චිත්‍රපට සංස්ථාව නිහඬ පිළිවෙත අතහැරියොත් හොඳයි- ප්‍රියන්ත කොළඹගේ



ඔහු ලාංකේය සිනමාව තුළ තම අනන්‍යතාව තහවුරු කළ නිර්මාණකරුවෙකි. ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ වැනි සිනමාපට තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහුගේ නවතම සිනමාපටය වන මන්දාරා ළඟදීම තිරගත වීමට නියමිතයි. අද  එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස් ඉතා කාර්යබහුල අන්දමින් ගෙවී යනවා. මගේ මන්දාරා චිත්‍රපටය ඉක්මනින්ම තිරගත වීමට නියමිතයි. ඒ වගේම මේ දිනවල සූරිය සුළඟ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා. ඊට අමතරව නිෂ්පාදක මහේන් පෙරේරා සමඟ තවත් චිත්‍රපටයක වැඩ ආරම්භ කළා. මේ  වැඩ කටයුතු සමඟ තමයි කාලය ගෙවී යන්නේ.


මන්දාරා චිත්‍රපටය පිළිබඳව කතා කරනවා නම්


මන්දාරා කියන්නේ මට විශේෂ චිත්‍රපටයක්. මම නිර්මාණය කළ අනෙක් චිත්‍රපටවලට සපුරාම වෙනස් ආකාරයක චිත්‍රපටයක් තමයි මන්දාරා කියන්නේ. මම සහ වජිර කස්තුරි මෙහි තිර රචනය කළේ ටිකක් වෙනස් ආකාරයකට. තිරපිටපත් රචනයේදී භාවිත කරන ඇඩ්වාන්ස් ටෙක්නික් එකක් වන ලේයරින් ක්‍රමයට තමයි අපි මේක රචනා කළේ. අනෙක් වැදගත් දෙය තමයි අපි මේ චිත්‍රපටය රූගත කිරීම සඳහා යොදා ගත්තේ එකිනෙකට පරස්පර විරෝධී දර්ශන තල. කොළඹ, ගාලු කොටුව, ගාලුමුව‍ෙදාර, ඇල්ල,


බදුල්ල වගේ එකිනෙකට වෙනස් වටපිටාවල් ගොඩක් මේ චිත්‍රපටය තුළ අපිට දකින්න පුළුවන්. මේ චිත්‍රපටය තුළ කෝච්චියක දර්ශනයක් තිබෙනවා. ඒ සඳහා කොළඹින් වෙනම කෝච්චියක්  අරගෙන ගිහිල්ලා දවස් හතරක් පුරා එහි රූගත කිරීම් සිදු කළා. දෙමෝදර සහ ඇල්ල ප්‍රදේශය තුළ තමයි මේ කොටස් අපි රූගත කළේ. මේ වගේ විශාල පිරිවැයක් වැය කරමින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ. මෙය දැවැන්ත නිර්මාණයක් වේවි යැයි සිතනවා.


ඔබට කලාත්මක සිනමාව මඟ හැරුණාද?


මම නිර්මාණය කරන මේ චිත්‍රපටත් කලාත්මක නිර්මාණ තමයි. දැහැන, විමුක්තිය, අරුමෝසම් වැහි කියන නිර්මාණ සම්භාව්‍ය නිර්මාණ. ආදරණීය කතාවක් තමයි එතැනින් වෙනස් වුණේ. ඒකට සම්මාන ගොඩක් ලැබුණා. මගේ සිනමාපට සිනමාත්මකයි. මගේ නිර්මාණ වාණිජ හෝ කලාත්මක කියලා බෙදන්නේ මම නෙවෙයි වෙනත් පිරිසක්. ඒ අය බෙදන රාමුව ගැන මම දන්නෙ නැහැ. මම දන්නේ සිනමාත්මක සහ එසේ නොවන චිත්‍රපට විතරයි. මම දකින අයුරින් දේදුනු ආකාසේ, ආදරණීය කතාවක් කියන චිත්‍රපට දෙකම සෞන්දර්යාත්මක  චිත්‍රපට. මන්දාරා කියන්නෙත් එවැනි සිනමාත්මක සිනමාපටයක්. ටයිටැනික්, ඇවටාර්වලට පවා අපේ අය වාණිජ චිත්‍රපට කියලා කියාවි. ලෝකය මීට වඩා ගව් ගාණක් උඩින් ඉන්නේ. කවදා හරි ඒ අයත් ඒ අයගේ මිනුම්දඬු වෙනස් කරාවි කියා සිතනවා.


