නළුකම ගෙදර ගෙනාවා නම් අද ඒ දේවල් මට නොතිබෙන්නත් ඉඩ තිබුණා- රවීන්ද්‍ර රන්දෙණිය




ප්‍රවීණ සිනමාවේදී රවීන්ද්‍ර රන්දෙනියන්ගේ පනස් වසරක සිනමා මතකාවර්ජනා ‘රවී ආත්ම භාෂණ‘ උපහාරෝත්සවය ජුනි 05 වැනිදා සැඳෑවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි


සිනමා ජීවිතයට වසර පනහයි. හොඳම නළුවා සම්මාන සහිතව ලබා ඇති සම්මාන ගණන දහ පහළොවකට වැඩියි. එදා මෙදාතුර කිසිදු ඇගයීම් උලෙළක් නැහැ කිව්වොත් පුදුම නැද්ද… ඒක අපේ රටේ ප්‍රශ්නයක් හැටියට යි මා දකින්නේ. ඇගයීම්, උපහාර උත්සව පවත්වන්න නම් ඔහු හෝ ඇය ශාරීරික වශයෙන් අබල දුබල වයෝවෘද්ධ විය යුතු වීමයි. ඔහුගේ උප්පැන්න සහතිකයට අනුව මේ වසරේ ජුනි 05 වැනිදාට වසර 79ක් වන නමුත් ඔහුගේ රූ සොබාව ගමන් කරනුයේ ඉබි ගමනට ද පසු පසින් බැවින් උපහාර හෝ ඇගයුම් පුදන්නට මේකත් වයසක් දැයි බොහෝ අයට සිතෙන්නට ඇත. හදිසියේ ඇති වූ පිබිදීමකින් කුල්මත්ව අත්වැල් බැඳගත් සහෘද, ජ්‍යේෂ්ඨ, සමකාලීන, පසුකාලීන කලාකරුවන් මෙන්ම හිතමිතුරු පිරිස එක් ව මේ සැරසෙන්නේ සිංහල සිනමාවේ රංග ප්‍රාතිහාර්යයන් පාමින් අසාමාන්‍ය රංග ප්‍රතිභාවකින් භාව පූර්ණය කළ ඒ අසහාය රංගධර රවීන්ද්‍ර රන්දෙනියන්ගේ පනස් වසරක සිනමා මතකාවර්ජනා කරමින් “රවී ආත්ම භාෂණ” උපහාරෝත්සවය ජුනි 05 වැනිදා සැඳෑවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමටයි. “රසඳුන” සමඟ මේ කතාබහ ඒ වසර පනහක සිනමා සෞන්දර්ය චාරිකාව පිළිබඳවයි.


උපන්දිනය දවසේම මේ උත්සවය යොදා ගැනීම ගැන මොකද හිතෙන්නේ…?


ඒක නම් එක අතකින් අහම්බයක් කියලා කියන්නත් පුළුවන්. මේ උත්සවය සංවිධාන වුණේ මීට මාස හයක පමණ කාලයක සිටයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඇතුළු සිනමාවේ මාගේ හිතවතුන් පිරිසක් එක් වුණු අවස්ථාවක ඔවුනොවුන් අතර කතිකාවක් ඇති වී තිබෙනවා රවීන්ද්‍ර රන්දෙනියගේ සිනමා ජීවිතයට වසර පනහක් වෙනවා නේද, කිසිම උපහාර උත්සවයක් මේ දක්වා පවත්වලාත් නැහැ නේද…කියලා. ඒ කතාබහේ ප්‍රතිඵලයක් හැටියට “රවී ආත්ම භාෂණ” කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නමක් යොදලා මේ වැ‍ඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. එහෙම මූලික කටයුතු කෙරීගෙන යද්දි උත්සවය සඳහා දිනයක් තෝරා ගැනීමේදී තමයි මගේ උපන්දිනය ළඟ එන හින්දා මේ උත්සවය එදාටම යොදා ගැනීමට තීරණය කර තිබුණේ.


ජුනි 05 වැනිදා හැන්දෑවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මොනවාද වෙන්නේ….?


