එයාගෙ සපෝට් එක නැතිවුණොත් එකපාරටම මාව ජ‍ෙබාක් ගාලා පහළටම වැටේවි-සජිත අනුත්තර




පුංචි තිරයත් රිදී තිරයත් එකවර ජයගත හැක්කේ අතළොස්සකට පමණි. සජිත අනුත්තර ඇන්තනී ඒ අතර ඉහළින්ම සිටින බව අවිවාදිතව පිළිගත හැකිය. රංගනය, ගායනය, නර්තනය, නිවේදනය මේ කුමන අංශය වුව ද ඔහුට එක සේය. ආදායම් වාර්තා තබමින් මේ දිනවල රිදී තිරය මත දිගහැරෙන සිංහබාහු මෙන්ම පසුගිය දා තිරගතවීම ඇරැඹුණු සිහින සමීකරණ සිනමාපට ද්විත්වය සඳහාම රංගනයෙන් දායක වන ඔහු මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන පාට කුරුල්ලෝහි කෙවින්ගේ භූමිකාවෙන් පුංචි තිරය වර්ණවත් කරන්නේ ද නාඩගම්කාරයෝහි සරාව නැවත සිහිපත් කරමිනි.


කෙවින් සරාව අතික්‍රමණය කරාවි යැයි සිතෙන තරමටම මේ දිනවල කෙවින්ට ප්‍රේක්ෂක ආදරය ලැබෙන බව සජිත අප හා පැවසුවේ ද තෘප්තිමත් හැඟීමකිනි. බුවිනිකා මනීෂා සමඟ තැනූ ආදරණීය කැදැල්ලට පැමිණි ඉමයුරු ජේඩන් පුතු නිසා තම දිවිය සම්පූර්ණ වූ බව පැවසූ ඔහු අද අපේ කතාබහට එක්වන්නේ සජිත – බුවී ආදරණීය කැදැල්ලේ අලුත්ම තොරතුරු ද රැගෙනය.



මේ දවස්වල පුංචි තිරය බැලුවත් රිදී තිරය බැලුවත් වැඩිම ප්‍රේක්ෂක අවධානය දිනාගෙන තියෙන්නෙ ඔබ?


මං කරන්න ආසම වැඩවලින් ගොඩක්ම ආස සිනමා රංගනයට. මේ දවස්වල මං රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ දෙකක් තිරගත වෙනවා. අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ සිංහබාහු සිනමාපටය වගේම සසික හේරත්ගේ සිහින සමීකරණ සිනමාපටය. පුංචි තිරය ගත්තොත් ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් සතියේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයත් මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්වෙලා. සජීවීව වගේම සෝෂල් මීඩියා හරහාත් අසීමිතව ප්‍රතිචාර ලැබෙනවා.


ඔබ ප්‍රධාන චරිතයකින් එක්වෙන සිංහබාහු සිනමාපටය ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා?


සෝමරත්න දිසානායක කියන්නෙ ආදායම් වාර්තා පිහිටුවන සිනමාපට නිර්මාණයේ පළපුරුදු කෙනෙක්. ආදායම් වාර්තා තබමින් තිරගත වුණු සූරිය අරණ හරහා සජිත අනුත්තර කියන චරිතය ලාංකේය සිනමාවට හඳුන්වල දුන්නෙ ඔහු. අර කතාවටත් කියනව වගේ මගේ සිනමාවේ පියා විදිහට සැලකෙන්නේ ඔහු. ඒ වගේම මගේ අයියා සිනමාවට හඳුන්වල දුන්නෙත් ඔහු. සිරි පැරකුම් තිරගත වුණේ බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවමින්. අපි දෙන්නම රංගනයෙන් දායක වන සිංහබාහු සිනමාපටය මේ දිනවල තිරගත වෙන්නේ හවුස්ෆුල් ලේබලය යටතේ.


සිංහබාහු සිනමාපටය කාව්‍යමය භාෂාවක් යොදාගෙන කළ නව අත්හදා බැලීමක් කිව්වොත්?


