මේක තමයි ලෝකෙ තියෙන වාසනාවන්තම වෘත්තීය-රවින්ද්‍ර රන්දෙණිය




ඔහු ලාංකික සිනමාවේ විසල් පරාසයක් පුරා දිවෙන චරිත ඇසුරින් තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ රංගධරයෙකි. සිනමාව තුළ ප්‍රේක්ෂකයා ආලය කළ එකම ප්‍රති වීරයා ඔහුය. මෙම ප්‍රවීණ රංගධරයාගේ අඩ සියවසක සිනමා දිවිය සිහිපත් කිරීම උදෙසා “රවි සිනමා අඩ සියවසක ආත්ම භාෂණය” ජුනි මස පස් වැනිදා පැවැත්වීමට නියමිතයි. ඔහුගේ සිනමා දිවියෙහි අඩසියවසක මතකයන් සොයා යෑමට ඔහු අප හා එක් වූයේ මෙලෙසිනි. අද  එක්වන්නේ හෙළ සිනමාවේ රවීන්ද්‍රය ප්‍රවීණ රංගධර රවින්ද්‍ර රන්දෙණිය.


ඔබේ රංගනයේ තිඹිරිගෙය වේදිකාව අපි එතැනින්ම කතාව අරඹමු?


මම වසර පනහකට පෙර තමයි ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට බැ‍ෙ¾දන්නේ. එදා පටන් මට එයින් ලැබුණු දායාද පිළිබඳව මම ඉතා විවෘතව කතා කරනවා. ඇතැමුන් අතර මතයක් තිබෙනවා රංගනය ඉගෙන ගත යුතු දෙයක්ද කියලා. නර්තනය, ගායනය, චිත්‍ර ශිල්පය වගේ කලාවන්ට විසල් පුහුණුවක් අවශ්‍ය වෙනවා. නමුත් රංගනය එහෙම හදාරන්න අවශ්‍ය නැහැ කියලා මතයක් තිබෙනවා. රංගනය කියන්නේ තමන්


තමන්ව නොපිට පෙරළලා වෙනත් කෙනෙක් මවන එකට. තමා තමා ලෙසම පෙනී සිටිනවා නම් එතැන රංගනයක් නැහැ. ඒක පොතෙන් පතෙන් ලබා ගන්නවාට වැඩිය ප්‍රායෝගික අභ්‍යාසයෙන් ලැබිය යුතු සියුම් දෙයක්. අපි සිරුර හරහා ප්‍රකාශ කරන්නේ චෛතසිකයන්. ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව හරහා මම මේ දේවල් හැදෑරුවා ඒ වගේම ඒ හරහා මට මේ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇසුරු කරන්න ලැබුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති වැනි විශිෂ්ටයන් සමඟ ඇසුරු කරන්න වගේම බොහොදේ හදාරන්නත්, ඔවුන් සමඟ සංවාද කරන්නත් මට අවස්ථාව විවර වුණා. මගේ රංගන ජීවිතයේ පදනම වුණේ එතැන.


කියවීම කියන විසල් පුරුද්ද ඔබේ ජීවිතයට කළ බලපෑම ගැන කතා කරනවා නම්?


පොතක් කියන්නේ කෙනෙක්ගේ ජීවිත කාලයක අත්දැකීම් සම්භාරය කැටි කරපු දෙයක්. අපිට කියැවීම තුළින් විශිෂ්ටයන්ගේ ජීවිතවලට සමීප වෙන්න පුළුවන්. නවකතාවක වුණත් තිබෙන්නේ ලේඛකයාගේ ජීවිතයේ අත්දැකීම්වල සාරය. ලියෝ ටෝල්ස්ටෝයි, ඇලෙක්සැන්ඩර් පුෂ්කින් පටන් විශිටයන්ගේ පොත් කියැවීමට ලැබීම මගේ වාසනාවක්. මම එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ, මාටින් වික්‍රමසිංහ වැනි ලේඛකයන් කියෙව්වේ පහේ හයේ පන්තිවලදී. වැඩිහිටියෝ එවැනි පොත් කියවනවාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. කියැවීම තුළින් අපිට


ජීවිතය හ¾දුනා ගන්න හරි විධියට දකින්න කියා දෙනවා. කියැවීම තරම් මිනිසාගේ ප්‍රඥාව මතුකරන වෙනත් දෙයක් නැහැ. සාහිත්‍ය තුළින් ජීවිතය පිළිබඳව ප්‍රබුද්ධ ආකල්පයකින් බලන්න පෙළඹවීමක් කරනවා. සාහිත්‍යයෙන් තොරව කලාකරුවෙක්ට දැක්මක් ඇතියි කියා මම සිතන්නේ නැහැ.


