දෙවරක් නොහිතාම ලැබුණු අවස්ථාවට කැමති වුණා-උපේඛා රවිහාරී




දෙරණ නාළිකාවේ විකාශය වුණු දෙවැනි ඉනිම ටෙලි නිර්මාණය ලොකු පොඩි භේදයකින් තොරව කාගේත් ආදරය දිනාගත් ටෙලි නිර්මාණයකි. එහි ලිහිණිගේ චරිතය ඉවත් වීමත් සමඟින් එයට ආදේශ වුණු ලිහිණී ඔබට අමතක නැතුව ඇති. ඇය උපේඛා රවිහාරීය. මේ දිනවල හර්ෂ උඩකන්දගේ ප්‍රාර්ථනා ටෙලි නිර්මාණයේ මනීෂාගේ භූමිකාවෙන් ඔබ හමුවට එන්නේ ද ඇයයි.


ඒ සඳහා ලැබුණු අවස්ථාව ගැන ඇය මෙසේ පැවසුවා.


දෙවැනි ඉනිම ටෙලි නිර්මාණයෙන් ඉවත් වීමත් එක්ක මං ටික කාලයක් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. රැකියාව කරගෙන ඉන්න අතරේ තමයි මට ප්‍රාර්ථනා ටෙලි නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ. ප්‍රාර්ථනා හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ නිදුක් මදුශිකගේ හරිම ලස්සන තිර පිටපතක්. ඉපදුණු ගමන් නැතිවුණු තම නැඟිණිය හොයාගෙන යෑම අරමුණ කරගත් තරුණියකගේ කතාවක්. ප්‍රාර්ථනාගේ හොඳම යෙහෙළිය මනීෂා විදිහට තමයි මගේ චරිතය සම්බන්ධ වෙන්නේ.


දෙවැනි ඉනිම, ප්‍රාර්ථනා ටෙලි නිර්මාණ සඳහා ආරාධනා ලැබීමට හේතු වුණු ඒ අතීතයත් ඈ සිහිපත් කළා.


මුලින්ම මං දෙරණ නාළිකාවට සම්බන්ධ වෙන්නේ 2022 දෙරණ අවුරුදු කුමරිය තුන් වැනි ස්ථානය දිනාගනිමින්. දෙවැනි ඉනිම ලිහිණිගේ චරිතයට දායක වුණු රංගන ශිල්පිනිය ඉවත් වීමත් එක්ක ඒ සඳහා මට ආරාධනා ලැබුණා. ඒ වෙද්දි මට රංගනය පිළිබඳ ලොකු වැටහීමක් තිබුණෙ නෑ. ඒ නිසාම මං දෙවරක් නොහිතාම ලැබුණු අවස්ථාවට කැමති වුණා. ඒත් ඒකෙ බරපතළකම දැනගෙන හිටියෙ නෑ. ප්‍රේක්ෂකයන් ඒ චරිතවලට ඒ තරම් ආදරේ කරනව කියල දැනගෙන හිටියෙත් නෑ. පළවෙනි සීන් එක කළේ මට තේරුණ විදිහට. ඒත් ඒක වෙන කෙනෙක් වෙනුවට කළ ආදේශකයක්. ඊට පස්සෙ මුල් චරිතය ගැන මට ගොඩක් අධ්‍යයනය කරන්න වුණා. එතැනදි තමයි මට තේරුණේ මේ වගේ චරිතයක් භාර ගැනීමේ බැරෑරුම්කම. මුලින් මුලින් ප්‍රේක්ෂකයො මුල් ලිහිණිම ඉල්ලන්න ගත්තා. ලැබෙන ප්‍රතිචාර සතුටුදායක වුණේ නෑ. ඒත් ටික දවසක් යද්දි ප්‍රේක්ෂකයන් අලුත් ලිහිණිට හුරුවෙන්න ගත්තා. මං ගොඩක් උත්සාහ කළා ඒ ලිහිණිම වෙලා චරිතයට සාධාරණයක් කරන්න. පස්සෙ පස්සෙ ලැබෙන ප්‍රතිචාර සතුටුදායක වෙන්න ගත්තා. ලක්සිරි සර්ට වගේම දෙරණ නාළිකාවටත් ස්තුතිවන්ත වෙනවා මට ලබාදුන් ඒ අවස්ථාවට.


