ආදරය කියන්නෙ තමන්ගෙ පාට්නර් වෙනුවෙන් කරන කැපකිරීම -වොල්ගා කල්පනී




ලස්සන මනාලියක සේ සැරසුණු ඇය අනුෂ්ක උදානගේ දෑතේ වෙලී පෝරුව මත සිටින වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් සංසරණය වන්නට විය. ඒ නිසා බොහෝ දෙනාගේ අවධානය ඇය වෙත යොමුවිය. තවත් පසෙකින් ඇය යූටියුබ් හරහා ට්‍රෙන්ඩින් වන සුපුන් රත්නායකගේ “ලලයි ලිලයි ලයි” ටෙලි නිර්මාණයේ රන්සරණී ලෙසින් ද ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටින්නීය. ඔහුගේම “තප්පරයක් දෙන්න” ටෙලි නිර්මාණය ඔස්සේ ද ඇය ජනප්‍රිය වූවාය. ජනප්‍රියත්වයටම පමණක් සීමා නොවුණු ඇය සුදත් රෝහණගේ “මාණික්කාවත” ටෙලි නිර්මාණයේ රංගනය උදෙසා හොඳම නිළිය ලෙස ද සම්මානිත වූවාය. අද අපේ කතාබහට එක්වන ඇය වොල්ගා කල්පනීය.


පසුගිය දා සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවක් නිසා බොහෝ දෙනෙක් හිතුවෙ වොල්ගා විවාහ වුණා කියලා. ඇත්තටම මොකක්ද ඒක?


ඒක වස්ති ප්‍රඩක්ෂන් එකක්. වස්ති ප්‍රඩක්ෂන් කියන්නෙ කරන දේ හරියටම කරන ගොඩක් මුදල් වියදම් කරලා. හරිම පිළිවෙළට වැඩ කරන කණ්ඩායමක්. ඉතින් මං එයාලා එක්ක වැඩක් කළා. ඒක හරි කොලිටි වැඩක්. ඒක නිර්මාණයක්. එච්චරයි.


ඒකට සෑහෙන ප්‍රතිචාරත් ලැබෙනවා නේද?


සාමාන්‍යයෙන් මං කරන හැම වැඩේටම වගේ ප්‍රතිචාර ලැබෙනවා. සමහරවිට ඒ මං කලාතුරකින් මේ වගේ නිර්මාණ කරන නිසා වෙන්න ඇති ප්‍රේක්ෂක ආදරය වගේම ප්‍රතිචාරත් ලැබෙන්නේ. ඒ අතින් මං වාසනාවන්තයි.


“ලලයි ලිලයි ලයි” කියන නම දැක්ක ගමන් ඕනම කෙනෙකුට හිතෙන්නේ මේක කොමඩි ටෙලියක් කියලා. ඔබ එහි රන්සරණි. කොහොමද ඒ අත්දැකීම?


ඇත්තටම මේක කොමඩි එකක් නෙවෙයි. ධනුෂ්කගෙ හැසිරීම සහ සමහර සීන් නිසා එහෙම හිතෙනව ඇති. ඒත් මේක අයිති වෙන්නෙ බ්ලැක් කොමඩි ගණයට. සුපුන් රත්නායකගේ ජනප්‍රියම ටෙලි නිර්මාණයක්. ඔහුත් එක්කත් මම වැඩ කරලා තියෙනවා. ඒ වගේම මේක රසික සුරවීරආරච්චිගේ තිර පිටපතක්. රසික අයියගෙ තිර පිටපත් මට නුහුරු නැහැ. මං ඔහුගේ නිර්මාණවලට දායක වෙලා තියෙනවා. සමහර තිර පිටපත් රචකයො අපට හරි විශේෂයි. අපි එයාලව ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා මං සම්බන්ධ වුණා. මුලදි අපි කතා කරගත්තෙ කොටස් 98ක් හෝ 100ක් යනවා කියලා. කොටස් 100ක් කරලා ඉවර කළා. මේක ගොඩක් අය කොමඩි එකක් කියල හිතුවට ඇතුළේ ලොකු හරයක් තියෙනවා. රන්සරණි, ධනුෂ්ක ජේමිනී, මිලි ඔය හැම චරිතයක් තුළින්ම කතා වෙන්නෙ අද සමාජයේ ඉන්න චරිත. රන්සරණි විදිහට මම කරන්නේ අවුරුදු 18 විතර ළාබාල බොළඳ තරුණියකගේ චරිතයක්.


“කවිතා” කියන්නේ ඔබ රංගනයෙන් දායක වෙන වෙනස් නිර්මාණයක්?


“කවිතා” සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයක්. බුද්ධිනී ජයවර්ධන තිර රචනය කරන ගණිකාවන් ගැන කතා කරන ටෙලි නිර්මාණයක්. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා.


එතකොට ඔබ මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නෙ?


