රසිකයන් වෙනුවෙන් ගීත නිර්මාණ කරනවා මිසක් හැදෙන රැලි ගැන මම හිතන්නේ නැහැ -කිංස්ලි පීරිස්



ප්‍රසංග වේදිකාවේ ප්‍රධාන සන්නාමයක් ලෙස ෆ්ලෑෂ් බැක් හඳුන්වා දෙද්දි ප්‍රසංග වේදිකාවට ඔහු නැතුවාම බැරි ගායකයෙක් බවට පත් වුණා. කැසට්පට රැල්ල සමඟ ඔහුගේ ගීත අඩංගු කැසට්පට බොහෝ සෙයින් අලෙවි වූවා කිව්වත් වරදක් නැහැ. එතරම්ම ඔහුට ප්‍රසංග වේදිකාවේත් කැසට්පට තුළත් හොඳ ඉල්ලුමක් තිබුණා.


දෙළුම් මලක් කැසට් පටය එක්ක අතිශය ජනප්‍රිය වන ඔහු කිංස්ලි පීරීස්. ජෝතිපාලයන්ගේ ගීත ඔහුගේ හඬින් අසන්නට ප්‍රිය කළ බොහෝ දෙනකු ප්‍රසංග වේදිකාවට ඇදී ආවේ ඔහුගේ හඬින් ජෝතිපාලයන්ගේ ගීත අසන්නටයි. ප්‍රසංග වේදිකාවේ නිහඬ නිහතමානී ගායකයෙක් වූ කිංස්ලි ගැන තොරතුරුයි මේ.


ප්‍රසංග වේදිකාවේ ඔබ කාර්යබහුල වුවත් ස්වනිර්මාණ එක්ක ජනතාව අතරට එනවා අඩුයි. මුලින්ම අපි ඒ ගැන කතා කරමු..?


ඇත්තටම කිව්වොත් ප්‍රසංග වේදිකාවේ මං කාර්යබහුලයි. නමුත් එහෙම කියලා මගේම නිර්මාණ කරන්න ඉඩක් වෙන් කර ගන්න අපහසුතාවක් නැහැ. වෙලාව හදා ගන්න පුළුවන්. ඒත් මගේ ගීත ගොන්නක් මට තියෙනවා. ඇතැම් ගීත තවම ප්‍රසංග වේදිකාවේ ගායනා කරලත් නැහැ. ඉතින් මට අවශ්‍යතාවක් තියෙනවා, මුලින්ම ඒ ගීත රසිකයන් අතරට ප්‍රසංග වේදිකාව ඔස්සේ ගෙනියන්න. අලුත් නිර්මාණ කරන්න ඕන. ඒ ගැන අදහසකුත් තියෙනවා.


එහෙම නැත්තම් අලුත් ගීත ජනතාව අතරට යෑමේ අඩුව නිසා පරණ ගීත රැක ගන්න උත්සාහ කරනවද..?


පරණ ගීත රැක ගන්න ඕන කියන බලාපොරොත්තුවෙන් පසුවෙන කෙනෙක් නෙමෙයි මම. ඒත් පරණ ගීතවල අලුත් ගීතවලට වඩා අර්ථවත් පද සහ ඊට ගැළපෙන සංගීත රසයක් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගීත අලුත් ගීතවලට වඩා ජනතාවගේ හදවතට දැනෙනවා. ඒ දැනීමේ හැඟීම් එක්ක ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. එහෙම නැතුව පරණ ගීත රැකගන්න ඕන නිසා නිර්මාණ නොකර ඉන්නේ නැහැ.


කිංස්ලී පීරිස් කියන තරුව හැමදාම ජනප්‍රිය ග්‍රාමීය මට්ටමින් කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. එදා වගේම අදටත් ඔබ ජනතාව අතර ඉන්නවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?


