මෙතෙක් තිබුණු සබඳතා සතුටක් වුණේ නෑ-තිළිණි පූර්ණිමා



කොච්චි කියූ පමණින් ඕනෑම කෙනකුගේ සිතට නැඟෙන්නේ සැර නපුරු හැඟීමකි. ඇය හඳුන්වන්නේ ද කොච්චි නමිනි. ඒ නම ඇයට ගැළපෙනවා ද යන්න නම් ගැටලුවකි. මන්ද ඇය සුරූපී යෞවනියකි. ස්වාධීන රූපවාහිනී නාළිකාවේ ජනප්‍රියම වැඩසටහනක් ලෙස ප්‍රේක්ෂකයන් රසවිඳින CHAT & MUSIC වැඩසටහන අසංක සතරසිංහ සමඟ මෙහෙයවනු ලැබුවේ ඇයයි. කොච්චි ලෙසින් ඔබේ ආදරය දිනා සිටින ඇය නමින් තිළිණි පූර්ණිමාය.


තිළිණි පූර්ණිමා කිව්වට නොදන්න බොහෝ දෙනා කොච්චි කිව්වම දන්නවා. මේ තරම් ලස්සන නමක් තියෙද්දි ඇයි ඔබට කොච්චි කියන්නෙ?


මට කොච්චි කියන නම හැදෙන්නෙ සියතට ආපු අලුතමයි. ඒ වෙද්දි සියතෙ මගේ බොස් විදිහට හිටියේ අරවින්ද ලොකුගේ අයියා. ඔහුත් ගොඩක් අය දන්නෙ DJ අරා කිව්වම. අරවින්ද අයිය මට කිව්වා නංගි ඔයාගෙ වොයිස් එක පවර්ෆුල් නිසා අපි වෙන නමකින් ප්‍රෝගෑම් එකක් කරමු කියලා. අද තමන්ගෙ නම්වලින් ප්‍රසිද්ධ වුණාට ඒ කාලෙ ප්‍රසන්ටර්ස්ල රසික අවධානය දිනාගන්න DJ නම්වලින් තමයි පෙනී හිටියෙ. ඒ නම්වලින් ගොඩක් අය ජනප්‍රිය වුණා. මගේ හඬ ටිකක් සැර නිසා තමයි අරවින්ද අයියා මට කොච්චි කියල දාමු කිව්වේ. මමත් ඒකට කැමති වුණා. කිව්වත් වගේ ඒක ගොඩක් ෆේමස් වුණා. අද ඒ නමින් තව තව අය ජනප්‍රිය වෙලා තියෙනවා. ඒත් මම ඒ නම ගත්ත ගමන්ම ට්‍රේඩ් මාර්ක් එක මගේ නමට ගත්තා. අවුරුදු 8ක විතර ඉඳන් මට තමයි කොච්චි කියන නමේ නීත්‍යා නුකූල අයිතිය තියෙන්නේ. ඒක කවුරු පාවිච්චි කළත් ඒකෙ අයිතිය තියෙන්නෙ මට. මට ඒක ඕනම තැනක පාවිච්චි කරන්න පුළුවන්.


මුල් කාලෙ ඔබ ගොඩක්ම ජනප්‍රිය වුණේ ගුවන්විදුලිය තුළ. CHAT & MUSIC වැඩසටහන නිසා රූපවාහිනියෙත් ඉඩක් හැදුණා. ඔබ ආ ඒ ගමන් මඟ ගැන කතා කළොත්?


