නෑ එමාෂා තාම විවාහ වුණේ නෑ -එමාෂා සෙනෙවිරත්න



වසර ගණනාවක් තිස්සේ ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් දෙවෙනි ඉනිම ටෙලි නිර්මාණයේ සහේලී ඇයයි. ඒ ඇයගේ කුලුඳුල් රංගන අත්දැකීමයි. ඒ හරහා ලැබුණු ප්‍රේක්ෂක ආදරය හිතුවක්කාරී ටෙලි නිර්මාණයේ රන්මිණී නිසා තවදුරටත් වර්ධනය වූවාය. දෙරණ නාළිකාවේ මේ දිනවල විකාශය වන ප්‍රාර්ථනා මෙන්ම ස්වාධීන රූපවාහිනී නාළිකාවේ ආයාචනා හි ද ඇය අභියෝගාත්මක රංගනයක නියැළෙන්නීය. සහේලි, රන්මිණී, ප්‍රාර්ථනා, ලිහිණි මේ කුමන නමින් ඇමතුව ද සැබෑ ලොවෙහි ඇය එමාෂා සෙනෙවිරත්නය. ජනප්‍රියම ටෙලි නිර්මාණ දෙකක් සමඟ කාර්යබහුල වී සිටින ඇය අද අපේ කතාබහට එක්වූවාය.


එමාෂා මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද?


ඔව්. මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය වන ප්‍රාර්ථනා වගේම අයි. ටී. එන්. නාළිකාවේ විකාශය වන ආයාචනා ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතවලින් සම්බන්ධ වෙලා ඉන්නවා. ආයාචනා පසිඳු නූපේආරච්චිගේ කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය. මීට කලින් මං ඔහුත් එක්ක මියුසික් වීඩියෝ දෙකකට සම්බන්ධ වෙලා හිටිය නිසා මට ඔහු ගැන අවබෝධයක් තිබුණා. ආයාචනා කියන්නේ ටිකක් වෙනස් කතාවක්. මුල් කොටස් කිහිපයෙන් ප්‍රේක්ෂකයාට කුතුහලයක් ඇති කරවන ගමන්ම පස්සෙ කතාව ලස්සනට ගලාගෙන යනවා. පසිඳු අයිය වගේම තිර රචනය කළ අරුණ ප්‍රේමරත්න අයියවත් මතක් කරන්න ඕන. ප්‍රාර්ථනා කියන්නෙත් ඉපදුණු ගමන්ම අතුරුදන් වුණු තමන්ගෙ නැගණිය සොයාගෙන යන අතරේ තමන් සතු සංගීත හැකියාවෙන් තම මව සහ ආච්චි අම්මා රැකබලා ගන්න දිරිමත් තරුණියක්.


ඔබ ක්ෂේත්‍රයට පිවිසුණු අයුරු කියනව නම්?


පුංචිම කාලෙ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් වෙන්නත් ආසාව තිබුණා. ඒත් ගෙදරින් ඒකට ඉඩක් ලැබුණෙ නෑ. ටිකක් දැනුම් තේරුම් වයසට ආවට පස්සෙ තමයි දැන් ඔයාට කැමති දෙයක් කරන්න කියන අවසරය ලැබුණේ. මුලින්ම මම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. මගේ ෆොටෝ වගයක් දැකලා ප්‍රභාත් චතුරංග කියන අයියා තමයි මට දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නේ. ඒ දෙවෙනි ඉනිම ගොඩක්ම ජනප්‍රිය කාලේ. නොහිතූ විදිහට ලැබුණු ඒ අවස්ථාව තමයි මේ දක්වා ආවේ. සාරංග මෙන්ඩිස් අයියා වගේම සමන් එදිරිමුණි අයියාවත් මේ වෙලාවෙ ආදරෙන් මතක් කරන්න ඕන. ඊට පස්සෙ එක දිගටම නිර්මාණ රැසකට සම්බන්ධ වුණා.


එමාෂා කියන්නෙ අධ්‍යාපන සුදුසුකම් අතින් පිරිපුන් රංගන ශිල්පිනියක්?