ඔව්. සෝමරත්න දිසානායක කියන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, හොඳ තිර පිටපත් රචකයෙක්, ඒ වගේම ඔහු හොඳ කවියෙක් වගේම ගීත රචකයෙක්. ඒ හැමදේම යොදාගෙන නව අත්හදා බැලීමක් විදිහට මේකට කාව්‍යමය බස් වහරක් යොදාගෙන තිබුණා. පිටපත අතට ලැබුණු ගමන්ම දැක්කෙ ඒකෙ මුල ඉඳන් අගටම තිබුණෙ කවි. කාව්‍යමය භාෂාවක් තුළින් හැඟීම් ප්‍රකාශ කරන්නෙ කොහොමද කියන අභියෝගය තමයි මුලින්ම අපට තිබුණේ. කවියක් කියද්දි සාමාන්‍යයෙන් ඒකෙ මනෝභාව, හැඟීම්, ව්‍යංගාර්ථ අවබෝධ වුණාට කතා කරද්දි ඒ හඬ උස් පහත් වීමත් එක්ක කවියෙන් කොහොමද හැඟීම් ප්‍රකාශ කරන්නෙ කියන එක යම්කිසි විදිහක පර්‍යේෂණයක් වුණා. මුලදි නම් බය හිතුණා මිනිස්සු මේක මොන විදිහට භාරගනීද කියලා. නැවත නැවත කල්පනා කරද්දි සිහිපත් වුණේ එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු පුරාවෘත්තයත් නිර්මාණය වුණේ ලෝක ධර්මීය ආරෙට නෙවෙයි. ශෛලීගත ආරකට යම්කිසි රීතිමය විදිහකට කාව්‍යමය බසකින් කියන එක. එහෙම බලද්දි අපේ තියෙන දෘෂ්ටිවාදයත් එක්ක එවැනි කාව්‍යමය බස් වහරක් මේක ඉල්ලනව කියලත් දැනුණා. විවිධ මති මතාන්තර තිබුණා. ඒත් ඒක අවබෝධ කරගෙන බලන්න පුළුවන් ප්‍රේක්ෂකයාගෙන් ලොකු ආදරයක් ලැබුණා. අද මේ හවුස්ෆුල් ලේබලයෙන් චිත්‍රපටය තිරගත වෙද්දි අපේ පර්යේෂණය සාර්ථකයි කියල හිතෙනවා.


ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?


සජීවීව වගේම සෝෂල් මීඩියා හරහාත් නිරන්තරයෙන්ම ප්‍රතිචාර ලැබෙනවා. ඒවට රිප්ලයි කරන්න බැරි වුණාට ඒ හැම එකක්ම මං කියවල ඒව මගේ ඉදිරි කලා ජීවිතේට පන්නරයක් කරගන්නව කියන එක ප්‍රේක්ෂකයාට කියන්නත් මං මේක අවස්ථාවක් කර ගන්නවා. ෆේස්බුක් එක කියන්නෙ හරියට මට නෝටිස් බෝර්ඩ් එකක් වගේ. මගේ නිර්මාණ ගැන කියන්න, මගේ ජීවිතේ විශේෂ අවස්ථා ෂෙයාර් කරගන්න තමයි මං ඒක පාවිච්චි කරන්නේ.


ඔබ හැමදාම වාසනාවන්ත වුණා සම්මානනීය අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණවලට දායක වෙන්න. ගාඩි කියන්නෙත් එවැනි නිර්මාණයක්.?


ඇත්තටම ඔව්. සූරිය අරණ, අබා වැනි සම්මානනීය සිනමා නිර්මාණ එක්ක ළමා රංගන ශිල්පියෙක් විදිහට සිනමාවට එකතු වුණු මාව තරුණයකු විදිහට සිනමාවට ගෙනාවේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ. සිනමාවට ආදරේ කරන රංගන ශිල්පියෙක් විදිහට මගේ ප්‍රියතම අධ්‍යක්ෂවරු අතරින් කෙනෙක් ඔහු. මගේ හීනයක් තිබුණා ඔහු එක්ක වැඩක් කරන්න. ගාඩි ඒ හීනය සැබෑ කළා. මගේ රංගන ජීවිතේ වැඩිම කැපකිරීමක් කළ සිනමා නිර්මාණයත් ඒක. රටේ පැවති තත්ත්වයත් එක්ක දින 70ක් විතර රූගත කළා. ඒ කාලය පුරාම මට ඉන්න වුණේ ගාඩි පෙනුමෙන්. ඒක තවත් අතකින් මට විශේෂ වුණේ විවාහ වුණු දවස, උපාධිය ගනිපු දවසේ වගේම මිහිරාවා ආවා ගීතය එළිදැක්වූ දවසෙත් මං හිටියේ කොණ්ඩෙ, රැවුල වවාගෙන ඒ පෙනුමෙන්. ගාඩි කියන්නෙ මට අමතක නොවන අත්දැකීමක්.