ඔබ නිර්මාණකරණයේ යෙදෙන විට අනුගමනය කරන්නේ වෙනස්ම ආකාරයක්. මේ පිළිබඳවත් කතා කරනවා නම්


අපි කෙනෙක්ව අධ්‍යක්ෂණය කරද්දී බහුවිධ ක්‍රම භාවිත කරනවා. ඒ ඒ ශිල්පියා අනුව මේ ක්‍රමවේදයන් වෙනස් වෙනවා. කුඩා ළමයාගේ පටන් ප්‍රවීණයා දක්වාද ආධුනික රංගන ශිල්පීන් සමඟත් මට වැඩ කරන්න වෙනවා. මේ අවස්ථාවන්වල මම අභියෝගවලට, අවදානම් වලට පවා මුහුණ දුන්නා. මම සමහර වෙලාවට රංගන ශිල්පීන්ට රඟපාන්න එපා කියලා පවා රූගතකිරීම් සිදු කරනවා. විවිධ රංගන ශිල්පීන්ගෙන් රංගනයන් එළියට ගන්න මම විවිධ ක්‍රම භාවිත කරනවා. මම හැමවිටම රංගන ශිල්පීන්ගේ මානසිකත්වය යහපත්ව තබා ගනිමින් තමයි මේ දේවල් සිදු කරන්නේ.


ඔබ ළමා නළු නිළියන් සමඟ බොහෝ සේ කටයුතු කරන කෙනෙක්. මේ අත්දැකීම ගැන කියමු?


මේක හරිම සුන්දර අත්දැකීමක්. මම කිසිම වෙලාවක මාත් සමඟ වැඩ කරන ළමයින්ට ආධුනික විධියට සලකන්නේ නැහැ. මම අරුමෝසම් වැහි නිර්මාණය කරද්දී සම්පූර්ණයෙන්ම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ළමයි අරගෙන තමයි වැඩේ කළේ. මගේ දර්ශන තලයට ආවම මම ඔවුන් දකින්නේ වෘත්තීය රංගන ශිල්පීන් විධියට. මට මං ගැන විශ්වාසයක් තිබෙනවා වගේම මගේ එක්ක වැඩ කරන දරුවාගේ හැකියාව ගැනත් විශ්වාසයක් තිබෙනවා. මා එක්ක වැඩ කළ දරුවන් අද කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිවලින් ඉදිරියට ඇවිල්ලා. ළමයි ගොඩක් දේවල් ඔළුවේ තියාගෙන එන්නෙ නැහැ. ඔවුන් කියන දෙය කරනවා. මේ නිසා මේක හරිම සුන්දර අත්දැකීමක්.


සිනමාවේ අර්බුදය සැබෑ කතාවක්ද?


දේශීය සිනමාව තුළ අර්බුද තිබෙනවා. නැහැයි කියන්න බැහැ. චිත්‍රපට බෙදා හැරීමේ විශාල අර්බුද තිබෙනවා. චිත්‍රපට සංස්ථාවට කරන්න පුළුවන් බොහෝ දේ තිබියදී ඔවුන් නිහඬව ඉන්නවා. සිංහල චිත්‍රපටවලට හිමි විය යුතු සියයට හැටේ ප්‍රදර්ශන කාලය ලබා දෙන්න චිත්‍රපට සංස්ථාව මැදිහත් වන්නේ නැහැ. මේ නිසා බෙදා හැරීමේ ක්‍රමවේදය අක්‍රමවත් වෙලා. සිනමා ශාලාවලට මිනිස්සුන්ට බලන්න පුළුවන් චිත්‍රපට ලැබුණේ නැහැ. මේ නිසා තමයි සිනමා ශාලා කඩන් වැටුණේ. නිර්මාණකරුවන්ගේ වැරදිත් තිබෙනවා. ඔවුන්ට මේ වෙළෙඳපොළ නිවැරදිව වටහා ගන්න බැරි වුණා. නමුත් දැන් මේ දෙය වටහාගත් නිර්මාණකරුවන් රැසක් සිටිනවා. චිත්‍රපට සංස්ථාව ඔය නිහඬ පිළිවෙත අතහැරලා සක්‍රියව  මේ දෙයට දායක වුණොත් අර්බුදය මඟහැරෙයි.


සූරිය සුළඟ ගැන කතා කරමු?


සූරිය සුළඟ මේ දිනවල පසු නිෂ්පාදන අවධියේ තිබෙන්නේ. අපිට තව සියයට තිහක විතර වැඩ කොටසක් තමයි තිබෙන්නේ. මේ වසර අගදී වගේ අපිට සූරිය සුළඟ බලන්න පුළුවන් වෙයි. එක එක තේමාවන්ට සුදුසු කාල තිබෙනවා. මම ඒ කාල බලලා තමයි චිත්‍රපටයක් නිකුත් කරන්නේ. මේ වසරේ අග ඒ කාලය උදාවෙයි.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරනවා නම්?


මන්දාරා චිත්‍රපටය තිරගත වීමත් සමඟම තවත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් සිනමාපටයක් කරන්න ලයිකා මොබයිල්  ආයතනයෙන් ආරාධනාවක් ලැබිලා තිබෙනවා.


ගිහාන් සචින්ත



Previous Post Next Post