කවුරුන් හෝ මම ග්‍රාමීය මට්ටමේ ගායකයෙක් කියනවා නම් ඒක වැරදියි කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද අපි සංගීත කණ්ඩායමක් හැටියට ලංකාවෙ ගම් නගර පුරා යනවා. ප්‍රසංග වේදිකාවේදි ලැබෙන ප්‍රතිචාර එක්ක මට එහෙම හැඟෙන්නෙ නැහැ. සංගීතයට සම්බන්ධ වූ කාලේ ඉඳලා මේ වනතුරුම විදෙස් සංචාර සඳහාත් සම්බන්ධ වෙනවා. කොහේ ගියත් හැම පාර්ශ්වයෙන්ම මට ප්‍රතිචාර ලැබෙනවා. මට ලොකු රසික පිරිසක් ඉන්නවා කියන එක හරි ආදරයෙන් මතක් කරන්න ඕන. ඒ අයගෙන් භේදයකින් තොරව මට ආදරේ ලැබෙනවා. මගේ ගීත ඒ අය ආදරෙන් පිළිඅරන් තියෙනවා. ඒ නිසාම ඔය කියන මතය නම් මම බැහැර කරනවා.


කවුරු කොහොම කිව්වත් ඔබ කියන්නේ, නගරබද තරුණ හිත් ඔබේ හඬට ආදරේ කරන බව ද?


ඔව් අනිවාර්යයෙන්ම. ඒක මට දැනෙනවා. මාව අයිති ගමට විතරක් කියලා මාව එක පැත්තකට කොටු කරලා නැහැ.


රවීණ ගායක ජෝතිපාලයන්ට ආදරේ කළ බොහෝ දෙනෙක් ඔබටත් ආදරේ කරන්න පටන් ගත්තෙ ඔහුගේ ගීත ඔබ ප්‍රසංග වේදිකාවේ ගැයූ නිසා. ඔබේ ස්වයං ගීතවලට අඩු ඉල්ලුමක් තිබුණා කියල කවුරුත් කියලා නැද්ද?


මම ප්‍රවීණ ගායක එච්. ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත කැසට්පට තුනකට ගායනා කරලා තියෙනවා. ප්‍රසංග වේදිකාවේදි රසිකයන් ඉල්ලීමක් කළොත් එතුමාගේ ගීතයක් ගයන්න කියලා මම රසිකයන් වෙනුවෙන් එතුමාගේ ගීත ගායනා කරනවා. මගේ හඬින් ජෝතිපාලයන්ගේ ගීත ගයද්දි බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර මට හරි ඉහළයි. මගේ ගීත බොහෝමයක් මා සතුව තියෙන නිසා මම වැඩිපුර ගයන්නේ මගේ ගීත. ජෝතිපාලයන්ගේ ගීත ගායනා කරන්න කියලා ඉල්ලීම් කළොත් අනිවාර්යයෙන්ම කියනවා. ඒකට හේතුව මට කවදාවත් රසිකයන්ගේ ඉල්ලීම් අහක දාන්න බැරි නිසා. ඒ ගීත ගායනා කළා කියලා මගේ ගීතවලට හානියක් වෙලා නැහැ. මගේම ගීතවලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා . වැඩි ඉල්ලුම මේකටයි කියලා කියන්න බැහැ.


කාලයක් ඔබ ප්‍රසංග වේදිකාවේ ඉතා කාර්‍යබහුල චරිතයක්. ඒ කාර්‍යබහුල ජීවිතේ එක්ක පවුල මඟ හැරුණා, දරුවන්ගේ කුඩා කල සුන්දරත්වය මඟ හැරුණා කියලා පසුතැවීමක් තියෙනවා ද ..?


කණ්ඩායම් සංගීතය එක්ක එකතු වූ මුල් කාලෙ ඉඳලා මේ වෙනකල්ම සංගීත ප්‍රසංග හා සංගීත කටයුතු එක්ක කාර්‍යබහුල ජීවිතයක් මම ගත කරන්නේ. දෙළුම් මලක් කැසට් එකත් එක්ක මම අතිශය ජනප්‍රිය වෙනවා. ඒත් එක්ක වැඩ වැඩි වෙනවා. ප්‍රසංග ඉවර වෙලා පාන්දර ගෙදර එන්නේ. ඊට පස්සේ පැය දෙක තුනක් විවේක ගන්නවා. ආයෙමත් වැඩ. ඒ විදිහට ජීවිතේ ගෙවිලා යද්දී පවුලේ වැඩ ගැනත් දරුවෝ ගැනත් හොයලා බැලුවා. තවමත් කොච්චර කාර්‍යබහුල වුණත් පවුලේ වැඩ ගැනත් හොයලා බලනවා. පවුලක් හැටියට නිතරම රැඳෙන්න බැරි වුණත් පුළුවන් උපරිමයෙන් මම බිරියට උදව් කළා. දරුවන්ට හා බිරියට මාව මඟ හැරිලා ඇති. මටත් ඔවුන් මඟ හැරිලා තියෙනවා . නමුත් එහෙම දුකක් කියලා නැහැ. පසුතැවීමකුත් නැහැ.


