පෙම් බැන්ද සිත් බැන්ද ඉඳුදුන්න මැකිලා…




හෙතෙම ශ්‍රී ලාංකේය සංගීත විලෙහි පිපි ගී සියපතය. හැත්තෑව දශකය රසවත් කළ මධුර හඬ අතර පෞරුෂය පිරි චන්‍ද්‍රකුමාර කඳනආරච්චිගේ හඬ සුවිශේෂය.විශාල ගීත සංඛ්‍යාවකට හිමිකම් නොකීව ද චන්‍ද්‍රකුමාර කඳනආරච්චි ගී අතළොස්ස දශක ගණනාවක් පසුවීත් දිනෙන් දින අලුත් වෙමින් එදා මෙදාතුර රසික හදවත් වැළඳ ගත්තේ හඬ පෞරුෂය හා සමානව ගීතවල ඇති මාධුර්යය නිසාය.


ඇගෙ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, නෙළුම් විලේ කැළුම් පෙරා, සිතේ සතුට ජීවිතයේ මිහිර ළංවුණා, ගම මහනුවරයි වැනි ගීත ඒ අතර සුවිශේෂය.සොඳුරු මිනිසකු, කලාකරුවකු ගැන දිගු පූර්විකාවක් ලිවිය යුතු මුත් හෙතෙම පසුගිය අඟහරුවාදා දිවි සැරිය නිමා කළේ රසාලිප්ත මතකයන් අප අතර ඉතිරි කරමිනි. ඔහු සමග වසර කිහිපයකට පෙර කළ මේ සංවාදය නැවත පළ කරන්නේ ඔහුට උපහාර පිණිසය.


සුබ ගමන් කලාකරුවාණෙනි…!


1969/1970 කාලයේදී අපි දන්න චන්ද්‍රකුමාර කඳනආරච්චි ගිටාර් වාදකයෙක්. එහෙම නේද?


මම පාසල් යන කාලේ ඉඳන් ගිටාර් වාදනය කළා. මගේ සහෝදරයොත් සංගීතයට ළැදියි. වික්ටර් කඳනආරච්චිත් හොඳ ගිටාර් වාදකයෙක්. ඔහුගේ සහයෝගයෙන් තමයි මමත් ගිටාර් වාදනය ඉගෙන ගත්තේ. පස්සේ මම ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවය කළා. ඒ දවස්වල කටුබැද්දේ තිබුණා ස්පැරෝ වොයිස් කියලා සංගීත කණ්ඩායමක්. මම එහි හවායින් ගිටාර් වාදකයෙක් විදිහට කටයුතු කළා.


මුලින්ම සංගීතයට සම්බන්ධවෙන්නේ හවායින් ගිටාර් වාදකයෙක් විදිහට?


නැහැ. ඊට කලින් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සහාය ගායකයෙක් විදිහට කටයුතු කළා. ඒ දවස්වල ටියුඩර් කඳනආරච්චි සහ වික්ටර් කඳනආරච්චි කියන මගේ සහෝදරයන් දෙදෙනා ගුවන්විදුලියේ ගායකයන් විදිහට කටයුතු කළා. ඔවුන්ගේ මාර්ගයෙන් තමයි ගායනයට යොමුවුණේ. ඒ කාලෙදීම තමයි හවායින් ගිටාර්වාදකයෙක් විදිහටත් කටයුතු කළේ.


ඔබ ගුවන්විදුලියෙත් බී ශ්‍රේණියේ ගායකයෙක් බවට පත්වුණා නේද?


ඔව්. සහාය ගායකයෙක් හැටියට මට ඒ දවස්වල නිතර ගුවන්විදුලියට යන්න සිද්ධවුණා. ඒ අවස්ථාවේදී තමයි මට ගුවන්විදුලියේ හඬ පරීක්‍ෂණවලට පවා යන්න සිද්ධවුණේ. ඒ අනුව 1971 දී නෙළුම් විලේ කැළුම් පෙරා කියන ගීතය පිටස්තරව පටිගත කළා.


ඒ කාලේ ඔබට ගුවන්විදුලියෙන් සහයෝගයක් ලැබුණේ නැතිද?


ඒ කාලේ කොහොමටත් ගුවන්විදුලියෙන් සහයෝගයක් ලැබෙනවා අඩුයි. එකම ගුවන්විදුලියනේ තිබ්බේ. මිල්ටන් මල්ලවආරච්චි පවා පිටස්තරව තමයි ගීත පටිගත කළේ. ඊට පසුව තමයි ගුවන්විදුලියට පරිත්‍යාග කළේ.


නෙළුම් විලේ කැළුම් පෙරා ගීතයේ පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස් විසින්. කොහොමද ඒ හමුව සිදුවුණේ?


