ලලයි ලිලයි ලයි නිසා මිලාට හැමෝම ආදරෙයි - මිෂෙල් දිල්හාරා

 



ඇය මේ දිනවල ලංකාවේ කා අතරත් ජනප්‍රිය චරිතයක්. මිලා කිව්වම ඇයව නොදන්නා කෙනෙක් නැති තරම්. ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ලැබුණු වටිනාම සම්පතක් වන ඇය, රංගනයට අමතරව සමාජ සේවා කටයුතු නිසාත් බොහෝ දෙනකුගේ ආදරය දිනාගත් තැනැත්තියක්. නමින් මිෂෙල් දිල්හාරා වන මේ සුරූපී, අති දක්ෂ,  රංගන ශිල්පිනිය තමන්ගේ අලුත්ම තොරතුරු හදගැස්ම සමඟ බෙදා ගත්තේ මේ ආකාරයට. 


මිලාට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව පටන් ගමු?


ලලයි ලිලයි ලයි ටෙලි ඩ්‍රාමා එක අධ්‍යක්ෂණය කරන්නේ සුපුන් රත්නායක. එහි තිර රචනය රසික සුරවීරආරච්චිගේ. ඇත්තටම මම සුපුන් රත්නායක මහත්මයාට ස්තූතිවන්ත වෙනවා මිලා කියන චරිතය මට ලබා දුන්නට. ඒ, නාට්‍යයේ කොටස් දාහතක්, දහඅටක් පමණ විකාශනය වුණාට පස්සේ තමයි මම ඒ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. මම බොහොම කැමැත්තෙන් භාරගත්ත චරිතයක් තමයි මිලා කියන්නේ. මොකද මිලා චරිතය හරහා අනිත් නාට්‍යවලට වඩා පොඩි වෙනසක් කරන්න පුළුවන් කියල මට හිතුණා.


ඒ වගේම මේ ටෙලි ඩ්‍රාමා එකේ කන්සෙප්ට් එක ගත්තම ඒක සයිකලොජිකල් පැත්තට පොඩ්ඩක් බරවුණු එකක්. මේ ටෙලි නාට්‍ය ඇතුළේ ඉන්නේ අපේ සමාජයේ ගොඩක් දකින්න පුළුවන් විධියේ චරිත. ඉතින් මිලා කියන චරිතය හරහා සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් කියන තැන ඉඳලා තමයි මම ඒ චරිතය භාරගත්තේ. අපි නොහිතපු විධියට ලලයි ලිලයි ලයි ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. කොහේ ගියත් හැමෝම ඒ ටෙලි නාට්‍ය ගැන තමයි කතා කරන්නේ. එහි රංගනයෙන් දායක වන හැමෝටම ප්‍රේක්ෂකයන්ගේ විශාල කැමැත්තක් තිබෙනවා. මේ ගැන සමාජ මාධ්‍ය හරහාත් විශාල වශයෙන් කතාබහක් ඇති වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.


අතරමැදදී එකතු වුණත් මුල සිටි චරිත තරමටම මිලාට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී තිබෙනවා නේද?


ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍ය පටන් ගත්ත දවසේ ඉඳන් මමත් එහි ප්‍රේක්ෂකයෙක්. මේක ගොඩක්ම ධනුෂ්ක කියන චරිතය වටා ගෙතුණු කතාවක්. එක එක කාලවලදී ටෙලි නාට්‍යයේ චරිතවල චරිත ලක්ෂණ වෙනස් වෙන විධියට තමයි සමාජය ඇතුළේ ඒ චරිත ගැන කතාබහක් ඇති වෙන්නේ. සතුටුයි මිලාගේ චරිතයට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටීම ගැන. ධනුෂ්කගේ චරිතයත් සමඟ ඒ වටා සිටින සියලුම චරිතවලට ප්‍රේක්ෂක ප්‍රතිචාර බෙදිලා තිබෙන්නේ. ප්‍රේක්ෂකයන් ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ හැම චරිතයකටම එක වගේ ආදරය කරනවා.


