අලුත් අය පාගලා දාන්න තමයි සමහරු හදන්නේ -සමන්ත කුමාර ගමගේ




සමන්ත කුමාර ගමගේ කලකට පෙර බොහෝ දෙනා හඳුනා ගත්තේ රංගන ශිල්පියෙකු ලෙසය. තුංමන්තැන්න, සත්කුළුපවුව, ඉඩෝර වැස්ස, පානාමංකඩ, ගිරිදේවි ඇතුළු නිර්මාණ කිහිපයකම පිටපත් රචනයෙන් ඔහුට පිටපත් රචකයෙක් ලෙසත් කලා ක්ෂේත්‍රයේ සාර්ථකව ස්ථාපිත වෙන්නට හැකියාව ලැබුණි. ටෙලි නාට්‍ය පිටපත් රචනය ඔහුට නුහුරු නුපුරුදු නොවුණත් සිනමා තිර රචනයට ඔහු ප්‍රවිෂ්ට වෙන්නේ ශේෂ සිනමා නිමැවුමෙනි. එම ප්‍රථම සිනමා රචනය සිදුවූ නිර්මාණය පසුගිය දා විදේශීය සිනමා ඇගයුමකට පාත්‍රවීමත් එක්ක ඔහුගේ ගමන ගැන කතා කරන්නට බොහෝ දෑ තිබිණි.


ඔබ තිර රචනය කළ පළමු චිත්‍රපටය විදේශීය ඇගයීමකට පාත්‍ර වුණා. ඒ ගැන මුලින්ම කතා කරමු?


“ශේෂ” කියන්නේ මම තිර රචනය කළ පළමු චිත්‍රපටය. මෙය අධ්‍යක්ෂණය කළේ ඉසුරු ගුණතිලක. ශේෂ, ප්‍රංශයෙ Cannes World Film Festivalහි නර්තන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස තේරී පත්වෙලා තිබෙනවා. මෙහි සම්මාන ප්‍රදානය ප්‍රංශයේදී ජුනි 15 වෙනිදා සිදුවීමට නියමිතයි. සාම්ප්‍රදායික නර්තනය ජීවිතය කරගත් ගුරුන්නාන්සේ කෙනෙක් තමන්ගේ පුතා හරහා එය ඉදිරියට ගෙනියන්න දරන උත්සාහයක් තුළ නර්තනය හා බැඳුණු කතාවක් තමයි මෙහි දිග හැරෙන්නේ. මේ සිනමා නිර්මාණයේ උමාලි තිලකරත්න, චන්දන වික්‍රමසිංහ, නලින් ප්‍රදීප් උඩුවෙල, මල්කාන්ති ජයසිංහ, මම ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙනවා. මෙහි නර්තන වින්‍යාසය කළේ රවිබන්දු විද්‍යාපති. සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ගයාත්‍රී කේමදාස.


මෙවැනි ඇගයීමක් ලැබීම ගැන නිරහංකාර සතුටක් ඇති?


මම ටෙලි නාට්‍ය ඕන තරම් ලියලා තිබුණට සිනමා රචනයක් කරන්නේ පළමු වතාවට. ලියපු පළමු චිත්‍රපටය නිසා මෙවන් ඇගයීමක් ලැබීම සතුටට කාරණයක්. ලෝක සිනමාව එක්ක බලද්දි ලංකාවේ සිනමාව තියෙන්නේ තවම ළදරු අවධියක. එවන් පසුබිමක මොන යම් හෝ ඇගයීමක් ලැබීම අපේ සිනමාව ලබන ලොකු ජයග්‍රහණයක්.


මේ ජයග්‍රහණය ක්ෂේත්‍රයේ හැමෝම සතුටින් දරාගත්තා කියලා හිතනවද?


ශේෂ වෙනුවෙන් ලැබුණ ඇගයීම ඉතා කෙටි කාලයකින් ගැන පුවත බොහෝ ප්‍රචලිත වුණා. බොහෝ දෙනෙක් මේ ගැන සතුටු වෙද්දි අපේ රටේ අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක්ම මේ පුවත බොරුවක් කියලා තිබුණා. මේ සම්මානය ලැබුණේ Cannes World Film Festivalහි නර්තන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස. ඒක ප්‍රධාන ධාරාව එක්ක පටලාගෙන තමයි ඒ වගේ ප්‍රචාර කරලා තිබුණේ. අපේ රටේ ප්‍රශ්නය ඕක තමයි. අලුත් කෙනෙක්ට, දක්ෂයෙක්ට මේ ක්ෂේත්‍රයේ උඩට එන්න හරි අමාරුයි. අලුත් අයව තළලා පෙළලා පාගලා දාන්න තමයි සමහරු හදන්නේ. අපේ කලාව තුළ අශෝභන කෑල්ල තමයි ඒ.


මේ සිනමා නිර්මාණය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න ලැබෙන්නේ කවදාද?


මාධ්‍ය දර්ශනය ජූලි මාසේ පැවැත්වෙනවා. මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ මුල ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය නරඹන්න හැකියාව ලැබේවි.


දැන් දිගටම සිනමා රචනය සිදු කරයිද?


නළු නිළියෝ, අධ්‍යක්ෂවරු, තිර රචකයෝ, මේ හැමෝගෙම අවසාන ඉලක්කය මහා සිනමාව. මමත් සිනමාව තුළ දිගටම යහපත් හොඳ නිර්මාණ කරන්න කැමැත්තකින් ඉන්නවා. මේ දවස්වල ශේෂ වගේම හොඳ සිනමා නිර්මාණයක් ලියන්න සාකච්ඡා කරගෙන යනවා.