ඔබ ලාංකික සිනමාවේ රැඩිකල් ප්‍රේමවන්තයා ලෙස හ¾දුන්වන්න පුළුවන්. ඒ භූමිකාව පිළිබඳව ඔබේ අදහස?


මම චරිත තෝරා ගැනීමේදී නිර්භයව චරිත තෝරා ගත්තා. ඒකට හේතුව වේදිකාව. රංගනය කියන්නේ තමන්ට පැවැරෙන භාරගන්නා චරිතයට උපරිම සාධාරණයක් ඉටු කිරීම. චරිතයේ ස්වරූපය හෝ ස්වභාවය නෙවෙයි චරිතයේ ඇතුළාන්තය සොයා ගැනීම තේරුම් ගැනීම රංගන ශිල්පියාගේ වගකීමක්. මාව රැඩිකල් ප්‍රේමවන්තයෙක් ලෙස දකින්නේ මම චරිතවල ස්වරූපය සොයන්නේ නැතිව විවිධත්වය සොයා ගිය නිසා. මම විවිධ පරාසයන්වල චරිත නිරූපනය කළ නිසාම අධ්‍යක්ෂවරුන් පවා සාම්ප්‍රදායික කතාවෙන් වෙනත් මඟක ගමන් කරන සිනමාපට නිර්මාණය කරන්න පටන් ගත්තා. මාව යොදාගෙන තමන්ගේ චිත්‍රපට වෙනස්ම ආකාරයට ඉතා රැඩිකල් විධියට කරන්න ඔවුන් පෙළඹුණා. අශෝක හඳගමගේ අක්ෂරය කියන්නේ ඒකට හොඳ නිදසුනක්.


සිංහල සිනමාවේ මිනිසුන් ආලය කළ එකම  දුෂ්ටයා ගැන කතා කරමු?


ලංකාවේ ප්‍රේක්ෂකයාගේ වීරයෙක් ලෙස ආදරය දිනාගත් මම දඩයම චිත්‍රපටයේදී ඉතා කුරිරු චරිතයකට රංගනයෙන් දායක වුණා. මේකට මම ඉබේ ඇදිලා ගියේ නැහැ. මම වසන්තගෙන් ඇහුවා වසන්ත මම මේක කරලා පාරේ බැහැලා යන්නේ කොහොමද කියලා. වසන්ත මට කිව්වා මේ දෙය ඔයා වෙනුවෙන් නෙවෙයි ලාංකික සිනමාව වෙනුවෙන් කරන දෙයක් කියලා හිතාගෙන කරන්න කියලා. මම ඒ අවදානම ගත්තා. මම දුෂ්ට චරිත රඟපාලා කවදාවත් අවසාන රාමු කිහිපයේදී හොඳ මිනිහෙක් වුණේ නැහැ. භාවනා කරන්න මහණ වෙන්න ගියේ නැහැ. මම තිරයෙන් ඉවත් වුණෙත් දුෂ්ටයෙක් විධියටම තමයි.


දුෂ්ටකම කියන්නේ සෞන්දර්යක්ද?


දුෂ්ටකම කියන්නේ මනුෂ්‍ය ජීවිතයේ තිබෙන එක් අංගයක්. එක් එක් මනුෂ්‍යයා තුළ අඩු වැඩියෙන් ඒ දෙය තිබෙනවා. සමාජ සම්මතය අනුව ඒ දෙය අඩුවෙන් ඇති අය හොඳ මිනිසුන් ලෙසත්, වැඩියෙන් තිබෙන අය නපුරු මිනිසුන් ලෙසත් හ¾දුන්වනවා. අපි බුද්ධත්වයට එළැඹෙන තුරුම ඒ දෙය පවතිනවා. මේක මනුෂ්‍ය ස්වභාවයක් පමණයි. දුෂ්ට චරිතයක් කියලා අපි ඇතැම් චරිත හැඳින්වූවාට ඒ චරිතයත් සාමාන්‍ය මිනිස් චරිතයක් විතරයි. ඒ චරිතයේ නපුරුකම අනෙක් චරිතවලට වඩා වැඩියි. හැබැයි මම නෙවෙයිනේ ඔය කවුරුත්. මම පුරන් අප්පු විධියට රඟපෑවට ජාතික වීරයෙක් නෙවෙයි. පොඩි මල්ලි චිත්‍රපටයේදී ජැක් එකකින් ගහලා අයියව මරලා දාපු සහෝදරයා මම නෙවෙයි. මට පූස් පැටියෙක්වත් කාර් එකකට යට කරලා මරන්න බැහැ. දුෂ්ටකම කියන්නේ ඒ චරිතයේ තිබෙන යම් ලක්ෂණයක් පමණයි.


