රඟපාන්න ඉන්දියාවට ගිය සුභාෂිණී ඉන්දියාවටම සින්න වෙයි




සුභාෂිණි බාලසුබ්‍රමනියම් ලංකාවෙන් ඉන්දියාවට යන්නේ සිය රංගන ජිවිතේ අලුත් පියවරයන් තබන්නට. එතැනදී ඇය ශාශ්වී බාලා නමින් වෙනස් වෙනවා. කොහොම නමුත් මේ වෙද්දී ශාශ්වී බාලා ඉන්දියානු සිනමා නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ අතර ශාශ්වී බාලාගේ ජිවිතේ අලුත් පරිච්ජේදයක් ආරම්භ වුණා. ඒ තමයි ශාශ්වී බාලාගේ විවාහ මංගල්‍යය. ශාශ්විට මංගල සීනු හැඬවුණෙත් ඉන්දියාවෙන්මයි. රංගන ජිවිතේ අලුත් පියවරක් තබන්න ඉන්දියාවට ගියා ශාශ්වී මේ වෙද්දී ඉන්දියාවේම පදිංචි වෙලා. ඒ ගැන වගේම අලුත් වුණු ජිවිතේ ගැන පිනිපලස සමඟ කළ සොඳුරු කතාබහකට මුල පිරුවා...




අලුත් වුණු ජීවිතේ කොහොමද?




ගොඩක් හොඳයි. ඇත්තම කියනවා නම් රටවල් දෙකක්, භාෂා දෙකක්. සංස්කෘතීන් දෙකක්. ඒ වුණත් වෙනසක් තවම දැනිලා නැහැ. මොකද එයා ඉන්දියාවේ මම ලංකාවේ. එයා මලයාලම් මම දෙමළ. ගෙදර කෑම වේලේ ඉඳන් හැමදේම වෙනස්. ඒත් ඒක මට ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මට මම විදියටම ඉන්න පුළුවන් ජීවිතයක් ලැබිලා තියෙනවා. අපි දෙන්නටම අපි විදියටම ඉන්න පුළුවන්. ඒ නිසා මේ දවස්වල ජීවිතේ ගොඩක් සතුටින් ගතවෙනවා.


කොහොමද මේ ආදරේ මුණගැහෙන්නෙ...




අපේ ආදර කතාව පටන් ගන්නේ යෝජනාවකින්. මට අපේ ගෙදර අය යෝජනා හොයද්දි එයාටත් එයාගේ ගෙදරින් යෝජනා හොයලා තිබ්බේ. බිබින් කියන්නේ මගේ අයියාගේ මිතුරෙක්. ඒ නිසා ඔහු තමයි මුලින්ම අයියාගෙන් මං ගැන අයියාගෙන් අහලා තිබ්බේ. අයියා දන්න කෙනෙක් නිසා අයියාගේ අකමැත්තක් තිබ්බේ නැහැ. අයියා අපි දෙන්නගේ ෆෝන් නම්බර්ස් දෙන්නටම ශෙයා කළා. ගොඩ දවසක් ෆෝන් එකෙන් කතා කළා. බිබින් බැංගලෝර්වල ඉන්න නිසා මාව හම්බෙන්න චෙන්නායි ආවා. ආව පළවැනි දවසේම මට රින්ග් එකක් දාලා විවාහ වෙන්න යෝජනා කළා. ඒ විදියට තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ.




ඔහු ගැන කිව්වොත්...




එයාගේ නම බිබින් චන්ද්‍රා. එයා ඉපදිලා තියෙන්නේ කේරලයේ වයනාඩුවල. ඔහු මලයාලම් කෙනෙක්, දැන් එයා පදිංචි වෙලා ඉන්නේ ඉන්දියාවේ බැංගලෝර්වල. එයා IT බිස්නස් වෙන කම්පැනි එකක ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් විදියට සහ ඒ ආයතනයේම සමන්‍යාධිකාරිවරයෙක් විදියට වැඩ කරනවා.




බිබින් ඇත්ලටික් පැත්තටත් ගොඩක් බරයි. එයා බයික් රයිඩර් කෙනෙක් වගේම ක්‍රිකට්වලට ගොඩක් කැමතියි. බැංගලෝර් ක්ලබ්වල ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ එක්කම ජිම් යන්න කැමති කෙනෙක්. දවසේ මොන දේ මිස් කරත් ජිම් යන එක මිස් කර ගන්නේ නැහැ. ශරීර සෞඛ්‍යය ගැන ගොඩක් හිතනවා. ඒ එක්කම හැම වෙලාවේම හිනා වෙලා සතුටින් ඉන්න කැමති කෙනෙක්.




ඔහුව දැනුණේ කොහොමද?




