ඇත්ත තේරෙද්දි එයාලා වාෂ්ප වෙලා ඉවරයි - රොඩ්නි වර්ණකුල




රොඩ්නි... මේ දිනවල කරන නිර්මාණ මොනවද?


මේ දිනවල මිහිර සිරිතිලකගේ "ගරු තරු" නමින් කරන වේදිකා නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ වගේම සුපුරුදු පරිදි "නරි බෑණා" වේදිකා නාට්‍යයත් වේදිකාගත වෙනවා. අලුත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල ඒ සම්බන්ධයෙන් කතාබහ කරමින් පවතිනවා. 2015 අවුරුද්දේ රූගත කිරීම් කළ සේනක නවරත්නගේ "ජොබ්ලස් ඩග්ලස්" සිනමාපටයත් මේ දවස්වල තිරගත වෙනවා.


විජය නන්දසිරි, ගිරිරාජ් කෞශල්‍ය, ජයලත් මනෝරත්න, ප්‍රියන්ත සෙනෙවිරත්න වැනි නිර්මාණවේදීන් එක්ක ගත කරපු ඒ සුන්දර මතකයන් ගැන කතා කළොත්?


අපේ වේදිකා නාට්‍ය ජීවිතයම බොහෝ සුන්දරයි. ඔය කිව්ව මිනිස්සුන් බොහොම සරල බවක් එක්ක පොළොවේ පය ගහලා ජීවත් වුණු, ජීවත්වෙන මිනිසුන්. ඒ නිසාම ඒ සුන්දරත්වය කාට කාටත් විඳින්න පුළුවන් වුණා. දැන් ඒ චරිතවලට වඩා ගොඩක් වෙනස් පිරිස් ඉන්නවා. අපි ඔය සමහර ටෙලිනාට්‍යවලට ගියාම එකම දර්ශන තලයේ තරුණ පරපුරත් ඉන්නවා. ඒ සමහරු අපිව දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඒ අය දැනගෙන දන්නේ නැති විදිහට ඉන්නවා. ඒ අය ළඟ කුළුපඟ වීමක්, ඇඟෑලුම්කමක් නැහැ. ඕනෑම ක්ෂේත්‍රයක ජ්‍යෙෂ්ඨයෝ කියන පිරිසක් ඉන්නවා. අපි මේ ක්ෂේත්‍රයට එද්දි අපිට කලින් ජ්‍යෙෂ්ඨයෝ හිටියා. එයාලගෙන් ඉගෙන ගත්ත දේවල් එමටයි. ඒ මිනිසුන්ව ඇසුරු කරන එක අපේ ජීවිතවලට ලොකු දෙයක් වුණා. නමුත් අද පරපුරට එහෙම නැහැ. තනියම එනවා. තනියම ඉන්නවා. දන්නෙම නැතුව තනියම යන්න යනවා. ඒ අය පිටපතේ නැහැ. ඉන්නේ ජංගම දුරකථනවලයි. ඒ අයගේ පැවැත්ම තාවකාලිකයි කියලා ඒ අය තේරුම් ගනිද්දිත් ඒ අය වාෂ්ප වෙලා ඉවරයි. ඒ නිසා අපිට ඇසුරු කරන්න ලැබුණු අර මිනිසුන් එක්ක වින්ඳ ඒ සුන්දරත්වය වචනවලින් කියන්න බැහැ. නාට්‍ය බස් එක ඇතුළේ, ඒ කලාව ඇතුළේ, පුදුම හරයක් දැනුමක් අලුත් බවක් තිබුණා. ඔවුන් හැමෝම හරි සුන්දර මිනිස්සු.


ඉස්සර වේදිකා නාට්‍යවලට ගියේ එක බස් එකක. අද තමන්ගේ පෞද්ගලික මෝටර් රථවලින් තමයි මේ අය නාට්‍යවලට යන්නෙ. එදා සහ අද ටිකක් ඈතයි නේද?


අද ඕනෑම කෙනෙක් තමන්ගේ පහසුව රුකගන්න උත්සාහ කරනවා. හැබැයි තාමත් ඈත ප්‍රදේශවල නාට්‍යවලට අපි එකම බස් එකේ යනවා. ඒක හරි සුන්දර ගමනක්. කොළඹ නාට්‍ය වේදිකාගත කරද්දි නම් තම තමන්ගේ වාහනවලින් යනවා. ඒත් තාමත් නාට්‍ය බස් සංස්කෘතිය තියෙනවා. ඈත ප්‍රදේශවලට යද්දී කවුරුත් එකම තැනකින් ගොඩවෙලා තමයි නාට්‍ය බස් එකේ යන්නේ.


අද ඇතැම් නළු නිළියන් මිනිසුන්ව බලෙන් හිනා ගස්සන්න උත්සාහ දරනවා. නමුත් ඔබ ඇතුළුව අපේ සීමිත ජ්‍යෙෂ්ඨ නළු නිළියන් පිරිසකගේ නිර්මාණ දකිද්දිම මිනිසුන් ඉබේම සිනහ වෙනවා. මෙයින් ලබන සතුට ගැන කිව්වොත්?


අපිට සජීවී ප්‍රතිචාර වේදිකාව ඉදිරියේදී ලැබෙනවා. නාට්‍යයක් අවසානයේදී වේදිකාවට මිනිස්සු ඇවිත් අපිට සතුට ප්‍රකාශ කරලා, කතා කතාබහ කරලා, අපිත් එක්ක ඡායාරූප ගන්නවා. ඒකෙන් අපි  මුදලට වඩා විශාල ආත්ම තෘප්තියක් ලබනවා. හැබැයි ක්ෂේත්‍රයේ දස්කම් දක්වන ශිල්පීන්ට වඩා අතිබහුතර දක්ෂයෝ මුහුණුපොතේ ඉන්නවා. අපේ නිර්මාණයකට බැණලා තියෙන අය ගැන බලන්න. අපිට "මෝඩයෝ", “ගොන් අලි", “පට්ට බූරුවො" කියනවා. එහෙම කියන ඒ අයට රඟපාන්න පුළුවන් ඇති. ලියන්න පුළුවන් ඇති. 