සිනමාව පිළිබඳව විසල් පරිචයකින් හෙබි ඔබ අධ්‍යක්ෂවරයෙක් නොවූයේ මන්ද?


මේක මට උත්තරයක් නැති ප්‍රශ්නයක්. මේක දෛවෝපගතව සිදුවුණු දෙයක් වගේ. මට සිනමා තාක්ෂණය ගැනත් හොඳ දැනුමක් තිබුණා. සිනමාවට එන්න බොහෝ කාලයකට පෙර මගේ විනෝදාංශය වුණේ ඡායාරූපකරණය. මට කැමරාව ඉස්සරහ තිබෙන ලෙන්ස් එක අෑත ඉඳලා කියන්න පුළුවන්. කැමරා කෝණ සහ කැමරා භාවිතය ගැනත් මට දැනුමක් තිබෙනවා. මේ කර්මාන්තයේ වසර ගණනාවක් සිටි නිසාම සිනමාවට අදාළ සකළ දෙය පිළිබඳවම මට දැනුමක් තිබුණා. මේක මහා ගැඹුරු දෙයක්. මම සිනමා ලෝකයට ඇතුළු වුණ මොහොතේ පටන්ම ඉතා කාර්යබහුල වුණා.


ඒ නිසා මට වෙනත් දෙයක් ගැන හිතන්න වෙලාවක් තිබුණෙ නැහැ. අධ්‍යක්ෂවරයෙක් වෙන එක මට සිහිනයක් විධියට තිබුණා. දවසක් මට ජයලත් මනෝරත්න පොතක් ගෙනල්ලා දුන්නා. මම ඒ පොත එදා රෑම කියෙව්වා. පොතෙන් සිනමාපටයක් නිර්මාණය කරන්න අවසරත් ලබා ගත්තා. කොහොම හරි විවිධ වැඩකටයුතු සමඟ ඒ දේ මඟ හැරුණා. අදටත් මම පොත අතේ තියාගෙන බලන් ඉන්නවා ඒ පොතේ නම සෙන්කොට්ටන්. අධ්‍යක්ෂණය සිනමාව වෙනුවෙන් මා කළ යුතුම දෙයක් වුණත් මඟ හැරුණා.


අඩ සියවසක සිනමා දිවිය පිළිබඳව ආපසු හැරී බලන විට මොකද සිතෙන්නේ?


ඉතාම තෘප්තිමත්. මම ව්‍යාපාරික පවුලකින් පැවැත එන කෙනෙක්. මම ඒ හැමදේම අතහැරලා සිනමාවට අඩිය තියද්දී මේක මගේ ජීවන වෘත්තිය වෙයි කියලා සිතුවේ නැහැ. අද ජීවිතය දෙස ආපසු හැරිලා බලන කොට සිනමාවට ප්‍රවිෂ්ට වීම තමයි මම ජීවිතයේ ලබපු ලොකුම ආශීර්වාදය. දේශීය සිනමාව වෙනුවෙන් දායකත්වයක් ලබා දුන්නා කියන එක මට ලොකු හැඟීමක්. මේක තමයි මේ ලෝකයේ තිබෙන වාසනාවන්තම වෘත්තිය. මම දකින විධියට මිනිසුන්ගෙන් ගෞරවය ලබා ගත්තත් මේ තරම් මිනිසුන්ගෙන් ආදරය ලබා ගන්න පුළුවන් වෘත්තියක් නැහැ. ආදරයට වඩා වටින වෙනත් දෙයක් නැහැ. මම ලාංකික සිනමාවේ විශාල පරාසයක චරිත රඟපෑවා. මම මගේ ජීවිතයේ කිසිම කැලැලක් කරගෙන නැහැ. මම මගේ ගමන ගැන ඉතාම තෘප්තිමත්.


ගිහාන් සචින්ත



Previous Post Next Post