මුල් කාලේ ඕවර් ද ෆෝන් කතා කරන කාලෙම මට දැනුණා සරලව හිතන සිම්පල් ලයිෆ් එකකට කැමැති කෙනෙක් කියලා. මගේ ෆැමිලි එකටත් ගැළපෙන කෙනෙක් කියන එකත් මට දැනුණා. මට හැමදාම තිබ්බේ විවාහය කියන්නේ දෙන්නෙක් අතර වෙන දෙයක් නෙවෙයි පවුල් දෙකක් අතර වෙන දෙයක් කියන එක. මගේ හස්බන්ඩ් වෙන කෙනා මගේ දෙමාපියන්ටත් ගරු කරන කෙනෙක් වෙන්න ඕනේ කියන තැන මම හිටියා. බිබින් කියන්නේ මගේ හස්බන්ඩ්ට වඩා ගෙදරට හොඳ පුතෙක් වෙන්න ඕනේ කියන තැන මම හිටියේ. ඒ දේවල් ඒ විදියටම සිද්ධ වුණා. ඒ නිසා මම හිතනවා මම ජීවිතේ ගත්තු හරිම තීරණය බිබින්ව මැරී කරපු එක.




ඔහු තුළින් දැක්ක හොඳම ගුණාංගය මොකක්ද?




පවුලට මුල් තැන දෙන එක. එයාගේ අම්මවයි තාත්තවයි නංගිවයි බලා ගන්න විදිය මම දකිනවා. එයාගේ ඥාති සහෝදර සහෝදරියන් එක්කත් හරිම එකතුයි. මලයාලම් ෆැමිලි කියන්නේ පවුලේ හැමෝම එකට තීරණ ගන්නේ. ඒ දේ මට මුලදී නම් අලුත් දෙයක් වුණා. පොඩි දෙයකදී වුණත් ඇයි මේ ඔක්කොම එකතු වෙන්නේ කියලා. නමුත් මම මෙහෙ ආවට පස්සේ තමයි එහි වෙනස දැනුණේ. මම දැන් ඒ ජීවිතේ සුන්දරව විඳිනවා. බිබින්ට නෑයෝ ගොඩයි. මට ඒක ගොඩක් අලුත්. මම ලංකාවේ ඉන්න කොට අපේ හැමදේටම හිටියේ මගේ පවුලේ නවදෙනා විතරයි. මෙතැනදී ලොකු ෆැමිලි එකක්. ඒ හැමෝම හරිම ආදරෙන් මාව මේ පවුලට එකතු කර ගත්තා. බිබින් තමයි මේ පරම්පරාවේ වැඩිමල් කෙනා. ඒ නිසා බිබින්ගේ බිරිඳ කියන එක හැමෝටම විශේෂයි. මාව පිළිගත්ත විදිය මට ආදරේ කරන මම ගොඩක් විඳිනවා. ඒ තුළින් මම බිබින්ගේ ගුණාංග දකිනවා.


විවාහ මංගල්‍යයය ඉන්දියාවේ වගේම ලංකාවෙත් පැවැත්වුණා නේද?




වෙඩින් එක සිද්ධ වුණේ නම් කේරලයේ වනන්තංවාඩිවල. මට ලොකු වුවමනාවක් තිබ්බා කේරලයේ මලයාලම් සංස්කෘතියට අනුව කරන්න. මගේ වුවමනාවට තමයි කේරලයේ සිදු කළේ. බිබින්ට වුවමනාව තිබ්බේ බැංගලෝර්වල කරන්න. නමුත් බිබින්ගේ නෑයෝ ගොඩක් හිටියේ කේරලයේ. මලයාලම් කට්ටිය සාමාන්‍යයෙන් වෙඩින් එකේදී අඳින්නේ ගෝල්ඩ් කලර් නැත්නම් වයිට් කලර්. ඒ නිසා මටත් වුවමනාව තිබ්බ ඒ පාටවලට යන්න. ඉස්සෙල්ලා දවසේ හල්දී එක තිබ්බා. ඒකටත් හැමෝම එකතු වුණා. ඒ එක්කම මගේ නෑයෝ මගේ යාළුවො ලංකාවේ ඉන්න නිසා මට ඕනේ වුණා ලංකාවේත් මංගල උත්සවය කරන්න. ඒක කිංස්බරි හෝටලයේ තිබ්බේ. මම වැටුණු හැම තැනකම මගේ ළඟින් හිටිය අය තමයි මම යාළුවෝ විදියට සලකන්නේ. වැඩ කරපු හැමෝම අපේ යාළුවො වෙන්නේ නැහැනේ. මට ඕනේ විදියට සැරසිලි ටික එවර් ෂයින් ඉවෙන්ට් එකේ විෂ්ණු කරලා දුන්නා. මගේ ඩ්‍රස් එක ශබියා ශාසිගෙන් මුම්බායිවලින් ගෙන්න ගන්න ලොකු වුවමනාවක් තිබ්බා. ඒ නිසා එයාගෙන් ඩ්‍රස් එක ගෙන්න ගත්තා.




කලාවේ දිගටම නියැලෙන්නද අදහස...




