පුංචි නැත්නම් අද මම මෙතැන නෑ -සදිත්මා සතරසිංහ

 



ඇය රසික හදවත් තුළ නොමැකෙන මතක සටහන් තැබූ පුංචි සුරංගනාවියක්. රංගනයට උපන් හපන්කම් දැක්වූ දඟකාර, හැඩකාර ඇය කලා ලොවට දිදුලන මාණික්‍යයක්. සිය දස්කම් විදහා දක්වමින් කිහිපවරක්ම සම්මාන රැසක් හිමි කරගත් සහේලි සදිත්මා සතරසිංහ මෙවර  අප සමඟ එක් වුණා. ඉතින් සහේලි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?


හොඳින් මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම “මන්දාරා” චිත්‍රපටයේ වැඩකටයුතුත් එක්ක සතුටින් ඉන්නවා. ඒ අතරතුරේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් තමයි ගොඩක්ම කාලය නම් ගත වෙන්නේ.


ඔබ රංගනයෙන් දායක වූ ළඟදීම තිරගත වීමට නියමිත “මන්දාරා” චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියමුකෝ?


මම “මන්දාරා” චිත්‍රපටයේ පණපොවන්නේ යශෝරා කියන චරිතයට. හරියටම කිව්වොත් උදයශංග, භාරත, මන්දාරා කියන චරිත තුන ඇතුළුව සෑම චරිතයක් සමඟම මේ යශෝරාගේ චරිතය සම්බන්ධ වෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ මාමාගේ කලින් නිර්මාණ කීපයකටම මං රංගනයෙන් දායක වුණා. සකූගේ කතාව, සකුගේ ලෝකය, දේදුනු ආකාසේ කියන නිර්මාණත් හරි ලස්සනයි. ඒ නිර්මාණවලට දායක වුණා වගේම හරිම ආසාවෙන් තමයි මම මන්දාරා චිත්‍රපටයටත් දායක වුණේ. මන්දාරා ෂූට් කරද්දි මට අවුරුදු ‍ෙදාළහයි. ඉතින් දැන් අවුරුදු දාසයක්. චිත්‍රපටය බලද්දි ඒ මමද කියලා හිතෙන තරමටම ඒක ලස්සන නිර්මාණයක්.


 මන්දාරා චිත්‍රපටයේ ඔබට ලැබුණු චරිතය මීට පෙර ඔබ රංගනයෙන් දායක වූ චරිතවලට වඩා වෙනස් චරිතයක්ද?


මම මීට කලින් රංගනයෙන් දායක වුණේ සකූ, තාරා වගේ හරිම අහිංසක චරිතවලට. මේ චරිතයේ ටිකක් වෙනසක් තිබෙනවා. යශෝරා කියන්නේ හරිම පොහොසත් පවුලක ඉපදුණු ළමයෙක්. භාරත කියන චරිතයේ බලපෑමත් එක්ක තමයි යශෝරාගේ ජීවිත කතාව උඩු යටිකුරු වෙන්නේ. භාරත කියන චරිතයට රංගනයෙන් දායක වුණේ බිමල් ජයකොඩි මාමා. ඒ හැමෝම මට ගොඩක් සපෝර්ට් කළා. ඉතින් ලස්සන වැඩක් අවසානයේ කරන්න පුළුවන් වුණා.


ඔබ කිහිපවරක්ම සම්මාන හිමිකරගත් ළමා නිළියක්. ඒ ගැනත් මතක් කරමු?


මම මුලින්ම රංගනයට ආවේ වෙළෙඳ දැන්වීම්වලින්. අවුරුදු හයේදී තමයි මම පළමු වරට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ. ඒ තමයි රවින්ද්‍ර විජේරත්න මාමාගේ සුජාතා කියන නිර්මාණය. පසුව මම ආනන්ද අබේනායක මාමාගේ “තාරා” කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. තාරා ටෙලි නාට්‍යයේ රංගනයට 2017දී සුමති ටෙලි සම්මාන උළෙලේ ළමා තාරකාව සහ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී කුසලතා සම්මානය හිමි වුණා. ඒ වගේම බන්ධනය චිත්‍රපටය රිලීස් වුණ අවුරුද්දට පසු අවුරුද්දේ ඒ වෙනුවෙන් සරසවි සම්මාන උළෙලේ කුසලතා සම්මානය සහ සිග්නීස් සම්මාන උළෙලේ කුසලතා සම්මානයකුත් මට ලැබුණා. සුජාතා අත්තනායක නැන්දා හරහා තමයි මට උදයකාන්ත මාමාගේ බන්ධනය චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ.


 සහේලි ටික කාලයක් රංගන ක්ෂේත්‍රයේ දකින්න ලැබුණේ නැහැ නේද?