ළහිරු මඬල ළමා වැඩසටහන ඔස්සේ මං කලාවට පිවිසෙන්නේ 2 වසරෙදි. ඒත් එක්කම මුතුහර වැඩසටහනටත් සම්බන්ධ වුණා. පාසල් යද්දිම මං තුරුණු ශක්ති වැඩසටහනෙන් ලංකාවෙන්ම තුන්වැනියා වුණා. මං පාසල් ගියේ ගම්පහ යශෝධරා බාලිකාවට. උසස් පෙළට ගණිත අංශය තෝරා ගැනීමත් එක්ක මීඩියා ෆීල්ඩ් එකට සමුදෙන්න වුණා. අපේ ගෙදර එකම ළමයා මම. මගේ තාත්තගේ ලොකුම හීනය වුණේ මං නිවේදිකාවක් වෙනව දකින එක. ඒ නිසා මං ආයෙත් වතාවක් ස්වර්ණවාහිනියේ රන් එෆ්. එම් එක්ක සම්බන්ධ වෙන්නේ තාත්තගේ ඒ හීනය සැබෑ කරන්න හිතාගෙන. ඊට පස්සෙ ෂා එෆ්. එම්. වයි එෆ්. එම්. හිරු එෆ්.එම්. ඉඳලා සියත එෆ්.එම්. දක්වා එනවා. එතනදි ප්‍රසන්ටර් කෙනෙක් වගේම මැනේජර් ප්‍රෝග්‍රෑම් එක්කත් හිටපු නිසා දෙපැත්තෙන්ම පර්ෆෝමන්ස් පෙන්නන්න වුණා. එතනදි තමයි කොච්චි කියන නමත් එක්ක ගොඩක් ජනප්‍රිය වෙන්න අවස්ථාව ලැබුණෙ. ඒත් එක්කම මගේම කියල ඇඩ්වටයිසින් ඒජන්සියක් පටන් අරන් ආයෙම වතාවක් මීඩියා පැත්තට සමදුන්නා. පස්සේ නැවතත් මීඩියා එක්ක එකතු වෙන්නේ ලක්හඬ එෆ්.එම්. එකෙන් ලැබුණු ආරාධනාවත් එක්ක. නිරෝෂන් ප්‍රේමරත්නගේ ඉල්ලීම මත කොච්චි නැවත වතාවක් තිරය ඉදිරියට ආවේ ස්වාධීන රූපවාහිනී නාළිකාවේ CHAT & MUSIC වැඩසටහනත් එක්ක. ඒත් මං බයෙන් තමයි කැමති වුණේ. අවුරුදු 2ක් විතර CHAT & MUSIC කළා. ඒ අතරේ ලක් හඬේ කොච්චි ප්‍රෝග්‍රෑම් එකත් කළා. මං මෙතෙක් කළ වැඩසටහන්වලින් වැඩිපුරම ජනප්‍රිය වුණේ සියතෙ HOT & SPICY WITH KOCHCHI රේඩියෝ වැඩසටහන සහ අයි.ටී.එන්. නාළිකාවේ CHAT & MUSIC ටීවී වැඩසටහන.


මේ වෙද්දි ඔබ වෙනත් මඟකට යොමු වෙලා කියලත් ආරංචියි?


ඔව්. මේ දවස්වල මං මොනරා ටීවී එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මොනරා ටීවී නාළිකාව ටෙලිවිෂන් ආගමනය ඇතුළේ ලොකු වෙනසක් කරන ටර්නින් පොයින්ට් එකක් වේවි කියලා හිතනවා. වැඩසටහන් ප්‍රධානියා විදිහට මටත් මගේ කණ්ඩායමටත් ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මැනේජ්මන්ට් එක පැත්තෙන් ගත්තත් චැනල් හෙඩ්ගෙන් පස්සෙ ඊළඟ වගකීම පැවරිලා තියෙන්නේ මට. මං චැට් ප්‍රෝග්‍රෑම්වලින්ම ජනප්‍රිය වුණු කෙනෙක් නිසා කලින් ආයතනවලින් සමුගැනීමත් එක්ක ඒ වගේම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියන ඉල්ලීමත් එක්ක CHART & TUNES කියල වැඩසටහනක් පටන් ගත්තා. මේ වෙද්දි ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. මෝක්ෂ ප්‍රසාද් තමයි මගේ පාට්නර් විදිහට එකතු වෙන්නේ. ඊට අමතරව MANGO FRIENDS WITH KOCHCHI කියල තව වැඩසටහනක් කරනවා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වැඩසටහන් දෙකටම සෝෂල් මීඩියා හරහා ලොකු ජනප්‍රියත්වයක් ලැබිල තියෙනවා.


නම කොච්චි වුණාට ඉතින් තිළිණි කියන්නෙ ලස්සන තරුණියක්නෙ. ආදරය ගැනත් අපි කතා කරමු?


මම ආදරය උපරිමයෙන්ම විඳින්න දන්න කෙනෙක් වගේම ආදරය දෙන්න දන්න කෙනෙක්. මාත් ආදරය කරලා තියෙනවා. අපි හැමෝම ආදරේ කරන්නෙ සතුට වෙනුවෙන්. ඒත් ඒක පෙරළා දෙන්න පුළුවන් කෙනෙක් හමුනොවුණොත් ආදරය කියන්නෙ හැමදාම දුකක් තමයි. මට මෙතෙක් හමුවුණු සබඳතා සතුටක් වුණේ නෑ. මට දැන් ඒ පැත්ත ගැන හිතන්න වෙලාවකුත් නෑ. මං මගේ රැකියාවත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ.


නාමලී ගමගේ




Previous Post Next Post