එදාට ‘රවී’ කියලා කොෆි ටේබල් බුක් එකක් එළි දැක්වෙනවා. ඒ පොත වෛවර්ණ සහ වියදම් අධික නිමාවකින් යුතු වූ නිසා මගේ හිතවතෙකුගේ හැඳුනුම්කමක් මත මාතර ෆ්‍රීලන් එන්ටර්ප්‍රයිසස් වෙතින් විශාල මූල්‍ය අනුග්‍රාහකත්වයක් ලබා දී තිබෙනවා. මගේ ව්‍යාපාරික හිතවතුන් කිහිපදෙනෙකුත් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වෙලා මේ කටයුත්තට මූල්‍ය දායකත්වය ලබා දුන්නා. ගාමිණි වේරගම මහතා ‘මාස්ටර් සර්’ කියලා සිංහලෙන් මං ගැන පොත ලිව්වා. ඒ පොත් දෙකම රචනා වෙලා තියෙන්නේ මම මගේ කතාව කියාගෙන යන ආකාරයටයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ උපහාර උ‍ෙලළ “රවී ආත්ම භාෂණ” ලෙස නම් කළේත් ඒ නිසායි.”


රවී ආත්ම භාෂණ ප්‍රාසාංගිකයි ද…?


ප්‍රාසාංගිකයි තමයි. නමුත් සාම්ප්‍රදායික නැහැ. මේක හරියටම කියනවා නම් සිනමා ශාලාවකට ඇතුළු වෙලා චිත්‍රපටයක් එක දිගට නරඹනවා හා සමානයි. ගීතයෙන් ගීතය නිවේදනය කිරීමක්, ගීතවලට නර්තන ඉදිරිපත් කිරීම් වගේ සුලබ ආකෘතියෙන් මදක් ඔබ්බට ගිය නිර්මාණාත්මක දිගහැරුමක් කිව්වොත් නිවැරදියි. සිනමාවේ මං ගෙවූ වසර පනහ ආවර්ජනය කිරීමක් කලාත්මක බවකින් ඉදිරිපත් කිරීමක් තමයි මෙහිදී සිදු වන්නේ. මගේ සංධිස්ථානගත සිනමා ගීත, නළු නිළි රූපණ දායකත්වයන්, විවිධ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්, නැටුම්, ගැයුම් හැමදෙයක් ම මේ ආකෘතික සන්දර්භයේ ඇතුළත් වෙනවා. පසුබිම් කථන විස්තරයක් සහිතව මං ගැන කෙටි වාර්තාමය ඉදිරිපත් කිරීමක් මෙහිදී සිදු කෙරෙනවා. මේ උත්සවය ගොඩාක් වෙනස් ආකාරයකට තමයි පැවැත්වෙන්නේ. ඒක ඇත්තටම වචනවලින් විස්තර කරන්න අමාරුයි.


මේ කාර්යයේ තිරය පිටුපස සිටින්නේ කවුරුන් ද….?


මහාචාර්ය සුනිල් ආරියරත්න, ස්වර්ණා මල්ලවආරච්චි, බන්දුල නානායක්කාරවසම්, සුනිල් ෆොන්සේකා යන මහත්ම මහත්මින් මේ කාර්යයට මූලික වුණා. මගේ සහෝදර සිනමාවේදීන් වන මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, සාරංග දිසාසේකර යන මහත්ම මහත්මින් මේ කාර්යයට ලොකු සහායක් දක්වනවා. එයාලා තිරය පිටුපස වගේම තිරය ඉදිරියේත් සිටිනවා. ඒ අය මං ගැන සහ මං නිසා ලද අත්දැකීම් විවිධ ආකාරයෙන් මෙහිදී ඉදිරිපත් කරනවා.


සිනමා ජීවිතයේ වසර පනහ දෙසට හැරුණොත් එකවර මතකයට නැ‍ෙඟන චරිත මොනවාද…?