2020 හෝ 2021 වගේ කාලවලදී මන්දාරම් ෂූටින් කළා. ඊට පස්සේ කොරෝනා වසංගතය නිසා රංගනයට ටිකක් බාධා වුණා. ඒත් එක්කම ප්‍රියන්ත මාමාගේ සකූගේ ලෝකය ෂූට් කළා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය නිසා මේ ක්ෂේත්‍රයෙන් පොඩි විරාමයක් ගත්තා.


රංගනයට අමතරව ඔබට තිබෙන වෙනත් දක්ෂතා මොනවාද?


සකූගේ කතාවේ, සකූගේ ලෝකයේ රංගනයේදී මට ලස්සනට සිංදු කියන්න පුළුවන් වුණාට මට සිංදු කියන්න බැහැ. ඇත්තටම කිව්වොත් පුළුවන්ද කියලා දන්නේ නැහැ. හඬකැවීම්වලින් පොඩි කාලේ ඉඳලම සත්‍යා කියලා ඩ්‍රාමා එකකට සම්බන්ධ වුණා. ස්කූල් එකේදී නම් හැමදාම වගේ ඩ්‍රාමා කරන්න යනවා. ඒකට මං හරි ආසයි.


ඉතින් සහේලිගේ පෞද්ගලික තොරතුරු බිඳක් කිව්වොත්?


මම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ තමයි ඉගෙනුම ලබන්නේ. මගේ තාත්තා වසන්ත සතරසිංහ. රෝයල් කොලේජ් එකේ ක්‍රීඩා පුහුණුකරුවෙක්. අම්මා බිමාලි කළුආරච්චි. මට මල්ලියකුයි නංගියෙකුයි ඉන්නවා.


ඔබේ පුංචි රංගන ශිල්පිනියක්. ඇයගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?


මගේ පුංචි තමයි ධනංජි තාරුකා. පුංචි තමයි පොඩි කාලේ ඉඳන් මගේ පිටි පස්සෙන් ඉඳගෙන සහේලි මෙහෙම කරන්න කිය කියා මට හැමදේම කියලා දුන්නේ. අම්මට වඩා රංගන කටයුතුවලට උපදෙස් දුන්නෙ පුංචි. මෙහෙම කළොත් ලස්සනට තියේවි කියලා පුංචි තමයි නිතරම මට උදවු කළේ. පුංචි නැත්නම් අද රංගන කටයුතුවල මමත් නෑ. මේ තරම් දුරක් මගේ කලා දිවියේ එන්න ලැබුණේ මගේ පුංචිගේ සහයෝගය නිසා තමයි.


සහේලිගේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මන්දාරා ෂූට් කරද්දි නම් අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. මගේ කිරි අම්මා තමයි හැමවෙලේම ෂූටිං කරද්දි මාත් එක්ක ගියේ. ෂූටිංවලට ගිහිල්ලම මගේ කිරිඅම්මා කිව්වම හැමෝම දන්නවා.


ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ රංගනයේ යෙදෙන විටදී ලැබුණු අත්දැකීම් ගැනත් මතක් කරමු?


අවුරුදු හයේ ඉඳන් රංගන කටයුතුවලට මම දායක වෙලා තිබෙනවා. ඉතින් මේ වෙනකොට මට ගොඩක් ප්‍රවීණ නැන්දල මාමලාගෙන් සහයෝගය ලැබිලා තිබෙනවා. ඒ හැමෝම මට හරි ආදරයෙන් සපෝර්ට් කළා. මන්දාරා ෆිල්ම් එක ෂූට් කරද්දිත් ඒ හැමෝගෙන්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ඒ නිසා හරිම පහසුවෙන් රූගත කිරීම් කළා. බිමල් ජයකොඩි මාමා, චුලක්ෂි රණතුංග නැන්දා, සේමිණී ඉද්දමල්ගොඩ නැන්දා, මේඝ මාමා ඇතුළු හැමෝම හරිම ආදරයෙන් මං මතක් කරනවා.


සහේලිට රංගන කටයුතුවලට පාසලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ටීචර්ස්ලා වගේම යහළුවොත් ගොඩක් උදවු කරනවා. වැඩ අතපසු වුණාම ඒ දේවල් මට කියලා දෙනවා. මම ටික කාලයක් ක්‍ෂේ්ත්‍රයේ නිහඬව හිටියා. එක පාරටම මන්දාරා චිත්‍රපටය එක්ක ලොකු කතාබහක් ස්කූල් එකෙත් ඇතිවෙලා තිබෙනවා. දැන් හැමෝම කතා වෙන්නේ “මන්දාරා” ගැන. ඉතින් මට හරිම සතුටුයි.


දුවගේ අනාගත බලාපොරොත්තු ගැනත් කියමුද?


 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට සාර්ථකව මුහුණදෙන එක තමයි දැනට තිබෙන ලොකුම බලාපොරොත්තුව. මම හැමදාම කියනවා වගේ යහපත් පුරවැසියෙක් වෙන්න තමයි කල්පනා කරන්නේ. රංගන ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.


රුවිනි අමරකෝන්



Previous Post Next Post