ද ගේම් වෙනුවෙන් එකපාරක් නම් සූර්යා වෙනුවෙන් දහපාරක් මහන්සි වුණා -ජනිත් වික්‍රමගේ



 ඔහු ලාංකේය රසික හදවත් තුළ නොමැකෙන මං සලකුණු තැබූ තරුණ රංගන ශිල්පියෙක්. එදත් අදත් කලා ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබන මේ අපූරු රංගන ශිල්පියා, ජනිත් වික්‍රමගේ මෙවර  අදහස් එක් කළේ මෙලෙසින්. මේ දිනවල ඔබේ කලා කටයුතු ගැන මතක් කළොත්?


මේ දවස්වල ‘සූර්යා’ කියන අපේ අලුත් චිත්‍රපටයේ වැඩ කටයුතු කළා. ඒ චිත්‍රපටයේ හඬ කැවීම් කටයුතු පසුගිය දිනවල අවසන් වුණා. දැන් ඒකෙ අවසාන වැඩ කටයුතු ටික තමයි තිබෙන්නේ. මැතිවරණයක් එන නිසා චිත්‍රපටය තිරගත කරන්න බලාපොරොත්තුවක් නැහැ. මැතිවරණය අවසන් වුණු ගමන්ම ප්‍රේක්ෂකයාට ‘සූර්යා’ විඳගන්න වැඩ කටයුතු මේ දිනවල ලැහැස්ති කරගෙන යනවා.


සූර්යා චිත්‍රපටය නිෂ්පාදනය කළ දිනේෂ් මුතුගලගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


ඔහු අපත් සමඟ සම්බන්ධ වීමත් බොහොම ලස්සන කතන්දරයක්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණේ මහේෂ් මුණසිංහ. මීට කලින් කරපු රෂ් චිත්‍රපටයත් මහේෂ් මුණසිංහගේ. ඒ චිත්‍රපටයට උද්දිකයි, සාරංගයි, මමයි රංගනයෙන් දායක වුණා. මේ චිත්‍රපටයේ කතා තේමාව ගොඩක් විශේෂයි කියලා මං හිතනවා. ඇත්තටම පවුලේ කතාවක් සහ කාලීන මාතෘකාවක්. ගොඩක් චිත්‍රපට නිකුත් වෙනකොට කියන කතාවක් තමයි මේ චිත්‍රපටය පවුලේ කතාවක් සහ කාලීන මාතෘකාවක් සමඟ නිර්මාණය වුණු චිත්‍රපටයක් කියන කාරණය. නමුත් මේ වැඩේ බැලුවම ඔයාලට තේරෙයි මේ ඇත්තටම පවුලේ කතාවක් කියන එක.


මහේෂ්ට අවශ්‍ය වුණේ කතා තේමාව ගැන කතා කරන්න පුළුවන් නිෂ්පාදකවරයෙක්. චිත්‍රපට සඳහා නිෂ්පාදකවරු සම්බන්ධ කර ගැනීමේදී අධ්‍යක්ෂවරයාට විවිධ චෝදනා නැඟෙනවා. නිෂ්පාදකවරු විදිහට කළු සල්ලි හොයන නොයෙකුත් ව්‍යාපාර කරන අය අපිට ඕනෑතරම් හොයාගන්න පුළුවන්. මහේෂ්ට නිතරම අවශ්‍ය වුණේ හරි මැසේජ් එකක් සමාජයට දෙන්න පුළුවන් චරිතයක්. අපිත් එක්ක මුතුගල සර් එකතු වෙන්නේ ඒ විධියට.


නිෂ්පාදකවරයා ලෙස දිනේෂ් මුතුගල සම්බන්ධ කර ගැනීමේ දී ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?


මුතුගල සර් හැම වෙලාවකම කියපු කතාවක් තමයි. මේ චාන්ස් එක අපට දෙන්නේ අපේ කලින් කරපු වැඩවල, අපේ තිබ්බ අවංකත්වය සහ අපේ කැපවීම දැකපු නිසා කියලා. මීට කලින් මුතුගල සර්ට චිත්‍රපට සහ කලා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බොහොමයක් ආරාධනා ලැබිලා තිබුණා. නමුත් ඉතින් ඔහු මුලින්ම අපිත් එක්කම මේ වැඩේට සම්බන්ධ වීම අපි ලද භාග්‍යයක් සහ ආශිර්වාදයක් කියලා මට හිතෙනවා. අපි කරපු දේවල්වලට අපිට දෙයක් ලැබුණා කියන හැඟීම තමයි මුලින්ම අපට දැනුණේ.


මේ චිත්‍රපටයේ අනෙක් චරිතවලින් ඔබට ලැබුණු සහයෝගය කොහොමද?


මේ චිත්‍රපටයේ ප්‍රබල චරිතයක් තමයි අම්මාගේ චරිතය. අම්මාගේ චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ දිල්හානි ඒකනායක. තාත්තාගේ චරිතයට මයික් ෆර්නැන්ඩෝ රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ලකී ඩයස්, සුදීක්ෂා, සමාධි වගේම තවත් චරිත රාශියක් අපත් සමඟ එකතු වුණා. අජිත් වීරසිංහ, සනත් ගුණතිලක, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ කමල් දේශප්‍රිය වගේ දැවැන්තයන් අපි සමඟ එකතු වුණා.


