දුවක් කියන්නේ ජීවිතේට කලර් එකක් -නිත්‍යා දේවින්දි




පාර දිගේ නාට්‍ය නිසා බොහෝ දෙනෙක් ආදරේ කරන්න පටන් ගත්ත නිත්‍යා දේවින්දි මේ දවස්වල දකින්න ලැබෙන්නේ පාට කුරුල්ලෝ නාට්‍යයෙන්. ඒ වගේම ඇය දැන් දුවණියක් ඉන්න ආදරණීය අම්මා කෙනෙක්. මවක් වුණාට පස්සේ රංගනයෙන් ඈත් නොවී කලාව එක්ක රැදිලා ඉන්න නිත්‍යා ඇයගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට රසඳුන එක්ක කතා කළා.


නිත්‍යා මවක් වුණු නිසා පවුල, දරුවා එක්ක මේ දවස්වල කාර්‍යබහුල ඇති..?


අම්මා කෙනෙක්, බිරිඳක් විදිහට මම පවුල් ජීවිතේ ඇතුළේ කාර්‍යබහුලයි. එහෙම නැහැ කියලා කියන්න බැහැ ,


ඒ නිසා රංගනයට ස්වයං වාරණ දාගෙන ඇති..?


කොහෙත්ම නැහැ. බබා ලැබුණා, මම දැන් අම්මා කෙනෙක් කියලා මගේ වැඩ අතපසු කරගෙන එක පැත්තකට කොටු වෙලා නැහැ. ඒ වගේම මගේ මහත්තයා මාව කොටු කරලත් නැහැ ඒ නිසාම දරුවා ලැබුණට පස්සේ වැඩිපුර වැඩ කරනවා කිව්වොත් තමයි හරි.


දරුවන්ගේ සහ පවුල කියන සංස්කෘතිය ඇතුළේ ඇතැම් කලාකාරිනියන් පීඩනයට පත් වෙනවා. ඔබත් එහෙම වගකීම් එක්ක පීඩාවට පත් වෙලාද?


ඔය කියන පීඩනය කලාකාරිනියක්ට හෝ කලාකරුවෙකුට එන්නේ ඔවුන්ගේ සහකරු සහකාරියගේ ක්‍රියාකලාපයන් එක්ක. ඒ වගේම පවුල් පරිසරයෙන්. ඒ විතරක් නෙමෙයි තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් හැමදේම කළමනාකරණය කරගෙන සුපුරුදු විදිහට ජීවත් වෙන්න ඒ දේ කරන්න පුළුවන්.


විවාහ වුණා දරුවෝ ඉන්නවා කියලා තමන්ව නැති කරගෙන ජීවත් වෙන එක අපරාධයක්. මම එහෙම වෙලා නැහැ. මට එහෙම ලොකු පීඩනයක් එක්ක ජීවත් වෙන්නත් මගේ සැමියා මට ඉඩ හදලා දීලා නැහැ.


එයාගේ සහාය එක්ක මගේ ගමන මම නිදහසේ යනවා. මගේ සැමියත් ගොඩක් කාර්‍යබහුල කෙනෙක්. ඒත් අපි අපේ ජීවිතේ සතුටින් ගෙනියන්න මොනවද කරන්න ඕන කියලා දන්නවා. මගේ අම්මා බබාව බලා ගන්න නිසා අපට තවත් පහපහසු වෙලා තියෙනවා.


දුවක් ඉන්න නිසා ඇයව ලස්සන විලාසිතා වලින් හැඩ කරලා ඔබ සතුටු වෙනවා ඇති නේද?


මම ඉස්සර ඉදලම ආස දුවෙකුට. මට දැන් දුවෙක් ඉන්නේ. දුවව ලස්සන විලාසිතා වලින් ලස්සන කරන්න මම හරි ආසයි. මම එයාට ගොඩක් ආදරෙයි. දුවක් කියන්නේ ජීවිතේට කලර් එකක් කිව්වොත් මම හරි. පුතාලා එහෙම නැහැ කියලා මම කියන්නේ නැහැ , මේක මගේ පුද්ගලික මතය. මට දුවක් කියන්නේ විශේෂත්වයක් කියන්න පුළුවන්.


නිත්‍යා ජනප්‍රිය කාලේ මවු පදවිය ලැබුවේ, අපරාදේ තව ටිකක් කල් වැඩ කරන්න තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද ..?


දරුවෙක් ලැබුණම, තමන් තමන්ව එක රාමුවකට කොටු කර ගන්නවා.


එහෙම නැත්තම් වෙන අය එක එක විදිහට ෆ්‍රේම් කරනවා. ඔය කොටු කිරීම් ඇතුළේ තමයි කෙනෙකුට ඔය වගේ සිතුවිලි එන්නේ. දරුවෙක් කියන්නේ වගකීමක් මිසක් බරක් නෙමෙයි. ජීවිතේට බරක් කර ගත්ත අය තමයි එහෙම හිතන්නේ. එහෙම හිතුවොත් දරුවෙක් ජීවිතේට හදන්න බැහැ.


මම මගේ දුව වගකීමක් විදිහට දැකලා ඒ යුතුකම් ඉටු කරමින් මාවත් ගොඩ නගාගනිමින් සතුටින් ජීවත් වෙනවා. එයා නිසා මමයි මගේ සැමියයි එළියට යනවා නතර කරලා නැහැ. අපි දෙන්නත් සතුටින් ඉස්සර වගේ ඉන්නවා. ඒ නිසා මගේ ජනප්‍රියත්වය ගැන හිතලා අපි ළඟට ආපු දූ පැටියා ඉක්මනින් ආවේ අපරාදේ කියලා හිතන්නේ නැහැ.


මේ දවස්වල නිත්‍යා පුංචී තිරයේ වැඩිපුර කැපි පෙනෙන්නේ පාට කුරුල්ලෝ නාට්‍යයෙන් නේද, ඒ ගැනත් කියමු?


ඔව්. මේ නාට්‍යය හිරු නාළිකාවේ සතියේ දින පහේම විකාශය වෙනවා. හරි සතුටින් මගේ රංගන දායකත්වය මම පාට කුරුල්ලෝ නාට්‍ය වෙනුවෙන් ලබා දෙනවා.


අලුතින් පටන් ගත්ත නාට්‍යයක් විදිහට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා, ඒ වගේම ළඟදීම මම සම්බන්ධ වෙන තවත් අලුත් නාට්‍යයක් විකාශය වීමට නියමිතයි.


පාර දිගේ නාට්‍ය නිසා බොහෝ දෙනෙක් ඔබට ආදරේ කරන්න පටන් ගත්තා?


පාර දිගේ නාට්‍ය කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කියන්න පුළුවන්. හොඳ චරිතයකින් මාව පුංචි තිරයෙන් ජනතාව අතරට රැගෙන ගියේ පාර දිගේ නාට්‍ය. ඒ චරිතයට තවම මට ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. ඒක වාසනාවක් නිළියක් හැටියට මම ලැබූ.


 හර්ෂණී වීරරත්න




Previous Post Next Post