මං අලුතෙන්ම සම්බන්ධ වෙලා ඉන්නෙ මාවෝ ලක්ෂිත මහත්මයාගේ අලුත්ම ටෙලි නිර්මාණය “ප්ලැට්ස් නොවන ප්ලැට්” එක්ක. මේ දවස්වල රූගතකිරීම් කෙරෙනවා. චාලක රණසූරියගේ රචනයක්. රූපවාහිනී සංස්ථාවෙන් කෙරෙන වැඩක් නිසා නිදහසේ, හරිම පිළිවෙළට, විනයක් ඇතිව කෙරෙන වැඩක්. ඉක්මනින්ම විකාශය වේවි. මුලින්ම මං ඔහුගේ “නෙතූ අභිෂේක” ටෙලි නිර්මාණයමට දායක වෙන්නේ පාසලේ නවය දහය වසරවලදී. ඔහු මට හොඳින් හුරුපුරුදු දක්ෂ අධ්‍යක්ෂවරයෙක්.


ඔබ මේ දිනවල නිර්මාණ තුනක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


“කවිතා, ලලයි ලිලයි ලයි” වගේම “තප්පරයක් දෙන්න” කියන නිර්මාණ තුනම මේ දවස්වල විකාශය වෙනවා. එකිනෙකට වෙනස් තුන් විදිහක චරිත තුනක්. චරිත තුනටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හැමදාම වාසනාවන්ත වුණා විවිධ චරිත කරන්න. ඒ විවිධත්වයත් එක්ක මං වාසනාවන්ත වෙලා තියෙනවා මේ වගේ ප්‍රතිචාර ලබන්න.


2023 රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ හොඳම නිළිය බවට පත්වෙන්නේ ඔබ. ඒ අත්දැකීම ගැනත් කතා කරමු?


ඔව්. මං එදා සම්මානිත වුණේ සුදත් රෝහණගේ “මාණික්කාවත” ටෙලි නිර්මාණයේ අඳ යුවතියකගේ චරිතය වෙනුවෙන්. ඉස්සර ඉඳන්ම මට සුදත් රෝහණයන්ගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලොකු ඕනකමක් තිබුණා. මාණික්කාවත කණ්ඩායම වගේම රයිගම් ටෙලීස් මේ වෙලාවෙ මතක් කරන්නම ඕන. මං ඒ වගේ චරිතයක් කළ පළමු අවස්ථාව. ඒ වෙනුවෙන් අඳ යුවළක් එක්ක මං සෑහෙන කාලයක් ඉඳලා ඒ අත්දැකීම ලබාගත්තා. ජගත් චමිල වගේම උමා අසේනි ඒ වෙලාවෙ මට ගොඩක් උදවු කළා. අපි මේකට සූදානම් වුණේ අවුරුදු 3කට කලින් ඉඳලා. සුදත් රෝහණ කියන්නෙ ගොඩක් අධ්‍යයනය කරලා වැඩක් කරන කෙනෙක්. ඔහුත් එක්ක වැඩ කරන්න මං ගොඩක් කැමැතියි. ඒ පොත මං සෑහෙන වාර ගාණක් කියෙව්වා. ජනප්‍රිය වෙනවටත් වඩා මට ඕන වුණේ හොඳම කියන තැනට යන්න. ඒක මට ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි අත්දැකීමක්.


වොල්ගා කලා ක්ෂේත්‍රයට එන්නේ රංගන ශිල්පිනියක් විදිහට නෙවෙයි?


මුලින්ම මට රූපවාහිනී සංස්ථාවේ “අතුරු මිතුරු” වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ ප්‍රතිභා කියන අයියා නිසා. එතැනදී මට වසන්ත ඥානප්‍රිය සර්ව මුණගැහෙනවා. ඊට පස්සෙ සිරස රන්සිත් යාය, ස්වාධීන රූපවාහිනියේ දේදුනු හැන්දෑව, දෙරණ ලිට්ල්ස්ටාර් සීසන් – 1, ස්වර්ණවාහිනියේ ආයුබෝවන් ශ්‍රී ලංකා වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. එතැනදි මුණ ගැහෙන බුද්ධික කුලසේකර සහ චාමර සමරවික්‍රම මහත්වරුන් හරහා තමයි මගේ කුලුඳුල් රංගන අත්දැකීම විදිහට ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ මුතුපලස ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එතැනින් පටන් ගත්ත ගමන තමයි අද මේ දක්වා ආවේ.


වොල්ගා ආදරය දකින්නෙත් ටිකක් වෙනස් විදිහකට නේද?


මං දකින විදිහට ආදරය කියන්නෙ තමන්ගෙ පාර්ට්නර් වෙනුවෙන් කරන කැපකිරීම. ඒ කෙනාගේ සතුට දිහා බලාගෙන ඒ කෙනා වෙනුවෙන් කැපවෙලා ජීවත් වෙන්න පුළුවන් ඒක තමයි හරිම ප්‍රේමය. මම දකින ප්‍රේමය නම් ඒක තමයි.


නාමලී ගමගේ



Previous Post Next Post