මම මෙතෙක් කරපු හැම චරිතයකටම ආදරෙයි -මීනා කුමාරි




ඇය වේදිකාව තමන්ගේ රංගන ක්ෂේත්‍රයට පූර්විකාව කරගනිමින් රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ අතර කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේ රංගන ප්‍රතිභාව හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තාය. විවිධ ආදරණීය චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඒ සුන්දර රංගන ශිල්පිනිය මීනා කුමාරිය. අද  එකතු වන්නේ ඔබ ආදරය කරන ඇයයි.


කොහොමද මේ දවස්වල විස්තර


මේ දවස්වල අලුත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා තරමක් කාර්යබහුලයි. ජීවිතේ හොඳින් සතුටින් ගෙවෙනවා.


වසූදා ඔබේ ජීවිතයේ සන්ධිස්ථානයක් වුණා නේද?


ඇත්තටම වසූදා ටෙලි නාට්‍යය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. වසූදා කියන්නේ ඉන්දියානු නිෂ්්පාදනයක්. ඔවුන් ලංකාවට ඇවිත් සිදු කරපු නළුවරණයකින් අනතුරුව තමයි මාව මේ නාට්‍ය සඳහා සම්බන්ධ කරගත්තේ. ඉතින් වසූදා නාට්‍ය කියන්නේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වූ නාට්‍යයක්. ඇත්තටම වසූදා නාට්‍ය කියන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වගේම මාව ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තු නාට්‍ය කියලා කිව්වත් වැරැදි නැහැ.


රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ ඔබ පණ පොවන කන්‍යා සොහොයුරියගේ චරිතය එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්.


ඇත්තටම රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයටත්, මගේ චරිතයටත් ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මෙම නාට්‍යයේ මගේ චරිතය පිළිබඳව කතා කළොත් ඇත්තටම මටත් මේ චරිතය වෙනස් අත්දැකීමක් වුණා. මම සාමාන්‍ය ජීවිතයෙන් මිදිලා මේ චරිතයට අවතීර්ණ වන විට හරිම වෙනස් විදියේ හැඟීමක් මට දැනෙනවා. ඇත්තටම කන්‍යා සොහොයුරියකගේ චරිතයක් නිසා ඉතාම විනයකින්, හික්මීමකින් සහ හදවතින්ම ඇති වන භක්තියකින් චරිතය කළ යුතුයි. මට රූපගත කිරීම් කටයුතුවලදීත් එම ස්ථානයේ සිටින පූජකවරුන්ගෙන් සහ කන්‍යා සොහොයුරියන්ගෙන් උපකාර ලැබෙනවා. ඉතින් මම හිතනවා මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා. ඇත්තටම කන්‍යා සොහොයුරියකගේ චරිතයකට පණ පෙවීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා.


ඔබ මෙතෙක් දායක වී ඇති චරිත අතරින් වඩාත් කැමැති චරිත තිබෙනවාද?


මෙතෙක් කල් මම රංගනයෙන් දායක වුණු සෑම චරිතයකටම මම කැමැත්තක් දක්වනවා. ඒ හැම චරිතයකටම යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම නාඩගම්කාරයෝ නාට්‍යයේ අම්මාගේ චරිතයට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. එහෙම බැලුවම මම මෙතෙක් කළ සෑම චරිතයකටම මම කැමැතියි ඒ වගේම මම හිතනවා ඒ චරිතවලට උපරිම සාධාරණයක් කළා කියලා.


ඔබ වැඩි වශයෙන් දායක වන්නේ මවකගේ චරිතයට. ඒ සම්බන්ධව අදහස් දැක්වුවහොත්,


මම පෞද්ගලිකව දියණියකගේ මවක් නිසා මවගේ චරිතය නිරූපණය කිරීමට කැමැත්තක් දක්වනවා. වර්තමානයේදී ඇතැම් මවුවරුන් අතර මවු ගුණාංග හීන වී යන බවක් දකින්න පුළුවන්. ඉතින් එවැනි මවුවරුන්ට තමන්ගේ යහගුණ වර්ධනය කර ගැනීමට උපකාරී වන චරිත නිරූපණය කිරීමට මම කැමැත්තක් දක්වනවා.


ඔබ රංගනයට ප්‍රවිෂ්ට වීමට පෙර ගුවන් හමුදාවේ සේවය කළා. ඒ මතකය අවදි කළොත්…


මම පාසලෙන් ඉවත් වුණු කාලයේදීමයි හමුදාවට සම්බන්ධ වන්නේ. මම අවුරුදු පහක සේවා කාලයකින් පසුව ගුවන් හමුදාවෙන් ඉවත් වුණා. මම ඉන් අනතුරුව තමයි කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙන්නේ. ගුවන් හමුදාවේ සිටි කාලයේදී හොඳම ගුවන් කාන්තාව විදියට සම්මානයක් පවා ලැබිලා තිබෙනවා. ඇත්තටම ඒ අත්දැකීම් ජීවිතේට ගොඩක් වටිනවා. ඉතින් ඒ කාලය සතුටින් ඉතාම හොඳ විදියට ගෙවිලා ගියා.


ඔබ බැට්මින්ටන් ශූරියක් නේද?


මම මුල් කාලයේදී කලාවට වඩා ක්‍රීඩා කටයුතුවල නිරත වුණා. 1986 දී මට ලංකාවේ විවෘත බැට්මින්ටන් ශූරතාව දිනා ගැනීමට හැකි වුණා. ඇත්තටම ක්‍රීඩා කටයුතුවලට කැමැත්තක් දක්වපු මම රංගනයට ප්‍රවිෂ්ට වුණේ අහම්බෙන්.


මම පුංචි කාලයේ සිට සංගීතය සහ නැටුම් යන විෂයන් හදාරනු ලැබුවා. පාසල් කාලයේදී මුලින්ම සහභාගි වුණු වේදිකා නාට්‍යයෙන් මට හොඳම නිළිය සම්මානයත් හිමි වුණා. ඒ දේත් සමඟ රංගනයට සම්බන්ධ වීමට පුංචි උත්තේජනයක් ලැබුණා. පසුව සුගතපාල ද සිල්වා මහතාගේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා කටයුතු කළා. මම ඊට පසුව තමයි ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණේ.


මෙගා ටෙලිනාට්‍ය සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?


බොහෝ දෙනෙක් මුල් කාලයේදී මෙගා නාට්‍ය කලාව අපිට නොගැළපෙන බවට අදහස් දැක්වූවා. නමුත් මම හිතන විදියට වැදගත් වන්නේ නාට්‍යයකින් සමාජයට දෙන පණිවිඩය සහ එය ගුණාත්මකද නැත්ද කියන එක.


ක්ෂේත්‍රයට සම්බන්ධ ව සිටි පරපුර පිළිබඳව ඔබේ අදහස කුමක්ද?


ඇත්තටම වර්තමානයේ දක්ෂ රංගන ශිල්පීන් ඉන්නවා. ඒ වගේම වර්තමානයේදී රංගන ක්ෂේත්‍රයට පහසුවෙන් ප්‍රවිෂ්ට විය හැකි මංපෙත් විවර වී තිබෙනවා. මම හිතනවා ක්ෂේත්‍රයට සම්බන්ධ වන ආධුනිකයන් වේදිකාවෙන් අත්දැකීම් ලබා ගන්නවා නම් ඔවුන්ට දීර්ඝ ගමනක් තිබේවි කියලා.


ධනංජනා රාජපක්ෂ



Previous Post Next Post