ලිහිණි කියන්නෙ ඔබට ලොකු අභියෝගයක් වුණු චරිතයක්. එතකොට මනීෂා කොහොමද?


ලිහිණි කියන්නෙ ලොකු කාලයක් විකාශය වෙලා ජනප්‍රිය වුණු චරිතයක්. එතැනදි මට සිදු වුණේ මුල් ලිහිණි වගේම රඟපාන්න. ඒ වෙද්දි ලොකු ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන තිබුණු චරිතයක් ඒක. මගේ පළමු අත්දැකීම විදිහට ඒක මට ලොකු අභියෝගයක් වුණා. ඒත් මනීෂා කියන්නෙ මගේ පෙනුමෙන් මට මං වෙලා කරන්න ලැබුණු චරිතයක්. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලිහිණිගෙ චරිතයට මං ආධුනිකයි. පස්සෙ බලද්දි වුණත් තව හොඳට කරන්න තිබුණා කියන සිතුවිල්ල නිතරම දැනුණා. ඒක මං අත්දැකීම් ලබමින් ඉගෙන ගනිමින් කළේ. ඒත් මනීෂා ඒ ලබපු අත්දැකීම් එක්ක සැහැල්ලුවෙන් කරන්න ලැබුණා. ගොඩක් අය කියනවා මනීෂාගෙ චරිතය ඔයා හොඳින් කරනවා කියලා. මනීෂව වුණත් මං ස්වයං අධ්‍යයනය කරනවා. මගේ කොටස් මං දෙතුන් පාර බල බල මෙතන මෙහෙම කරන්න තිබුණා. මීට වැඩිය මෙතන තව දැනෙන්න කරන්න තිබුණා කියන තීරණවලට එනවා. ඒවත් එක්ක ඊළඟ දවසෙ තව හොඳින් කරනවා. අත්දැකීම් එක්ක තමයි ඕනෑම කෙනෙක් පරිණත වෙන්නෙ.


ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිනියක් නෙවෙයි ?


ඔව් මං වෘත්තියෙන් පෞද්ගලික බැංකු නිලධාරිනියක්. රැකියාව කරන අතරේ තමයි මං අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණෙත්. නිවාඩුවක් ලැබෙන විදිහට තමයි රංගනයට දායක වෙන්නෙත්. බැංකුවට එන කස්ටර්මර්ස්ල කියනව මං ලිහිණිට රඟපෑව කියල දන්නෙ නැතුව ඔයා ලිහිණි වගේමයි කියලා. මාත් ඉතින් ආනේ ඇත්ත ද කියල අහලා නිහඬව ඉන්නවා.


ඔබ ආදරවන්තියක්. ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


ඔහුත් මගේ වෘත්තියෙම නියැළෙන කෙනෙක්. අපේ සම්බන්ධයට දැන් අවුරුදු 6ක් විතර. මං දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවට මුලදි එයා කැමති වුණේ නෑ. පස්සෙ එයාම මට උදව් කළා. දැන් මගේ හැමදේකටම සහාය වෙන්නෙ එයා. ඒ වගේම මගේ පවුලෙ අයත් මතක් කරන්න ඕන. අවුරුදු කුමරිය කියන්නේ මගේ පොඩි කාලෙ ඉඳන්ම තිබුණු හීනයක්. පවුලේ එකම ළමයා විදිහට අකමැත්තෙන් වුණත් මගේ ඒ හීනයට ඉඩ දීල අද මේ තත්ත්වෙට එන්න උදවු කළ මගේ අම්මා, තාත්තාවත් මං ආදරෙන් මතක් කරනවා.


 නාමලී ගමගේ




Previous Post Next Post