හිතට හරියන කෙනෙක් තාම හමු වුණේ නෑ - සුජානි මධුවන්ති



නීල පබළු ටෙලි නාට්‍යයට අලුතින් එක්වූ නපුරු කොච්චි කරල එක්ක කතාබහ කරන්න අපි හිතුවා. කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ අහිංසක චරිතයක් ලෙසින් රංගන කාර්යයට පිවිසුණු ඇය මේ වන විට එකිනෙකට වෙනස් වූ චරිත රැසකට රංගනයෙන් දායක වී හමාරයි. නමින් ඇය සුජානි මධුවන්තියි.


කොහොමද මේ දවස්වල ජීවිතේ..


නීල පබළු ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදු වෙනවා. දෙවරක් චක්කරේ ටෙලිනාට්‍යයත් විකාශය වීමට ඉදිරියේදී නියමිතයි. ඒ ටෙලිනාට්‍යය රූගත කිරීම් සමඟ මේ දිනවල තරමක් කාර්යබහුලයි.


ඔබ කොහොමද රංගන කාර්යයට පා තබන්නේ…


මං මුලින්ම රඟපෑවේ සද්ධාමංගල සූරිය බණ්ඩාර මහතාගේ කෝලම්කූට්ටම ටෙලි නාට්‍යයෙයි. ඒ නාට්‍යයට නිළියක් අවශ්‍යයි කියලා දැකලා මම එයට ඡායාරූපයක් පළ කරලයි සම්බන්ධ වුණේ.


සද්ධාමංගල සූරියබණ්ඩාර, ශිවගුරු නාදන් වැනි දැවැන්තයන් සමඟ රංගනය ප්‍රථම අත්දැකීම් ලැබීම ගැන ඔබට දැනෙන හැඟීම කෙබඳු ද?


එය මම ලද ලොකු භාග්‍යයක් කියලා හිතෙනවා. නවකයෙක් විදිහට එවන් විශ්ව විද්‍යාලයක් බඳු විශිෂ්ටයන් දෙදෙනෙකුගෙන් මුල්ම අධ්‍යාපනය ලැබීම ම ලොකු සතුටක්.


රංගනය හදාරන්න බලාපොරොත්තු වෙනවද?


ඔව්. රංගනය හදාරා තිබෙනවා. ඒ වගේම වැඩමුළු ගණනාවකට සම්බන්ධ වී එයින් අධ්‍යාපනය ලැබුවා.ඉදිරියේදීත් රංගනයේ හැදෑරීම් කටයුතු එලෙසින්ම සිදු වේවි.


රංගනය හැදෑරිය යුතු විෂය පරිපථයක් කියා ඔබ හිතනවද?


ඔව්, අනිවාර්යෙන්ම අහසින් වැටුණා වගේ කැමරාවක් ඉදිරියේ ඉන්නවට වඩා අධ්‍යාපනයකින් වගේම මූලික දැනුවත්වීමකින් රංඟන කාරයට සම්බන්ධ වීම තුළ අපට ලබා දෙන චරිතයට උපරිමයක් කිරීමට පහසුයි.


ප්‍රවීණයන්ගෙන් ලැබුණේ කෙබඳු සහයෝගයක්ද?


මට ප්‍රවීණයන් බොහොමයක් සමඟ වැඩ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා.


පළමු ටෙලිනාට්‍යයේ පටන් මේ දක්වා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය, ආදරය තුළ මට තවත් රංගන කාර්යය කිරීමට පහසු වුණා.


ඒ කියන්නේ ඔබට කැපිලි කෙටිලි වලට මුහුණ දෙන්න සිදු වුණේ නැද්ද?


කැපිලි කෙටිලි නැතුවාම නොවෙයි නමුත් කපනවා වගේම පහළට ඇදලා දාන මිනිස්සුත් එක්කත් හිනා වෙලා සතුටින් හිටියම ප්‍රශ්න විසඳගන්න හරිම පහසුයි. ඒ නිසා කැපිලි කෙටිලි මට දැනෙන්නේ නැහැ?


ඔබ වෘත්තිමය රංගන ශිල්පිනියක්ද


ඔව්, මම රංගන කාර්යය වෘත්තියක් ලෙස කිරීමට ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගායිකාවක් ලෙසත් මිනිසුන් අතරට යන්නට අදහසක් තියෙනවා.


ඔබ එකිනෙකට වෙනස් චරිත රඟපාමින් රංගනය අත්හදා බලන්නියක් කියලා මම කිව්වොත්?


ඇත්තටම එහෙම කිව්වොත් හරි. මම රාමුවකට කොටු වෙන්න කැමති නැහැ.


වෙනස් චරිත තුළින් මිනිසුන් අතරට යන්නයි කැමති.පළමු ටෙලිනාට්‍යයේ මට ලැබුණේ අහිංසක නිවිච්ච චරිතයක්. නීල පබළු ටෙලිනාට්‍යයේ ඊට හාත්පසින්ම වෙනස් නපුරු උද්දච්ච චරිතයක් නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබුණා.


දෙවරක් චක්කරේ ටෙලිනාට්‍යයේ මගේ චරිතය විහිළු විනෝදකාමී චරිතයක්. එසේ එකිනෙකට වෙනස් චරිත රඟපාන්න මට අවස්ථාව ලැබුණා වගේම ඉදිරියේදීත් වෙනස්ම වූ චරිතවලට පණ පොවන්නට අවස්ථාව ලැබේවි කියා මම බලාපොරොත්තු වෙනවා.


නීල පබළු ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් අහනවා කියලා ආරංචි ඒක ඇත්තද?


ඔව්. ප්‍රේක්ෂකයන්ගෙන් හොඳටම බැණුම් අහනවා.


මට හිතෙනවා මම එහෙම බැණුම් අහන්නේත් ඒ චරිතයට මගේ සාධාරණයක් ඉටු වුන නිසා කියලා. ඒ නිසා ප්‍රේක්ෂකයන් මට බැන්නත් මම එය ආශිර්වාදයක් ලෙස දකිනවා.


මේ දවස්වල ප්‍රේමාරාධනා වැස්සක තෙමෙනවා ඇති නේද?


ඔව්, ප්‍රේමාරාධනා නම් ගොඩක් ලැබෙනවා. ඒත් හිතට හරියන කෙනෙක් තාම හම්බවුණේ නැහැ.


අනාගත බලාපොරොත්තු මොනවාද


ගායිකාවක් ලෙස මිනිසුන් අතරට යන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.


ඒ වගේම හොඳ චරිතවලට පණපොවලා සම්මාන ලබන්නත් මං හරිම කැමතියි.


රංගනයට පිවිසෙන බොහොමයක් දෙනා හිතන්නේ රඟපෑම කිරි කජු වගේ වැඩක් කියලා. ඔබටත් එහෙම හිතෙනවද


කොහෙත්ම නැහැ. රංගනය කියලා කියන්නේ හදාරලා ඉවර කරන්න බැරි පුළුල් විෂය පථයක්. රඟපෑම සාගරයක් නම් මම වැලි කැටයකටත් වඩා පුංචි කෙනෙක් කියලයි මට හිතෙන්නේ. මම රඟපෑමට තාම අඩිය තිබ්බ විතරයි. ඒ නිසා ජීවත් වෙනකම්ම මම එම විෂය පථය හදාරයි කියලා මට හිතෙනවා.


විශ්මි ප්‍රනාන්දු



Previous Post Next Post