ඔබ පුංචි තිරය ග්‍රහණයට ගත්තෙත් හරි අපූරු විදිහකට? ඒ ගැනත් මතක් කරමු?


ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් පුංචි තිරයේ පෙරළියක් කළ නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයේ සරා කියන්නෙ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. මාව පුංචි තිරයට හඳුන්වා දුන් බොහිමියානුවා ටෙලි නිර්මාණයේ අධ්‍යක්ෂවරයාත් ඔහු. ඒ නිසා මගේ පුංචි තිරයේ පියා වෙන්නෙ ඔහු. මං මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියලම හිතාගෙන හිටිය කෙනෙක්. ඒත් කොවිඩ් වසංගතයත් එක්ක අපිට ගෙදරටම වෙලා ඉන්න වුණා. රංගනයට ඇබ්බැහි වුණු කෙනෙක් විදිහට දිගටම නිර්මාණවලට සම්බන්ධ නොවී ඉන්න හරිම අමාරුයි. ඒ වෙලාවෙ තමයි සිවගුරුනාදන් මහත්මයාගෙන් නාඩගම්කාරයෝ සඳහා ආරාධනා ලැබෙන්නේ. ඔහුගේ ආරාධනාව මට කොහොමත් පිළිනොගෙන ඉන්න බෑ. එදා මං ගත්ත ඒ තීරණයට අදත් සතුටු වෙනවා. සරාට මමත් ආසයි. සරා කියන්නෙ හරියට මගේ ඇඟේ කොටසක් වගේ දැනෙන්නේ. ගොඩක් දෙනා අදටත් මට සරා කියලයි කතා කරන්නේ.


පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ කෙවින් සරාටත් අභියෝගයක් වේවි නේද?


නාඩගම්කාරයෝ ඉවර වුණාට පස්සේ නැවත මෙගා නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියලා හිතාගෙන ඉද්දි ඔන්න ආයෙම සිවගුරුනාදන් මහත්මයාගෙන් ආරාධනාවක් ලැබෙනවා. මං ඉතින් එක එක දේවල් කියනවා. ඊට පස්සේ ඔහු කරන්නේ ඔයයි කුසලුයි තමයි මේකට ඉන්නෙ, මේක මෙහෙම වෙන්නෙ කියලා කතාවෙ රසවත් තැන් මවල දෙනවා. මං ඉතින් හයියෝ මේක නම් කරන්න බෑ කියලා නිකන්ම කැමති වෙනවා. ඔහොම තමයි කෙවින් වුණේ. මේ දවස්වල කෙවින්ටත් පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. කෙවින් කියන්නෙත් සෙල්ලක්කාර චරිතයක්. ඉදිරියේදී කතාව තවත් රසවත් වේවි. මටත් හිතෙනවා කෙවින් සරාව පසුකරන් යාවි කියලා.


සජිත – කුසල් සුසංයෝගයත් කදිමට පෑහිලා තියෙනවා නේද?