ඒ කාර්‍යබහුල ජීවිතේ ඉවසගෙන හිටිය බිරියක් ද ඔබට හිටියේ..?


ඔව්. මගේ බිරිය කුමාරි පීරිස්. ඇය අතිශය සාමාන්‍ය චරිතයක්. අපිට ගෙදර වැඩ කරන්න මිනිස්සු නැහැ. මගේ බිරිඳ තමයි මගේ, දරුවන්ගේ වගේම ගෙදර දොරේ සියළුම වැඩ හොයලා බලලා කරන්නේ. දරුවන්ට කිසිදෙයක් අතපසු නොවෙන්න මගෙන් විය යුතු වැඩ කොටසත් ඇය හොයලා බලලා කරනවා. අදටත් ඒ ඉවසීම ඒ විදිහටම ඇයට තියෙනව. ඇගේ සහාය එක්ක තමයි මම සංගීත ජීවිතේ මේ තරම් දුරක් ආවේ.


ඔබේ පුතා ඔබ තරම් ජනතාව අතරට ගියේ නැහැ. ඒ ගැන ඔබට දුකක් නැද්ද ..?


පුතා කවිඳු පීරිස්. එයත් සංගීතයට සම්බන්ධ වෙලා වැඩ කරගෙන නිහඬ ගමනක් යනවා. එයාගේ දක්ෂතා ගැන මට සතුටු වෙන්න පුළුවන්.


කාර්‍යබහුල ජීවිතේ එක්ක දැන් මහන්සියි විඩාව නිවා ගන්න ඕන කියලා හිතිලා නැද්ද ..?


මහන්සිය උපරිමයෙන් දැනිලා තියෙනවා. ඒත් ලැබෙන විවේකයෙන්, සතුටින් නිදහසේ ජීවත් වෙලා තවදුරටත් වැඩ කරගෙන යන්න උත්සාහ කරනවා. කලාව එක්ක ජීවිතේ බද්ධ වෙලා නිසා ඇතැම් වෙලාවට මහන්සිය විඩාව දැනෙන්නෙත් නැහැ. මම දැන් මේ ජීවිතේට හුරු වෙලා ඉන්නේ.


දශක තුනකට පෙර ඔබ රොෂාන් ප්‍රනාන්දු එක්ක එක්ව ඔහුගේ ඩ්‍රම්ස් හඬට නිකමට වගේ තාල ඇල්ලූ තරුණයෙක්. ඒ සුන්දර මතකය ගැනත් මතක් කරලම අපි කතාබහ අවසන් කරමු..?


රොෂාන්ගේ මහගෙදර හා මගේ ගෙදර තිබුණේ මුහුණට මුහුණ. රොෂාන්ගේ තාත්තා මට කිව්වා කිංස්ලි හවස හවසට ඇවිත් රොෂාන් ඩ්‍රම්ස් ගහද්දි සිංදු කියන්න කියලා. රොෂාන් තේ කොළ පෙට්ටිවලට ගගහා ඩ්‍රම්ස් පුරුදු වුණා . මම නිකන් සින්දු කිව්වා. මේ සිදුවීම වෙන්නෙ අවුරුදු තිස් දෙකකට කලින්. ඊට පස්සේ එක්කෙනා එක්කෙනා එකතු කරගෙන අපි බෑන්ඩ් එකක් හදා ගත්තා. අපි දෙන්නා තමයි මුලින්ම පටන් ගන්නෙ. ඒ විදිහට සුළුවෙන් පටන් ගත්ත ගමන තමයි මේ තරම් දුරක් ආවේ. 2010 වෙද්දීත් අපි එතරම් ජනප්‍රිය නැහැ , ඊට පස්සේ තමයි ෆ්ලෑෂ් බෑක් ජනතාව දන්න බැන්ඩ් අතර සන්නාමයක් වෙන්නේ.


 හර්ෂණී වීරරත්න



Previous Post Next Post