ඔබේ අලුත්ම ටෙලි නාට්‍ය ආයාචනා ගැනත් කතා කරමු?


ආයාචනා ටෙලි නාට්‍ය පසි¾දු නූපේආරච්චිගේ අධ්‍යක්ෂණයක්. තිර රචනය සිදු කරන්නේ අරුණ ප්‍රේමරත්න. එහි මම රඟ දක්වන්නේ නීතිඥවරියකගේ චරිතයක්. මම මෙච්චර කාලයකට ලෝයර් කෙනෙක්ගෙ චරිතයක් කරලම නැහැ. ඒක ලොකු අභියෝගයකුත් වුණා, මොකද වෘත්තියක් නියෝජනය කරන චරිතයක් සිදුකිරීම නිසා. ඒ චරිතය වෙනුවෙන් හෝම්වර්ක් ගොඩක් කරන්න සිදුවුණා. ඒ අභියෝගයත් එක්ක මම ඒ චරිතය බොහොම ආසාවෙන් භාරගත්තා.


ලංකාවේ ටෙලි නාට්‍ය කලාව දැන් දැන් වඩාත් ප්‍රශංසනීය ආකාරයකට වෙනස් වෙමින් පවතින බව පෙනී යනවා. ඒ ගැන ඔබේ අදහස?


පහුගිය අවුරුදු කිහිපයක් පුරාවටම එකිනෙකට වෙනස් විවිධ අදහස් සහිත ගොඩාක් හොඳ ටෙලි නාට්‍ය බිහි වුණා. ඒක තමයි ඇත්තටම අපිත් බලාපොරොත්තු වෙන්නේ. රංගන ශිල්පීන්, ශිල්පිනියන් බලාපොරොත්තු වෙන්නෙත්, කැමැත්තෙන් ඉන්නෙත් ඒ වගේ හොඳ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට එන්න. ගොඩාක් හොඳ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ බිහිවුණා වගේම තව ඉදිරියටත් ඒ වගේ හොඳ නිර්මාණ විශාල ප්‍රමාණයක් එන්නත් තිබෙනවා.


මෙගා රැල්ල වෙනස් කළ ටෙලි නාට්‍ය කිහිපයකටම දායක වීමට ඔබටත් හැකියාව ලැබුණා. ඒ ගැන කතා කළොත්?


රංගන ශිල්පිනියක් විධියට මම මට එන නිර්මාණ මේක සෝප් ඔපෙරා ටයිප් එකේද, එහෙම නැත්නම් මේක ආර්ට් වැඩක්ද කියන කාරණය මත බෙදා වෙන් කරන්නේ නැහැ. රංගන ශිල්පිනියක් විධියට මම විශ්වාස කරන්නේ අපිට ලැබෙන නිර්මාණය සෝප් ඔපෙරාද, ආර්ට් වැඩක්ද කියන කාරණය සැලකිලිමත් නොවී ඒ නිර්මාණය හරහා සමාජයට හොඳ පණිවුඩයක් ලබාදෙන්න පුළුවන්ද, අපේ චරිතය මොන වගේද කියන කාරණා පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ චරිතය හොඳින් අධ්‍යයනය කරලා අපිට ගැළපෙන යමක් කළ හැකි චරිතයක් නම් එය භාරගත යුතුයි කියන දේ. මගේ රංගන ජීවිතයේදී මට විවිධ අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මට හමුවුණු හැම අධ්‍යක්ෂවරයෙක්ම මට මගේ ගුරුවරයෙක් වගේ. හැම අධ්‍යක්ෂවරයෙක්ගෙ හැම නිර්මාණයකින්ම මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. මේ වගේම ඒ නිර්මාණවලට සම්බන්ධ වුණු අනෙකුත් ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් සමඟ වැඩ කිරීමටත් ඒ හරහා අවස්ථාව ලැබුණා.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උත්සවයකදී පීඨාධිපතිවරයෙක් ඔබව ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වශයෙන් හැඳින්වූවා, ඒ අවස්ථාව ගැන කිව්වොත්?


මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාටත්,  අංශ ප්‍රධානි ජේ‍යෂ්ඨ කථිකාචාර්ය අරුණ ශාන්ත මහතාටත්, පාඨාමාලා සමායෝජක ආචාර්ය නෙල්ලිවල මෙත්තානන්ද හිමියන්ටත්, ආචාර්ය මණ්ඩලේ සියලුම දෙනාටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු මනෝවිද්‍යා පාඨමාලාවේ සමාරම්භක උත්සවයට ආරාධනා කළාට. එතැනදි මට ආරාධනාව ලැබුණේ පාරිසරික මනෝවිද්‍යාව පිළිබඳව දේශනයක් පවත්වන්න.


මිෂෙල් දිල්හාර කියන ගායිකාව නැවත වරක් මෑතකදී දැක ගන්න ලැබේද?


පසුගිය දිනවල තිරගතවුණු ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ මිණි මෙවුලෙන් ගීතය තමයි මගේ පළමු චිත්‍රපට ගීතය. තව අලුත් ගීතයක් එළි දක්වන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉදිරියට.


ඔබේ ප්‍රේක්ෂකයන් ඔබේ රංගනයට අමතරව ඉන් පරිබාහිර ඔබ පවත්වාගෙන යන ප්‍රතිරූපයටත් බොහොම කැමැතියි. ඒ ගැන කතා කළොත් ?


මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතක් පමණ වෙනවා. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ සියලු දෙනා සමඟ සුහදව වැඩ ටික කරගෙන යන්න. රංගන ශිල්පීන් විධියට අපට තිබෙන වටිනාම දේ තමයි අපේ ප්‍රේක්ෂකයන්. එයාලා මට මගේ යාළුවෝ වගේ. ඔවුන් අපේ නිර්මාණ බලන්නේ නැත්තන් මිෂෙල් කියලා කෙනෙක් ඉන්නවද කියලවත් කවුරුත් දැන ගන්නේ නෑ. ඉතින් හැම ගෞරවයක්ම හිමිවෙන්න ඕනෑ ප්‍රේක්ෂකයන්ට. අපිව නිර්මාණය කරන්නේ එයාලා. අපි මේ ක්ෂේත්‍රය ඇතුළේ සාර්ථකද නැද්ද කියන දේ තීරණය කරන්නෙත් එයාලා. මම මේ ක්ෂේත්‍රය ඇතුළේ මොන වගේ කෙනෙක්ද කියන එක මම පැහැදිලි කරනවට වඩා ඒ දේ කරන්න මම භාර දෙන්නේ මගේ ප්‍රේක්ෂකයන්ට. ඔවුන්ගේ මතය තමයි වැදගත්ම දේ.


අවසන් වශයෙන් ඉදිරියේදී එන්න තිබෙන වැඩ ගැනත් කතා කරමු?


සෝලෝ ටවුන් චිත්‍රපටය තිරගත වීමට තිබෙනවා. ඒ වගේම අරුණ ජයවර්ධන මහත්මයා අධ්‍යක්ෂණය කළ රස රහසක් ටෙලි නාටයත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඒ වගේම අමිල ප්‍රේමරත්න මහත්මයාගේ නිර්මාණයකුත් එන්න තිබෙනවා. නිර්මාණවලින් ඒ දේවල් තමයි. ඊට අමතරව මේ දවස්වල මම මගේ දෙවැනි පොත ලියාගෙන යනවා. ඒ පොතේ වැඩ ටිකයි මගේ අනෙකුත් ව්‍යාපෘතිවල වැඩ ටිකයි තමයි ඉදිරියේදී කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post