මම රඟපෑ සෑම චරිතයක්ම මට විශේෂයි. ඒ අතරින් මහජන අවධානයට සහ කතාබහට ලකවුණු චරිත කිහිපයක් මට සිහිකළ හැකියි. එයින් මුලින්ම මතක් වෙන්නේ ‘දඩයම චිත්‍රපටයයි. ඒ වගේම ‘සිරි මැදුර,


‘ආරාධනා, ‘දුහුලු මලක්, ‘පුරන් අප්පු, ‘ජනේලය වගේ චිත්‍රපට මට මතක් වෙනවා. හැම චරිතයක්ම මම බොහෝ කැපවීමෙන් රඟපෑවා.


විවිධත්වයක් ඇති චරිතම ඔබට ලැබුණේ කොහොමද…..?


මම කවදාවත් පෙම්වතා, දුෂ්ටයා, වීරයා, රස්තියාදුකාරයා, ධනවතා කියලා චරිතවලට කොටු වුණේ නැහැ. පිටපතක් ලැබුණාම මම හැමදාම බැලුවේ ලැබෙන චරිතය තුළ හොඳ රඟපෑමක් කරන්න පුළුවන් ද කියලයි. ‘සත්වැනි දවස’ චිත්‍රපටයේ පිටපත මට ලබා දුන්නේ සින්දු කඩේ මහත්මයා නම් වූ පෙම්වත් තරුණයාගේ චරිතය රඟපෑම සඳහායි. නමුත් පිටපත කියවලා අවසානයේ මම ඒ චරිතය ප්‍රතික්ෂේප කරලා නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු සමඟ ගොඩාක් දුරට වාද විවාද කරලා අන්තිමේදී ‘අබ්බඩා’ගේ චරිතය රඟපාන්න තෝර ගත්තා. අබ්බඩා කියන්නේ මහලු වියට පැමිණෙමින් සිටින අහිකුණ්ඨික ගෝත්‍රික නායකයෙක්. ඔහු ඉතාම අවලස්සන රූපයක් තියෙන, වැරහැලි වගේ ඇඳුම් ඇඳගත්ත කෙනෙක්. ලස්සන පෙම්වතෙක් වෙන්න තිබුණු අවස්ථාව අත්හැරලා අබ්බඩා චරිතය ඇතුළේ විශාල රඟපෑමක් කරන්න මට අවස්ථාව ලැබුණා. විවිධ චරිත තෝරාගෙන රඟපෑ නිසා විවිධ අධ්‍යක්ෂවරු වෙනස් මානවල සිනමාපට නිර්මාණය කිරීමේදී මාව තෝරා ගත්තා. මම හැම වෙලාවකම බැලුවේ රංගනයට අවස්ථාවක් ලැබෙන චරිත තෝරා ගැනීමට මිස මාව ඉස්මතු වෙන, මාව ඔපවත් වන චරිත තෝරා ගැනීමට නෙවෙයි. මේ නිසා ‘හොඳ ම නළුවා’ සම්මාන විශාල ප්‍රමාණයක් ලැබුණත් ‘ජනප්‍රියම නළුවා’ වෙන්න මට බැරි වුණා.”


රංගනයේ විවිධත්වය මතු කර ගැනීමේ කෞෂල්‍ය ඔබට ලැබුණේ කොහොමද…?


මම සිනමාවට ප්‍රවිෂ්ට වීමට පෙර ලයනල් වෙන්ට්ඩ්හි රංග ශිල්ප ශාලිකාවේ දම්ම ජාගොඩ මහතා යටතේ නාට්‍ය හා රංගනය පිළිබඳ පාඨමාලාව හැදෑරුවා. පාසලේදී විවිධ රංගන කටයුතුවලට මම සම්බන්ධ වුණා. එක අවස්ථාවක සීගිරි කාශ්‍යප නාට්‍යයේ කාශ්‍යප රජ්ජුරුවන්ගේ චරිතය රඟපාලා හොඳම නළුවා වුණා. මේ නිසා රංගනය පිළිබඳ ඇල්මක් පාසල් කාලයේ පටන් මා තුළ තිබුණා. ඒ නිසා මම ඒ පාඨමාලාවට සම්බන්ධ වුණා. ඒක විදේශ රටකට ගිහින් ලබන ජාත්‍යන්තර පුහුණුවක් නොවන්න පුළුවන්. නමුත් අපේ මිනිස්සුන්ගේ හද ගැස්ම භාව නිරූපණයකින් ප්‍රතිනිර්මාණය කිරීමේ පුහුණුව ප්‍රමාණවත් තරමට ඒ පාඨමාලාවේදී මට ලැබුණා. වෙනත් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් බවට රංගාවේශයක් ලබන්නේ කොහොමද කියලා එහිදී හොඳ අවබෝධයක්, පුහුණුවක් ලැබුණා.


