහැනෙ. ඉතින් සමහරු කටකතා විශ්වාස කරන නිසා අපි අපහසුතාවට ලක්වෙන වෙලාවල් තියනවා.




ඇයි නිළියකට ආදරය කරන්න අකැමැති ?




තිරයෙදි නිළියන්ව පෙම්වතිය කරගත්තට ජීවිතය බෙදාගන්න නිළියක්ව ගැළපෙනවා කියලා මම හිතන්නෙ නැහැ. නිළියකටයි මටයි එකට ජීවිත ගමන යන්න අමාරු නිසා කලා ක්ෂේත්‍රයෙන් පිට සරල ගෑනු ළමයෙක් එක්ක විවාහ වෙන්නයි මගේ අදහස තියෙන්නෙ.



Previous Post Next Post