කුසල් කියන්නේ කැම්පස් කාලෙ ඉඳන්ම මගේ මිත්‍රයෙක්. කැම්පස් එකේ මං පළවෙනි වසරෙ ඉද්දි තුන්වැනි වසරෙ අක්කලා කරන නාට්‍යයක සංගීතය කරන්න මාව යොදාගත්තා. කුසල් ඒකෙ ‘වොං’ කියන වතුර වෙළෙන්දගේ චරිතය කළේ. මං වොංට සින්දුවක් හැදුවා. සින්දුව අතරට මං ඉක්කාවක් දැම්මා. වතුර කියන්නෙ ඉක්කාව නැති කරන දෙයක්නෙ. වතුර විකුණන කෙනාටම ඉක්කාව හැදෙනව කියන්නෙ ඒක වෙනස් දෙයක්. කුසල් ආපු ගමන්ම කිව්වෙ අනේ සජියා මේ පිස්සු කරන්න නම් එපා මට සින්දු කියන්න නම් බෑ විකාර කරන්න එපා කියලා. බලන කොට මෙයාට සින්දු කියන්න පුළුවන්. කලින් කියල නැති නිසා තමයි බය. මේ වෙද්දි කුසල් ගායනයත් කරනවා. ඒ ගැන මට හරිම සතුටුයි. ළඟදි දවසකත් මතක් කළා සජියා එදා වේදිකාවෙදි හදල දීපු සින්දුව නිසා තමයි මට සින්දු කියන්න පුළුවන් වුණේ කියලා. එහෙම බැඳීමක් අපි දෙන්න අතරේ තිබුණත් අපිට එකට වැඩ කරන්න අවස්ථාවක් ලැබිල තිබුණෙ නෑ. එයා පාර දිගේ බණ්ඩා. මං නාඩගම්කාරයෝ සරා. අධ්‍යක්ෂවරයා සරාවයි බණ්ඩවයි එකතු කළා. අපි දෙන්නම හරිම ආසාවෙන් මේක කරන්නේ. දැනටමත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ආකර්ෂණීය තිර පිටපතක් ලබාදුන්න බුද්ධික සේමසිංහවත් මෙහිදී මතක් කළ යුතුයි.


ඉදිරියෙදි දකින්න ලැබෙන නිර්මාණ ගැනත් කියමු?


සිංහබාහු වගේම සිහින සමීකරණත් තිරගත වෙනවා. සම්මානනීය කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියගේ දුෂ්රා නුදුරේදීම තිරගත වේවි. ඒ සඳහා මාව තෝරාගැනීම ගැන මං සතුටු වෙනවා. එක ගෙයි සොකරි වගේම ලලිත් රත්නායකගේ බොම්බයි මොටයි සිනමා නිර්මාණයත් මං හරිම ආසාවෙන් සම්බන්ධ වුණු අරුණ ජයවර්ධනගේ මායා ටෙලි නිර්මාණයත් ඉදිරියේදී දකින්න ලැබේවි. ඒ වගේම මගේ අලුත් ගීතයත් ඉක්මනින්ම රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


සජිත අනුත්තර කියන රංගන ශිල්පියා වඩාත් සාර්ථක වෙන්න බුවීගෙ හමුවීමත් බලපෑව කිව්වොත්?


අනිවාර්යයෙන්ම. බුවීගෙ හමුවීමත් එක්ක මගේ කලා ජිවිතේ වේගවත් වුණා. එයා තමා මගේ මැනේජර් විදිහට හැමදේම කරන්නේ. විදෙස් සංචාර මැනේජ් කරන්නේ, ලංකාවේ මගේ කැලැන්ඩරේ අප්ඩේට් කරන්නේ, හැමදේම මට මතක් කරන්නේ. මම කලාවට දක්ෂ වුණාට අනිත් සියල්ල මැනේජ් කරන්නෙ එයා. මගේ අම්මා අප්පච්චිගෙන් ලැබුණු කුසලතා එක්ක, මම එකතු කරගත්ත ව්‍යුත්පත්තියත් එක්ක, මම කරපු සතතාභ්‍යාසත් එක්ක මම සම්පූර්ණ කරල තිබුණෙ රවුමක ශක්තිමත් භාගයක් විතරයි. ඉතිරි භාගෙ තමයි බුවී. මට හිතාගන්න බෑ, එයාගෙ සපෝට් එක නැතිවුණොත් එකපාරටම මාව ජබක් ගාලා පහළටම වැටේවි. එයා තමයි මගේ ශක්තිය. මම මගේ දෛවයට ස්තුතිවන්ත වෙනවා බුවීව මට මුණගැස්සුවට. මගේ අම්මා අප්පච්චිට දෙන ගෞරවයට සමාන ගෞරවයක් මං එයාටත් දෙනවා.


ඒ දෛවෝපගත හමුවීම සිදුවුණු හැටිත් කියමු?