විවිධ චරිත රඟපෑමෙන් ඔබගේ පුද්ගල ස්වභාවයට යම් බලපෑමක් වෙනවා නේද…?


අපි කරන්නේ චරිතයක් රඟපෑම බව අපට අවබෝධ වෙනවා වාගේම ඒක චරිතයක් විතරයි. ඒ ඔහු හෝ ඇය නෙවෙයි කියලා රසිකයින් කිසියම් අවස්ථාවක අවබෝධ කර ගන්නවා. රංගනය කියන්නේ රංගනය කරන චරිතයේ ස්වභාවය නළුවාට ආරෝපණය කර ගැනීම සඳහා තමන්ට ප්‍රති‍රූප ගොඩ නංවා ගැනීමක් නොවන බව මගේ වැටහීමයි. රංගනය කියන්නේ තමන් තෝරා ගන්නා හෝ තමන්ට ලැබෙන චරිතයට සාධාරණය ඉටු කිරීමයි. චරිතය තුළින් තමන්ගේ පුද්ගලභාවය ඉස්මතු කර ගැනීම කළ යුතු දෙයක් නෙවෙයි. අපි රඟපෑමෙන් ඉස්මතු කළ යුත්තේ එම චරිතය මිස අපගේ පුද්ගලභාවය නොවෙයි. දඩයම චිත්‍රපටයේ ජයනාත් කියන්නේ තමන් ආදරය කරපු, තමන්ගේ ලෙයින් කුසේ දරුවෙක් සිටින බව දැන දැනත් තමන්ගේ පෙම්වතියව කාර් එකට යට කරලා මරණ මහා නපුරු මිනිහෙක්නේ. සැබෑ ජීවිතයේදී මට එහෙම අපරාධයක් තියා පූස් පැටියෙක්වත් වාහනයට යට කරලා මරලා දාන්න බැහැ. නළුවෙක් වීම කියන්නේ සිංහාසනයක වාඩි වෙන්න ලබා දෙන අවසරයක් නෙවෙයි. තමන්ගේ වෘත්තීය කුසලතාවයෙන් යමක් නිරූපණය කිරීම පමණයි නළුකමෙන් කරන්නේ. නමුත් ඒ වෘත්තියේ ස්වභාවය අනුව තමා වටේ විශාල මහජන ප්‍රතිචාරයක් ගොඩ නැ‍ෙඟනවා. වෙනත් වෘත්තිකයන්ට නැති ජන ප්‍රසාදයක් නළුවෙක්, නිළියක්, ගායන ශිල්පියෙක් වුණාම ලැබෙනවා. ඒ වෘත්තීය ස්වභාවය මිස නළුකම කියන්නේ වලාකුළු මත ඇවිද යන්න ලැබෙන අවසරයක් නෙවෙයි.


පුද්ගල ආශ්‍රය සහ සංවේදී බවත් චරිත නිරූපණයේ සාර්ථකත්වයට හේතු වුණා ද….?