ඔව්. මගේ වැඩ කටයුතු කිසිම දෙයක් මේ වෙද්දී නවත්තලා නැහැ. මේ වෙනකොටත් විජය ටීවී කියන චැනල් එකේ සීරිස් එකක් කරන්න පටන් අරන් තියෙන්නේ. එහි ප්‍රධාන චරිතයක් මම කරන්නේ. ඒ එක්කම මම අන්තිමට කරපු ෆිල්ම් එක අගෝස්තුවල රිලීස් වෙනවා. එකම ප්‍රශ්නයකට තියෙන්නේ මගේ හැම වැඩක්ම තියෙන්නේ චෙන්නායි වල. මම දැන් පදිංචි වෙලා ඉන්නේ බැංගලෝර්වල. මම සංචාරක අමාත්‍යංශයේ ප්‍රමෝෂන් පැත්තේ වැඩ කරනවා. ඒ දේවල් නතර කරලත් නැහැ. ඇක්ටින් පැත්තේ වැඩ ටිකත් සුපුරුදු විදියට යනවා.

රංගනයට ඔහුගෙන් තහංචි නැද්ද?




මගේ වැඩවලට කිසිම විරුද්ධත්වයක් නැහැ. මට වැඩිය එයා උනන්දු වෙනවා. ඇක්ටින් පැත්ත විතරක් නෙවෙයි මගේ කටයුතු සහ සංචාරක අමාත්‍යංශයේ ප්‍රමෝෂන් පැත්තේ වැඩ කටයුතු මේ හැමදේම ඒ විදියට වෙනවා. ඒ එක්කම එයාගේ අම්මි ගොඩක් කැමතියි මම රඟපානවට. ඒ නිසා තව තව අලුත් දේවල් පටන් ගන්නවා මිසක් කිසිම දෙයක් නතර වෙලා නැහැ.




දැන් ස්ථිර පදිංචියට තෝරා ගන්නේ ඉන්දියාවද?




ඔව්. දැන් ස්ථිර පදිංචිය ඉන්දියාවේ බැංගලෝර්වල. මගේ වැඩ තියෙන්නේ චෙන්නායිවල නිසා නිතරම ට්‍රැවල් කරනවා.




ඉන්දියාවට යද්දී හිතුවද කවදා හරි විවාහ වෙන්නේ ඉන්දියානු කෙනෙක් එක්ක කියලා...




ඉන්දියාවට එද්දී නම් එහෙම කිසිම අදහසක් තිබ්බේ නැහැ. වැඩ විතරයි මගේ ඔළුවේ තිබ්බේ. මම මෙහෙන් විවාහ වෙලා මෙහෙ පදිංචි වෙන්න අදහසක් තිබ්බෙම නැහැ. මම ගොඩක් ආස කළේ ඉන්දියාවේ වැඩ කරන්න ඕනේ. හැබැයි ලංකාවේ පදිංචි වෙලා ඉන්න ඕනේ කියන එක. මොකද මම මගේ පවුල එක්කත් ගොඩක් තදින් බැඳුණු කෙනෙක්. ඒ අය එක්කම ඉන්න ලොකු ආසාවක් තිබ්බා. ලංකාවේ කෙනෙක් මැරී කරන්න ආසාවක් තිබ්බා. ගොඩක් සිහින සැලසුම් තිබ්බා. ජීවිතේ හැම දෙයක්ම අපි හිතන විදියට වෙන්නේ නැහැ කියන එක ඒකෙන් තේරුම් ගත්තා.


ජිවිතේ මෙතෙක් ආ ගමන් මග ගැන මොකද හිතෙන්නේ...




දැන් මම ලොකු හුස්මක් ගන්නවා. මම මේ දේවල් කළා කියන තෘප්තිය අද මට තියෙනවා. ලංකාවේ පුංචි තැනකින් ඉන්දියාව ඇවිත් මේ තරම් සබඳතා හදා ගන්න සහ අවස්ථාවන් ලබා ගන්නවා කියන එක ලෙහෙසි වුණේ නැහැ. අනික මට කාගෙන්වත් සහයෝගයක් තිබ්බේ නැහැ. මගේ වුවමනාවෙන් මගේ දක්ෂතාවන්ගෙන් අවස්ථාවන් හොයාගෙන මට පුළුවන් දේවල් කරගෙන ආවා. ලැබුණු දේවල්වලට වඩා නොලැබුණු දේවල් තිබ්බා. ඒ දේවල්වලට වැටෙන්නේ නැතුව අද මම මෙතැනට ආවා කියන සතුට මට තියෙනවා.




ලංකාවේ නිර්මාණ බාරගන්නේ නැද්ද?




ලංකාවේ නිර්මාණ කරන්න මම ගොඩක් කැමතියි. සමහරවිට මාව දැන් අමතක වෙලාද දන්නේ නැහැ. හැබැයි හොඳ නිර්මාණයක වැඩ කරන්න හැමදාම කැමතියි.




Previous Post Next Post