මේ වෙද්දි කලාවට පිවිසෙන බොහෝ දෙනෙකුට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිතයි. කලාව කියන්නෙත් අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතු විෂයයක්. වෘත්තීය පැත්තෙන් ගත්තොත් මං අයිති ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යාපාර පරිපාලනය පැත්තට. මේ වෙද්දි මං අයර්ලන්තයේ විද්‍යාවේදී කළමනාකරණ ගෞරව උපාධිධාරිනියක්. ඒ වගේම එංගලන්තයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරිනියක්. කලාවට මං සම්බන්ධ වෙලා ඉන්නෙ විනෝදාංශයක් විදිහට. කලාවෙන් මට ගොඩක් දේවල් ලැබුණා. ඒ වගේම මාත් කලාව වෙනුවෙන් බොහෝ දේ කැප කළා. මුලින්ම මං විශ්වවිද්‍යාලයක කවුන්සිලර් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් තමයි කලාවත් එක්ක සම්බන්ධ වුණේ. ඒත් කලාවත් එක්ක කාර්යබහුල වෙද්දි මට රැකියාව අතාහරින්න වුණා. ඒ වගේම හිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙලා හිටපු කාලෙත් මට විදෙස් රටකින් රැකියා අවස්ථාවක් ලැබුණෙ මුලික වැටුප විතරක් ලක්ෂ පහළොවක් එක්ක. ඒත් නිර්මාණයවත් අධ්‍යක්ෂවරයාවත් චැනල් එකවත් අතරමං කරන්න බැරි නිසා මං ඒ අවස්ථාව අතහැරියා. දැනට සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ ඉවර කරලා ඉදිරියේදී කලාවෙන් ටිකක් ඈත් වෙලා නැවතත් රැකියාව පැත්තට යොමුවීමේ බලාපොරොත්තුවක් තියෙනවා.


ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් ප්‍රේක්ෂකයන් කැමැත්තෙන් ඇති?


මට ඉන්නෙ අම්මයි තාත්තයි මල්ලියි. මල්ලිගෙයි මගෙයි වැඩ කටයුතුවල පහසුවට කොළඹ නැවතිලා හිටියත් මගේ ගම බදුල්ල. මගේ තාත්තා ඉංජිනියර් කෙනෙක්. ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා). අම්මා ඉංග්‍රීසි සහ තාක්ෂණවේදය පිළිබඳ ගුරුවරියක්. මල්ලිත් ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒ වගේම ව්‍යාපාරිකයෙක්.


එතකොට එමාෂා විවාහ වුණා කියලා පහුගිය කාලෙ සමාජ මාධ්‍ය කැලඹූ ආරංචිය මොකක්ද?


ඒ ගැන නම් මතක් කළ යුතුමයි. ඒක මං කළ බ්‍රයිඩ්ල් ෂූට් එකක්. මගේ මල්ලිමයි ඒක කළෙත්. ඒක ලොකේෂන් ප්‍රවර්ධනය සඳහා කළ ෆොටෝ ෂූට් එකක් විතරයි. ඒත් අන්තිමට හැමෝම හිතුවේ එමාෂා විවාහ වුණා කියලා. ඒ සිද්ධියෙන් මාත් ගොඩක් අපහසුතාවට පත්වුණා. නෑ නෑ. එමාෂා තාම විවාහ වුණේ නැහැ.


එමාෂාගෙ විවාහයත් ඉක්මනින් සිදුවෙයි නෙ?


අනිවාර්යයෙන්ම. මං බලාපොරොත්තු වෙන ආදරය ලැබුණු දවසට.


ඒ කියන්නෙ එමාෂා බලාපොරොත්තු වුණ ආදරය ලැබුණෙ නෑ. ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ආදරයක්ද?


මම කෙනෙකුට ආදරය කරද්දි අංක එකට බලාපොරොත්තු වෙන්නෙ ඒ කෙනාත් මට සීයට සියයක් ආදරේ කරනවද කියන එක. ඒ වගේම අවංක වෙනව ද විශ්වාසය රකින කෙනෙක්ද ගුණයහපත් මනුස්සයෙක්ද කියන එක. එහෙම නැති තැන මම ඉන්නෙ නැහැ. මම ආදරේ වෙනුවෙන් ඕන තරම් කැපකිරීම් කරන කෙනෙක්. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හම්බ කරන හැම සතේම වුණත් වියදම් කරන කෙනෙක්. මට ඕන අවංකකමයි ආදරයයි. අන්න ඒ මූලික පදනමවත් නැත්නම් එතන සම්බන්ධයක් රැඳෙන්නෙ නැහැ. අනිත් දේවල් බලන්නෙ පස්සේ. අවංකකම, විශ්වාසය, ආදරය, තේරුම් ගැනීමත් එක්ක එයා මට ප්‍රමුඛතාව දෙනව නම් ඒ කෙනා මගේ ලෝකෙම කරගන්න කෙනෙක් මං. ඒ වගේ කෙනෙක් හමුවුණු දවසට අනිවාර්යයෙන්ම මං එයා ළඟ නතර වෙයි.


 නාමලී ගමගේ



Previous Post Next Post