අධ්‍යක්ෂණය කරන්න, විචාරය කරන්න පුළුවන් ඇති. ඉතින් ඒ අයට චිත්‍රපටයක් නාට්‍යයක් නිර්මාණය කරන්න මම ආරාධනා කරනවා. රඟපාන්න ආරාධනා කරනවා. වචනවලට වඩා ක්‍රියාවෙන් කරන්න හරි අමාරුයි.


රොඩ්නි වේදිකාව, සිනමාව, පුංචි තිරය එක සේ ජයගත් කලාවේදියෙක්. මෙයින් වැඩි කැමැත්ත තියෙන්නේ මොන ක්ෂේත්‍රයටද?


අනිවාර්යෙන්ම මගේ වැඩි කැමැත්ත වේදිකාවටයි. එදත් අදත් හෙටත් මගේ වැඩි කැමැත්ත නාට්‍ය වේදිකාවටයි. ඒකෙ මට ඉන්න පුළුවන් තාක් කල් මම ඉන්න බලාපොරොත්තු වෙනවා. "සිනමා නළුවෙක්" හෝ "ටෙලිනාට්‍ය නළුවෙක්" කියන ලේබලයට වඩා "වේදිකා නාට්‍ය ශිල්පියෙක්" කියන ලේබලය මට හොඳටම ප්‍රමාණවත්. ඒකට මම හරි ආදරෙයි. ඒ නිසා වේදිකාව වෙනුවෙන් සිනමාව, පුංචි තිරය වුණත් මට අත්හරින්න පුළුවන්.


ඔබ පවුලේ වැඩිමල් පිරිමි දරුවා. අද දරුවන්ට නොලැබුණු ළමා කාලයක් ඔබ එදා විඳින්න ඇති?


ඔව්... මගේ පවුලේ ඔක්කොම හයයි. පිරිමි ළමයි තුනයි, ගෑනු ළමයි තුනයි. මට වැඩිමහල් සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. අපි පුංචි කාලේ අත්වින්ඳ ළමා කාලය අද දරුවන්ට නැහැ. අපේ පොඩි කාලයේ "ඇළේ දොළේ පැන්නා, මාළු ඇල්ලුවා, ගස්වල නැග්ගා, කුරුම්බා කෑවා” කියලා කියනවා. අපි දරුවන් දිහා බලලා "උඹලට ඒවා නැහැනේ" කියලා කියනවා. හැබැයි උන්ට ඒ විඳින්න දේවල් නැති කළේ අපිමයි. ඒ කාලේ අපිට අධ්‍යාපනය හදාරද්දී නිදහසක් තිබුණා. ඒ නිදහස අද උන්ට නැහැ. අද උන්ට ගස් නගින්න ගස් කෝ? කඩන්න පළතුරු කෝ? උන්ට පනින්න ඇළ දොළ කෝ? එදා අපි නාපු ඇළවල් අද කුණු ඇළවල් වෙලා. ඒවාට ගෙවල්වල ළමයින් තියා බල්ලෙකුටවත් බහින්න බැහැ. මේ හැම විනාශයක්ම කළේ වැඩිහිටියන් විසින්මයි. ගෙදර එකතු වුණු කුණු ඇළට පොඩි උන් දැම්මේ නැහැ. ගස් ටික පොඩි එවුන් කැපුවේ නැහැ. දරුවන්ගෙ සුන්දර කාලෙ උදුරා ගත්තේ වැඩිහිටියන්මයි. ඒ නිසා පොඩි උන්ට දොස් කියන්න හොඳ නැහැ. උන් අද නානතටාකවලින් නානවා. නැවුම් පළතුරු නැති නිසා හෝටලයකට ගිහින් ෆෘට්සැලඩ් කනවා. ඇත්තටම උන් පව්.


ඔබ දරුවන් තුන්දෙනෙක්ගේ පියෙක්. ඔවුන්ට කලාවට ළැදි දරුවන්. එහෙම නේද?


ඔව්... මට දුවලා දෙන්නයි පුතයි ඉන්නවා. ලොකු දුව නර්තන ගුරුවරියක්. කාලයක් පාසලක සේවය කළත් දරුවන් ලැබුණට පසුව දුව පාසලෙන් ඉවත් වී නිවසේ සිට නර්තනය උගන්වනවා. චූටි දුවත් නර්තනය ඉගෙන ගත්තා. පුතා සංගීතය කරනවා. එයා සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදකයෙක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව ගිරාගේ (ගිරිරාජ් කෞශල්‍ය) චිත්‍රපට දෙකක රඟපෑවා. ටෙලිනාට්‍ය තුනක විතර රඟපාලා තියෙනවා. මගේ හැම කටයුත්තකදීම මගේ දරුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ ප්‍රසංගවලදී පුතා සියලු වැඩ කටයුතු බාර අරගෙන කරනවා. ඒ වගේම මගේ බිරිඳත් ආදරෙන් මතක් කරන්නම ඕනෑ. අපි විවාහ වුණේ පාසල් ප්‍රේමයකින්. එදා සිට අද දක්වා ඇය මට උපරිමයෙන්ම සහයෝගය ලබා දෙනවා.


• දිශානි ජයමාලි



Previous Post Next Post