මම හවායින් ගිටාරයෙන් තමයි තනුව නිර්මාණය කරගත්තේ. පද පේළිය ලියලා දුන්නේ හරි අපූරු විදිහට. මම තනුව නිර්මාණය කරලා ගුවන්විදුලියට ගිහිං ප්‍රේමකීර්ති අතට දීලා කිව්වා මේකට පද පේළියක් ලියලා දෙන්න බැරිද කියලා. අයියලා දෙන්නා හින්දා මම ප්‍රේමකීර්තිව හොඳට හඳුනනවා. ඒ කාලේ ගුවන්විදුලියේ කවුන්ටරයෙන් ඇතුළට නවකයන්ට යන්න දෙන්නේ නැහැනේ. කවුන්ටරය ළඟ මම වාඩිවෙලා හිටියා. ඒ වෙලාවේ ප්‍රේමකීර්ති ඇහැව්වා මොකක්ද ටියුන් එක කියලා. එහෙම අහලා හරි… හරි… මගේ කනට වැටුණා කියලා කියාගෙන ගියා.


ඊට පස්සේ මොකද වුණේ?


හරි චන්ද්‍රා මම ඇතුළට ගිහිං එන්නම් කිව්වා. හැබැයි විනාඩි පහක් දහයක් ගියේ නැහැ ආපහු එළියට ආවා. මම ඒ වෙලාවේ හිතුවා සින්දුව ලියන්න මෙයාට වෙලාව නැහැ කියන්න තමයි මේ එන්නේ කියලා. හැබැයි අතේ කොළයක් එහෙමත් තිබුණා. කොළය මට දික්කරලා ප්‍රේමකීර්ති ඇහැව්වා, චන්ද්‍රා බලන්න ටියුන් එක හරිද කියලා. අන්තිමේ ශබ්දාගාරයක පටිගත කළා.


පළමු ගීතය කරලා අන්තිමේ ගුවන්විදුලියට භාරදුන්න ද?


එතැනදී මෙහෙම දෙයක්නේ වුණේ. මගේ තනුවට උපාලි කන්නන්ගර සංගීතය සැපයුවා. අන්තිමේ ටේප් එක දුන්නා හඬ පරීක්‍ෂණයට. ඒ වෙලාවේ හිටපු පාලකවරයා විශාරදවරයෙක්ට භාර දුන්නා සින්දුව හොඳනම් තැටියට කපන්න කියලා. මට ඒ අවස්ථාවේ උදව් කළේ කේ. ඩී. කේ. ධර්මවර්ධන. අතීතයෙන් එක් දවසක් කියලත් ගීතයක් ලබාදුන්නා. ඒ ගීතයේ අමුතු හඬක් තිබුණේ.


නෙළුම් විලේ ගීතයෙන් පසුව 1973 දී කේ. ඩී. කේ. ධර්මවර්ධන ‘ඇගෙ සිනහව තහනම්’ ගීතය ඔබට ලියලා දෙනවා?


මම රස්සාව කළේ ගුවනෙනේ. අහස්යන්තරාවේ යන ගමන් මම තනු නිර්මාණය කරනවා. එහෙම කරපු ටියුන් එකක් තමයි ඇගෙ සිනහව තහනම් ගීතයට යොදාගත්තේ. ඒ කාලේ තර්ස්ටන් විදුහලේ පිට්ටනියේ තිබුණේ ලොකු මහජන පොළක්. එතැන තිබුණ කිරි හලේ කේ. ඩී. කේ. මාත් එක්ක වාඩිවෙලා ඉන්න ගමන් තමයි ඇගෙ සිනහව තහනම් ගීතය ලිව්වේ.


නෙළුම් විලේ, ඇගෙ සිනහව තහනම් ගීත හරි ජනප්‍රිය වුණා නේද?


ඒ කාලේ ගුවන්විදුලියේ ඉංග්‍රීසි චැනල් එකේ සිංහල සින්දු ගහනවා හරි අඩුයි. නමුත් මම කියපු ඇගෙ සිනහව තහනම් ගීතය ප්‍රචාර වුණා. ලංකාවේ ගීතයකට පළමුවෙන්ම ස්ලෝරොක් කියන බීට් එක එකතු කළේ ඔය ගීතයෙන්.


ඊට පසුව පෙම් බැන්ද, සිතේ සතුට, ගම මහනුවරයි කියන ගීත කිහිපයක් නිර්මාණය කරනවා?