අපි දෙන්නගෙ හමුවීම සිදුවෙන්නේ මීට අවුරුදු 8කට විතර කලින් සමාජ මාධ්‍ය හරහා. එතකොට මං විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙක්. එයා හිටියේ වෙන රටක. කතාබහ කරලා, යාළුවො වගේ ආශ්‍රය කරලා, යාළුකම ආදරයකට පෙරළිලා ගෙවල්වලටත් කියලා, විවිධ බාධක හමුවේ තමයි අපිත් ජය ගත්තේ.


ඔබ රංගන ශිල්පියෙක් නිසා එකපාරටම බුවීගෙ ගෙදරින් කැමැත්ත ලැබුණද?


බුවී එයාගෙ මවුපියන්ට ටිකට් අරන් දීලා, මගේ වේදිකා නාට්‍ය බලන්න සලස්වලා පුදුම ප්‍රයත්නයක් දැරුවා ඉතින් කැමැත්ත ගන්න. බුවීගෙ අම්මා දැනගෙන හිටියා මං නළුවෙක් කියලා. පස්සෙ දවසක ගිහින් තාත්තට කතා කළා. බුවීගෙ අම්මා එයාගෙ තාත්තට මාව හඳුන්වලා දෙද්දි පැටලිලා කිව්වෙ ‘මේ අපේ මයිකල් ජැක්සන්ගෙ පුතා’ කියලා. ඒක ඉතින් අමතක නොවන සොඳුරු හමුවීමක් වුණා. දෙපැත්තෙම ආශීර්වාදයෙන් අපි විවාහ වුණා.


අපට තිබුණු ලොකුම හයිය අපේ නිවසේ කැණිමඬල එකපාරටම කඩා වැටුණට පස්සෙ කඩා වැටුණු මගේ ජීවිතේ නැවත ගොඩනඟාගන්න බුවීගෙ ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා.


අදටත් ඒක එහෙමයි. මේ වෙද්දි අපිට අවුරුදු දෙකක පුංචි පුතෙක් ඉන්නවා.


පුංචි පුතාගෙ දඟකාරකම් එක්ක ගෙවන ජීවිතේ තවත් සුන්දර ඇති?


මේ වෙද්දි බුවී එයාගෙ මාස්ටර්ස්වලට ඔස්ට්‍රේලියාවේ ඉන්නෙ. පුතත් ඉන්නෙ එයත් එක්ක. තව ටික කාලයක් මට මෙහේ පාළුවෙන් ඉන්න වෙනවා. වෙලාවකට නම් හිතෙනවා අනේ ඔන්න ඔය ඩිග්‍රිය පැත්තකට දාලා මගේ කොල්ලවත් අරන් මෙහේට එන්න කියන්න. ඒක තමයි හිත ඇතුළෙ කෑගහන්නෙ.


ඒත් ඉතින් අපි දෙන්න එක්කම කතා කරලා අපේ දරුවා වෙනුවෙන්, බුවීගේ හීන වෙනුවෙන් ගත්ත තීරණයක් මේක. එයාගෙ හීනවලටත් ඉඩ දෙන්න ඕනනේ. පුළුවන් හැමවෙලේම මං එහේ යනවා. බුවීට නිවාඩුවක් ලැබුණ ගමන් එයාලත් එනවා. ඒ සුන්දර ආදරේ අදටත් අපි තුළ තියෙනවා.


ඔබ පියාගේ අඩිපාරේ ගියා වගේ පුතත් ඔබේ අඩිපාරේ යාවි කියල හිතෙනවද?


මට විශ්වාසයි එයත් මේ ක්ෂේත්‍රයේ මොන පැත්තකින් හරි ඉදිරියට ඒවි කියලා. පුතත් මං පොඩි කාලෙ වගේමයි.


එදා මං අපේ අප්පච්චිට මගේ දක්ෂතා පෙන්නුව වගේ මගේ පුතා අද මට පෙන්නනවා. මගේ අප්පච්චි නිතරම මගෙන් බලාපොරොත්තු වුණේ ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙවත් අනුකරණය කරන්නෙවත් නැතුව ඔහුව අතික්‍රමණය කරාවි කියලා. ඒකට තමයි මං මේ උත්සාහ කරන්නේ, වෙහෙසෙන්නේ.


නාමලී ගමගේ



Previous Post Next Post