මට ප්‍රවීණයින්, නවකයින්, සුළු සේවකයින් කියා කිසි වෙනසක් නැහැ. සෑම කෙනෙක්ම සම සිතින් ඇසුරු කරනවා. මේ ඇසුර නිසා විවිධ පුද්ගල ස්වභාවයන් හඳුනා ගන්න මට හැකි වී තිබෙනවා. මම ඉතා සංවේදී කෙනෙක් තමයි. රංගනයේදී චරිතයක සංවේදිතාව ඒ චරිතයට මුසු නොවුණොත් ඒ චරිතය වියළි කඩදාසියක් වගේ කියා ප්‍රේක්ෂකයින්ට හැ‍ඟෙනවා. ඒ නිසා මා තුළ ස්වභාවිකව ඇති සංවේදී භාවයන් මම රංගනයේදී විවිධ චරිත නිරූපණය සඳහා යොදාගන්නවා. අප තුළ තිබෙන භාවයන් චරිත සඳහා යොදා ගැනීමේදී අපි අපි බවට පත් නොවී චරිතයේ අවශ්‍යතාව මත එම භාවයන් හැසිරවීම තමයි රංග ශිල්පියෙකුගේ දක්ෂතාව කියන්නේ. රංගනය පිළිබඳ හැදෑරීමේදීත් අපට මුලින්ම පුහුණු කරවන්නේ අප තුළ තිබෙන සංවේදිභාවයන් උපද්දවා ගැනීමටයි. ඒ සංවේදිභාවයන් නිසි ආකාරයට අඩු වැඩි වශයෙන් යොදා ගැනීම නිසා වෙන්න ඇති මගේ රංගනයන් සාර්ථක වෙන්න ඇත්තේ කියා මං හිතනවා.


ඔබගේ රඟපෑම් ප්‍රීති අක්කා සහ දරුවන් ඉවසා දරා ගත්තේ කොහොම ද…?


රංගන ශිල්පියෙකුගේ බිරිඳ හෝ ස්වාමියා වීම ජීවිතයේ ඉතාම අසීරු අත්දැකීමක්. තමන්ට අයිති තමන් ආදරය කරන බිරිඳ හෝ ස්වාමියා දෙනෝදාහක් ඉදිරියේ වෙනත් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ආදරය කරනවා දැකීම තරම් පීඩනයක් තවත් නැහැ. මගේ බිරිඳ වුණත් අනේ හරි ශෝක්, ඔයා ගිහින් ඕන එකක් කරලා එන්න කියලා කියන්නේ නැහැ. එහෙම කියන්නත් බැහැ. ඒ හිත් අමාරුව එයාටත් දැනෙනවා. නමුත් ඉතින් ඒ වේදනාව තුළම තමාගේ වගකීම් තේරුම් අරගෙන ප්‍රීති මට මේ සහයෝගය නොදෙන්න මේ වගේ ගමනක් කවදාවත් මට එන්න ලැබෙන්නේ නම් නැහැ. අපි විවාහ වුණු පළමු අවුරුද්දේම ඒ කියන්නේ 1975 වසරේ ලොකු පුතා සචින්ද්‍ර අපට ලැබුණා. ඒ වෙලාවේ ප්‍රීති ඒ ජීවිතය තනිවම හසුරවාගත්තා. මොකද මම ඒ කාලේ එයාගේ ළඟ වැඩිපුර රැඳුනේ නැහැ. මාස ගණන්, සුමාන ගණන් ගෙදරින් පිට දර්ශන තලවල රූගත කිරීම්වල මට ඉන්න සිද්ධ වුණා. නමුත් ප්‍රීතිට ප්‍රීති විය හැකි එක දෙයක් මගේ අතින් සිදු වුණා. දර්ශන තලවල කොයි කාලයක් රැඳුනත් මං ගෙදරට යද්දි නළුවා ගෙදර අරන් යන්නේ නැහැනේ. ඒ නිසා ගෙදරදී මම සාමාන්‍ය මනුස්සයෙක් හැටියට හැම දෙයක් ම ප්‍රීති එක්ක එකතු වෙලා සතුටින් ඉටු කළා. දරුවන්ගේ වැඩත්, ගෙදර වැඩත්, වත්තපිටියේ වැඩත් සාමාන්‍ය කෙනෙක් වගේම කළා. හොඳම නළුවා සම්මාන එක පිට එක දිනා ගනිමින් මහා නළුවා වෙලා ජනප්‍රියත්වය කිරුළු පැලඳි කාලෙත් මම කිසි පැකිලීමක් නැතිව සරම් කොටයක් ඇඳගෙන ගේ ඉස්සරහපිට පාර අතුගානවා. එක දවසක් ලොකු වාහනයක මාතලේ ඉඳලා නෝනලා මහත්වරු කණ්ඩායමක් මාව බලන්න කියලා අපේ ගෙදරට එද්දි මම ගේ ඉස්සරහ පාර අතුගාමින් සිටියා. ඒ අය පුදුම වුණා. නළුවෙක් විදිහට මෙහෙම ඉන්න ඕනේ, මෙහෙම අඳින්න ඕනේ, මෙහෙම කතා කරන්න ඕනේ, මම සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියන හැඟීමක් මට ඒ කාලේ ඉඳලා ම තිබුණේ නැහැ. රඟපාන චරිතයට සාධාරණත්වය ඉටු කළා. ගෙදර ඇවිත් සැනසීමෙන් හිටියා. දරුවන්ට වුණත් පෙනුනානේ තාත්තා මේ තරම් ප්‍රසිද්ධ කෙනෙක් වෙලත් තාත්තා හැටියට එයාලා එක්ක ඉන්නවා කියලා. දරුවන්ගේ යුතුකම් නම් අපි දෙන්නාම නොපිරිහෙලා ඉටු කළා. එයාලාගේ තීරණ තීන්දු ගැනීම්වලදී මම කවදාවත් බාධක දැම්මේ නැහැ. විෂයයක් තෝරා ගනිද්දි වුණත් එයාලා කැමති දේට ඉඩ දුන්නා. දරුවෝ තුන්දෙනාම පිටරට විශ්වවිද්‍යාලවලට ගියා. දරුවෝ දෙන්නෙක් පශ්චාද් උපාධි ලැබුවා. ප්‍රීතිත් එක්ක එකතු වෙලා ගෙයක් හදාගෙන අපි හැමෝම මීට පස්සේ එකට කියලා හිතාගෙන දරුවෝ එක්ක එ් ගෙදර පදිංචි වුණා. ඊට පස්සෙ අවුරුද්දේ ලොකු පුතා රට ගියා. තවමත් එයා එහේ තමයි. එයාට දැන් පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. දෙවැනි පුතා සමීරත් විවාහකයි. එයාට දූලා දෙන්නෙක් ඉන්නවා. දුව උමයංගනා පවුලේ බාලයා. දුව විවාහ වුණේ නැහැ. එයා අපි දෙන්නා එක්ක ඉන්නවා. කොහේ හිටියත් අපි දෙන්නායි දරුවොයි පුදුම බැඳීමකින් සහ සතුටින් ඉන්නවා. නළුකම ගෙදර ගෙනාවා නම් අද ඒ දේවල් මට නොතිබෙන්නත් ඉඩ තිබුණා.”