ඉතින් ඒ හැම කෙනාටම ඉතාමත් හොඳ අත්දැකීමක් මේ නිර්මාණය තුළින් ලැබුණා. මේ නිර්මාණයට අපි හැමෝම ගොඩක් මහන්සි වුණා. මේක බොහොම ලස්සන නිර්මාණයක් විදිහට කරගන්න අපට පුළුවන් වුණා.


සූර්යා චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර සිදුවුණ අමතක නොවන සිදුවීම් ගැනත් මතක් කරමුද?


මේ චිත්‍රපටය බොහොම අධිවේගයෙන් කරපු චිත්‍රපටයක්. අපිට තිබුණ දවස් 25ට 30ට අති ප්‍රබල වැඩ ගණනාවක්ම අපි කරා. හරි තෙහෙට්ටු වෙන ෂෙඩූල් එකක් තමයි අපිට තිබුණේ. මම එක දවසයි විවේකයක් ගත්තේ. මේ චිත්‍රපටය බොහොම අභියෝගාත්මක නිර්මාණයක්. චිත්‍රපටය පටන් ගන්න මාසයකට දෙකකට කලින් ඉඳන් මම මගේ ශරීරය සම්බන්ධයෙනුත් මහන්සි වුණා. මේ චරිතයේ අවු. 18, 19 වගේ අවධියක් තිබුණා. ඒ චරිතයේ සෙකන්ඩ් ස්ටේජ් එකේදී තමයි සාමාන්‍යයෙන් අවු.25 ක වගේ තරුණයෙක් බවට පත් වෙන්නේ. ඇත්තටම ඒ වගේ අභියෝගාත්මක සිදුවීම් තමයි මෙහි තිබෙන්නේ.


ඔබේ අවසන්වරට තිරගත වූ සුරංග ද අල්විස් විසින් අධ්‍යක්ෂණය කළ ‘ද ගේම්’ චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?


ඒක වාර්තාගත චිත්‍රපටයක්. අපි ඒක රිලීස් කළේ කොවිඩ් කාලේ. ඇත්තටම ඒ ෆිල්ම් එකට ලැබුණ ප්‍රතිචාර ගොඩක් හොඳයි. රන්ජන් රාමනායක මහතා සිරගත වෙලා ඉන්නකොට තමයි අපි ෆිල්ම් එක රිලීස් කළේ. ඒ ෆිල්ම් එකත් ලොකු අත්දැකීමක්. ‘ද ගේම්’ සහ ‘සූර්යා’ ෆිල්ම් දෙක අතර කාලයේ මට චිත්‍රපට පහකට ආරාධනා ලැබුණා. නමුත් මම ඊළඟට කරනවා නම් නිර්මාණයක් ඒක කලින් කරපු නිර්මාණයට වඩා හොඳ දෙයක් වෙන්න ඕන. ජැක්සන් ඇන්තනී මහත්මාත් එක්ක නිර්මාණයක් කරන්න ලැහැස්ති කරමින් හිටියා. ඔහුගේ හදිසි අභාවයත් එක්ක ඒ වැඩේ මඟදී නවතන්න වුණා. මම ‘ද ගේම්’ වෙනුවෙන් එක පාරක් මහන්සි වුණා නම් සූර්යා වෙනුවෙන් දහපාරක් මහන්සි වෙලා තිබෙනවා. ඉතින් මේ නිර්මාණයත් හැමෝම ආදරයෙන් වැලඳ ගනීවි කියන විශ්වාසය මට තිබෙනවා.


ඔබ රංගනයේ දී චරිත තෝරා ගැනීමක් සිදු කරනවාද?


චරිත තෝරා බේරා ගැනීමක් අනිවාර්යයෙන්ම කරනවා. හුඟක් වෙලාවට මට අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් තමයි කරන්න වෙන්නේ. මම කෝඩිනේට් කරලම මට අවශ්‍ය නිර්මාණය ඒ අවුරුද්ද ඇතුළත කර ගන්නවා කියන මතයේ ඉන්නවා. අපට ආරාධනා ලැබෙනකල් හිටියොත් අපට අවශ්‍ය නිර්මාණය කර ගන්න ලැබෙන්නේ නැහැ. කලින් කරපු නිර්මාණයට හෝ චරිතයට වඩා හැම වෙලේම ඊළඟ නිර්මාණය පාඨකයන්ට දැනෙයි කියලා මට හිතුණොත් තමයි මම සම්බන්ධ වෙන්නෙ.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?


සූර්යාවලින් පසුව තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒකත් ඉතාමත් දැවැන්ත නිෂ්පාදකවරයෙකුගේ නිෂ්පාදන කටයුත්තක්. සූර්යා කියන්නේ ඉතාමත් දැවැන්ත නිර්මාණයක්. සූර්යයාගෙන් පසුව ආරාධනා ලැබුණ නිර්මාණයත්් ඊටත් වඩා දැවැන්ත වැඩක්. ඒ අභියෝගයට ලැහැස්ති වෙනවා. දැනටත් චිත්‍රපට දෙකක් විතර තිබෙනවා මට කරන්න. ‘ගේම් ටූ’ ෆිල්ම් එක සම්බන්ධයෙනුත් කතා කරා. මම ඊළඟ මාස හය ඇතුළත තවත් චිත්‍රපටයකට දායක වෙන්න වුවමනාවෙන් සිටිනවා.


රුවිනි අමරකෝන්  



Previous Post Next Post