හරියට කළා නම් අපි ජනප්‍රියත්වය පස්සෙ දුවන්න ඕන නෑ - චානුක ප්‍රබුද්ධ




ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණයෙන් පුංචි තිරය මත දිගහැරුණු සකූගේ කතාව ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඔහු ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන අසංක සායක්කාරගේ සික්ස්පැක් ටෙලි නිර්මාණයේ කවීන් මෙන්ම පසිඳු නූපේආරච්චිගේ ආයාචනා ටෙලි නිර්මාණයේ අකිල ලෙසින් මේ දිනවල ඔබ හමුවට එයි. එකිනෙකට වෙනස් චරිතයන් ද්විත්වයක් ඔස්සේ එකම දින ඔබ හමුවන ඔහු ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා විසින් කලාව උදෙසාම මැවු අපූරු නිමැවුමකි. මේ දිනවල යෞවන සිත් ඇද බැඳගෙන සිටින ඔහු ජනප්‍රිය රංගන ශිල්පී චානුක ප්‍රබුද්ධය.


චානුක මේ දවස්වල ගොඩක් කාර්‍යබහුල චරිතයක් වගේ?


ඇත්තටම ඔව්. මේ දවස්වල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ටෙලි නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. පසිඳු නූපේආරච්චිගේ ආයාචනා ටෙලි නිර්මාණයේ වගේම අසංක සායක්කාරගේ සික්ස්පැක් සීසන් – 2 ප්‍රධාන චරිතවලින් ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඒ දෙකේම රූගත කිරීම් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ පළමුවැනි සිනමා අත්දැකීමත් ළඟදීම තිරගත වීමට නියමිතයි.


ආයාචනා කියන්නෙ ඔබට වෙනස් අත්දැකීමක් එක්කළ නිර්මාණයක් කිව්වොත්?


ආයාචනා කියන්නෙ නවක අධ්‍යක්ෂවරයෙක් වන පසිඳු නූපේආරච්චිගේ පළමුවෙනි ටෙලි අධ්‍යක්ෂණය. අපිත් නවකයන් නිසා නවක අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන එක පහසුවක් වුණා. ඔහු හොඳ කැමරාකරුවෙක් වගේම හරිම නම්‍යශීලී හැමෝගෙම අදහස් අරගෙන වැඩේට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරන කෙනෙක්. ආයාචනාහි අකිල කියන්නෙ ලෝයර් කෙනෙක්. ඒක අභියෝගයක් වුණා. ලෝයර්ල ඇසුරු කරලා උපදෙස් අරන් ඒ අත්දැකීම ලබාගන්න ලේසි වුණේ නෑ. මගේ යාළුවො ලෝයර්ස්ල කිහිප දෙනෙක් හිටපු නිසා මට පහසුවක් වුණා. ආයාචනා ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගනීවි කියල විශ්වාස කරනවා.


සික්ස්පැක් කියන්නෙත් ඔබ ප්‍රධාන චරිතයකින් එක්වන ජනප්‍රිය ටෙලි නිර්මාණයක්. ඒ හරහා සමාජයට ලොකු පණිවුඩයක් දෙන්න උත්සාහ කරනවා නේද?


ඔව්. සික්ස්පැක් අසංක සායක්කාරගේ අධ්‍යක්ෂණයක්. නිෂ්පාදනය සංතුෂ් වීරමන්. ඔවුන් දෙපළත් මතක් කළ යුතුමයි. පළමු අදියර අතිසාර්ථකව නිමවෙලා ප්‍රේක්ෂකයන්ගේ වගේම චැනල් එකේත් ඉල්ලීම මත මේ දිනවල දෙවැනි අදියරත් විකාශය වෙනවා. විවිධ අදහස්, මති මතාන්තර දරන එකම වයස් කාණ්ඩයේ 6 දෙනෙක් දුක සැප බෙදාගෙන එකම පවුලක් වගේ එකිනෙකාට උදවු කරගෙන, කිසිම කළු පැල්ලමක් නැතුව එකට ඉන්න හැටි තමයි මේ කතාවෙන් පෙන්නන්නෙ.


චානුක සිනමාවටත් සම්බන්ධ වුණා නේද කොහොමද ඒ අත්දැකීම?


කැමරාව ඉදිරියේ කොතරම් අත්දැකීම් ලබල තිබුණත් සිනමාව මට ලොකු අභියෝගයක් වුණා කිව්වත් හරි. ඕනෑම කෙනෙක් කැමතියි රිදී තිරයට. ඒ වගේම ඕනම රංගන ශිල්පියකුගෙ අවසාන ස්ටෙප් එක විදිහට දකින්නෙ සිනමාව. මටත් ඒ අවස්ථාව ලැබුණා. ප්‍රධාන චරිතයකින්ම රිදි තිරයට එන්න ලැබීම ලොකු සතුටක්.