පුංචි තිරයෙත් මේ දවස්වල ජයටම වැඩ කෙරීගෙන යනවා නේද?


ඔව්. පානාමංකඩ, ගිරිදේවි නාට්‍ය විකාශය වුණාට පස්සේ ටික කාලයක් ලොකුවට මගේ වැඩක් විකාශය වුණේ නෑ. මේ දවස්වල මම ශාන්ති දිසානායකගේ දඩමංකඩ පොත ඇසුරින් පිටපත රචනා කළ “වියළි” ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ හරහා ජාතික රූපවාහිනියේ රාත්‍රී 8.30 විකාශන කාලයට නැවතත් ප්‍රේක්ෂකයෝ ළං වෙලා තියෙනවා. වියළි පළමු කොටසම නැරඹුම් වාර ලක්ෂ දෙක පන්නලා තිබුණා. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් මේ නිර්මාණය වෙනුවෙන් ලැබෙනවා. ඒ වගේම මම පිටපත් රචනයෙන් හා රංගනයෙන් සම්බන්ධ වන බඹරෙක් ඇවිත් නාට්‍යයත් විකාශය වෙනවා. 71 කැරැල්ලට සාපේක්ෂව ඒ වකවානුවේ ගමක සිදුවන කතාවක් තමයි මේ තුළ තිබෙන්නේ. තත්පරයක් දෙන්න සහ පුංචි අන්දරේ කියන ටෙලි නිර්මාණවලත් මේ දවස්වල රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කරන යාදින්නි ටෙලි නාට්‍ය ලිව්වෙත් මම. එය මම ආසම පිටපතක්. එයත් ළඟදිම විකාශය වෙයි. වසන්ත කේ. වැල්ලවායගේ ඉරට ළඟ මිනිස්සු නාට්‍යත් විකාශය වෙන්න තියෙනවා.


ඔබ ලියන නිර්මාණවල රංගනයට ඔබත් සම්බන්ධ වෙන්නේ ඔබේ වුවමනාවටද? අධ්‍යක්ෂගේ වුවමනාවටද?


වියළි තුළ මම නිරූපණය කරන්නේ අබේරත්න කියන චරිතය. අධ්‍යක්ෂ චන්දන ඉරුගල්බණ්ඩාරම තමයි මට ඒ චරිතය කරන්න යෝජනා කළේ. බඹරෙක් ඇවිත් ටෙලි නාට්‍යයේ මම රඟපාන්න නෙමෙයි හිටියේ. චරිත් කිව්වා ඒකේ මට චරිතයක් නෑ කියලා. පසුව තමයි ධර්මේගේ චරිතය මට කරන්න කිව්වේ.


ඔබ දීර්ඝ නාට්‍ය ලියන්නේ නැත්තේ ඇයි?


ඉස්සර වගේ නෙමෙයි දැන් සමහර අධ්‍යක්ෂවරු නාළිකාවේ විකාශන කාලයත් හොයාගෙන තමයි නාට්‍ය ලියාගෙන යන්න පටන් ගන්න කතා කරන්නේ. අහවල් දිනේට මෙච්චරක් ලියලා ඕනේ කියනවා. මට එහෙම ඉක්මනට ලියන්න බෑ. මම ලියන්න කාලය ගන්නවා. හේතුව මම කරන වැඩේ හරියට කරන්න මහන්සි වෙනවා. අහවල් දවසට මෙච්චර කොටස් ගාණක් ඕනේ කිව්වම මට වෙන වැඩ නොකර ඒකම විතරක් කරගෙන ඉන්නත් වෙනවා. ඒ නිසා තමයි මට මෙගා වැඩ ලියන එක ගිලිහිලා තියෙන්නේ. මට ඕනේ මහන්සි වෙලා රහ වැඩක් කරන්න.


ඔබට ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවද?


එහෙම දන්නේ නෑ. මම අනෙක් අයගේ දේවල් කඩා වඩාගෙන ලියන්නේ නෑ. මට වැඩක් ආවොත් මහන්සි වෙලා පාඩුවේ ඒ වැඩේ කරනවා. කිසි දෙයක් පස්සේ හඹා යන්නේ නෑ.


ඔබ වඩාත් කැමැති ඔබ තුළ ඉන්න නළුවාටද රචකයාටද?


නළුවාට වගේම මම මං තුළ ඉන්න රචකයාටත් ආදරෙයි. මොන දේ කළත් එය හරියට කරන්න තමයි මට අවශ්‍ය වුණේ. ඉදිරියටත් එය ගුරු කොට ගෙන තමයි මම වැඩ කරන්නේ. දැන් රංගනය හැම තැනම උගන්නනවා. නළු නිළියෝ වැහි වැහලා. හැබැයි රඟපාන්න එනවා වගේ තිර රචනය හැමෝටම කරන්න බෑ. ඒකට හොඳ හැදෑරීමක් ඕනි. දැන් මම කලා ක්ෂේත්‍රයේ ස්ථාපිත වෙලා ඉන්නේ තිර රචකයෙක් විදිහට. ඒ නිසා ඒ ක්ෂේත්‍රයෙන් වගේම රංගනයෙනුත් යමක් කරන්න පුළුවන් උපරිම උත්සාහය දරනවා.


 තිළිණි කෞශල්‍යා විජේසිංහ



Previous Post Next Post