ඔබගේ ලේ ඥාති පසු පරපුරක් කලා ක්ෂේත්‍රයට එකතු වුණා ද….?


දැනට නම් පෙනෙන මානයක එහෙම කෙනෙක් නැහැ. මුණුබුරු මිණිබිරියන් ගැන තවම කියන්න බැහැ. පුදුම දේ කියන්නේ මගේ මවු පාර්ශ්වයේ හෝ පිය පාර්ශ්වයේ හත්මුතු පරම්පරාවකවත් කලාකරුවෙක් ගෑවිච්ච තැනකවත් නැහැ. මවු පාර්ශ්වය කෘෂි කර්මාන්තය සමඟ බැඳුණු අයයි. පිය පාර්ශවය ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු වූ අයයි. මගේ සහෝදර සහෝදරියොත් ව්‍යාපාරවලට සම්බන්ධ වුණා. මගේ දෙවැනි පුතා අහම්බෙන් ටෙලි නාට්‍යයක රඟපෑවා. එකෙන්ම එයාට ඒක එපා වෙලා තිබුණා. අනිත් කවුරුවත් මේ ක්ෂේත්‍රයට යොමු වුණේ නැහැ. ආදේශ කළ හැකි කිසිවෙක් නැහැ. ඉතින් හැමදාම මම කළු බැටලුවා තමයි.


 තුෂාරී කළුබෝවිල




Previous Post Next Post