චානුක සුපර් මෑන්ට මේ තරම් ආදරේ ඇයි?


ඒක පොඩි කාලෙ ඉඳන්ම තියෙන දෙයක්. ඇත්තටම ඒකට දෙන්න පැහැදිලි පිළිතුරක් අදටත් මා ළඟ නෑ. පොඩි කාලෙ ඉඳන් බලපු දේවල් එක්ක මං එයාව ෆලෝ කරනව කිව්වත් හරි. ඕනම චැලේන්ජ් එකක් බාර අරන් ඔව් මට කරන්න පුළුවන් කියල ඒකට මුහුණ දෙන්න මාව දිරිමත් කරන්නෙ සුපර් මෑන් ගැන මා තුළ තියෙන ඒ ධනාත්මක සිතුවිල්ල. සාමාන්‍යයෙන් මාව සතුටු කරන්න ලොකු ලොකු වටිනා තෑගි ඕනෙ නෑ. සුපර් මෑන්ගෙ කී ටැග් එකක් දුන්නත් ඇති. මගේ කාමරේ පිරිල තියෙන්නෙ ඒ වගේ දේවල්වලින්. එක අවස්ථාවක ඇක්සිඩන්ට් එකක් වෙලා මගේ කාර් එකේ ඉස්සරහ කුඩු වුණා. ඒ වෙලාවෙ මට එකපාරටම මතක් වුණේ ඉස්සරහ තිබුණ සුපර් මෑන්ගෙ ටෝයි එක. මං මුලින්ම කළේ ඒක අරන් සාක්කුවේ දාගත්ත එක.


නිර්මාණවල ඇරුනම චානුක වැඩිය පේන්න නැත්තෙ ප්‍රසිද්ධියට අකමැති නිසාද?


ඇත්තම කිව්වොත් මට ප්‍රසිද්ධ වෙන්න ඕන නෑ. මට ඕන ජනප්‍රිය වෙන්න. ප්‍රසිද්ධිය කියන එක එක දවසකින් ඇතිකර ගන්න පුළුවන් දෙයක්. ඒත් ජනප්‍රිය වෙන එක මිනිස්සුන්ගෙ ආදරය දිනා ගන්න එක තමයි අමාරු. මං මේ උත්සාහ කරන්නෙ අන්න ඒ අමාරු කෑල්ල අල්ල ගන්න. ඒ කෑල්ලෙන් තමයි තීරණය වෙන්නෙ මං ඒ චරිතය හරියට කළා ද නැද්ද කියන එක. අපි කරන වැඩේ හොඳ අවබෝධයකින් හරියට කළා නම් අපි ජනප්‍රියත්වය පස්සෙ දුවන්න ඕන නෑ. ජනප්‍රියත්වය ඉබේම අපේ පස්සෙන් එනවා. මං හරිම සරල හැමෝටම එක විදිහට සලකන කෙනෙක්. ඒක තමයි මගේ ජීවිතේ මට ලැබුණ වටිනාම ගතිගුණය.


ඔබ කලා ක්ෂේත්‍රයට එන්න හීන මවපු කෙනෙක් නෙවෙයි. ඒ අතීතයත් මතක් කරමු?


ඔව්. ඒ ගැන නම් කියන්නම ඕන. මං මේ ක්ෂේත්‍රයට ආවා කියනවට වඩා ගෙනාවා කියන එක තමයි හරි. ඒ ගෞරවය හිමිවෙන්න ඕන ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා මහත්මයට. නෙතූ ටෙලි නිර්මාණය හරහා මාව රංගන ශිල්පියෙක් විදිහට මැව්වෙ ඔහු. ඊට පස්සෙ තමයි මං ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ සකූගේ කතාවෙන් ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඒ හරහා මට ඔහුගේම මන්දාරා සිනමාපටයෙන් සිනමාවට පිවිසීමේ අවස්ථාවත් උදා වුණා. මේ වෙද්දි ජනප්‍රිය තලයේ සැලකිය යුතු නිර්මාණ ගණනාවකට දායක වෙන්න අවස්ථාව ලැබිල තියෙනවා.


චානුකට ආදරය ගැන තියෙන්නෙ මොන වගේ අත්දැකීමක් ද?


ආදරය කියන්නෙ ඕනම කෙනෙක්ට ලැබිය යුතු දෙයක්. ඕනම කෙනෙක් ආදරය කරල නෑ කියනව නම් ඒක බොරුවක්. මටත් ආදරය දැනිල තියෙනවා. ආදරය නොලැබුණු තැන් තියෙනවා. ආදරේ කියන්නෙ සුන්දර වරදක්. මමත් අද ඒකෙ කොටස්කාරයෙක්.


නාමලී ගමගේ




Previous Post Next Post