ගම මහනුවරයි කියන ගීතය නිර්මාණ වුණෙත් ඇගෙ සිනහව තැටියටමයි. ගම මහනුවරයි ගීතය නිර්මාණය වුණෙත් හරි අපූරු විදිහට. විජය කුමාරතුංග හිටපු ගෙදරට ඉස්සරහ ගෙදර තමයි කේ. ඩී. කේ. ධර්මවර්ධන පදිංචිවෙලා හිටියේ. ඉතිං කේ. ඩී. කේ.යි මායි කේ. ඩී.කේ. ලගේ ගෙදර පිලේ වාඩිවෙලා ඉඳගෙන ඉන්න ගමන් තමයි ගම මහනුවරයි ගීතය ලිව්වේ. ඒ කාලේ විජය ෂූටිං ගිහින් එනකොට කොහේහරි දුරකින් ගෙනැවිත් තිබුණා මුවපැටියෙක්. ඌව ආදරේට තමයි ඇතිකළේ. අපි ඌ දිහා බලාගෙන ඉන්නවා. අන්තිමේ ඒ ගෙජ්ජි සද්දය ලොකු සහයෝගයක් වුණා තනුව නිර්මාණය කිරීමට. කේ. ඩී. කේ. ගැන කතා කරපු හින්දා විශේෂ දෙයක් තියෙනවා කියන්න.


ඒ මොකක්ද?


කේ. ඩී. කේ. ගේ සොහොන් කොතේ ඔහු විසින් ලියන ලද සුවිශේෂිත වූ ගීත කිහිපයක් එහි සඳහන් කරලා තියෙනවා. ඒ ගීතවල පද කෙටියෙන්, ඇගෙ සිනහව තහනම් -ගෙදරින් මට තහනම්, විරුවන් දිනූ මා ඉපැදුණ ගම මහනුවරයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.


ඒ කාලේ මුලින්ම ගිය සංගීත ප්‍රසංගය එහෙම මතකද?


ඒ කාලේ මට මතක විදිහට මුලින්ම ගියේ පිටකෝට්ටේ තිබුණ සංගීතයකට. ඊට පසුව රටපුරා සංගීත ප්‍රසංගවලට සහභාගි වුණා. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, එම්. එස්. ප්‍රනාන්දු කියන කට්ටිය එක්ක තමයි සංගීත ප්‍රසංගවලට ගියේ. ඔය අතරේ ෆීලික්ස් ඇන්ටන්, නිහාල් නෙල්සන්, පුන්සිරි සොයිසාත් හිටියා. එතකොට නිහාල් නෙල්සන්, පුන්සිරි සොයිසායි, ප්‍රියා සූරියසේනයි ඉස්සර අනුරාධපුරයේ සංගීතවලට කෝච්චිගේ නැඟලා ගිහිං සින්දු කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට සවුන්ඩ් ගෙනියන ලොරියේ අනුරාධපුරයට ගිහින් සින්දු කියලත් තියෙනවා. හැත්තෑව දශකයේ මුල් භාගය හරිම විනෝදජනකයි.


ඒ දවස්වල මුලින්ම ප්‍රසංගයකට ගිහින් ලැබුණ මුදල මතකද?


මට මතක විදිහට මුලින්ම කිව්වේ නෙළුම් විලේ, මගෙ නෙත් අතරේ කඳුළක් කියන ගීත. ඒ කාලේ මට හම්බවුණේ රුපියල් විසිපහයි.


ජෝතිපාලයන් සමග තිබුණේ මොනවගේ මිත්‍රත්වයක්ද?


මට ඒ කාලේ වාහන නැහැ. ඉතිං මම ජෝතිපාලගේ කාර් එකේ නැඟලා අනන්තවත් ප්‍රසංගවලට ගිහිං ඇති. අපරාදේ කියන්න බැහැ හරි ගුණයහපත් මනුස්සයෙක්. ඒ කාලේ පෙට්‍රල් ගහන්නේ ගැලුම්වලින්. කිසිම වියදමක් කරන්න දෙන්නේ නැහැ.


මුලින්ම ගීත ගයපු සංගීත කණ්ඩායම මතකද?


මගේ මතකයේ හැටියට අර්නස්ට් සොයිසාගේ සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමට. ඒ එක්කම ඒ කාලේ තිබුණ ඉංග්‍රීසි සංගීත කණ්ඩායම්වල පවා ගීත ගායනා කරලා තියෙනවා. ඒ කාලේ වැඩිපුරම මට සින්දු කියන්න හම්බවුණේ ත්‍රීසිස්ටර්ස් ප්‍රමුඛ සුපර් ස්ටාර් එක්ක. ඒ කාලේ මම හරි පීක්.


ටික ටික ජනප්‍රිය වේගෙන එනකොට ස්පැරෝ වොයිස් සංගීත කණ්ඩායම අමතක කළාද?


ඔවුන්ගේ සංගීත කණ්ඩායම පුංචි පසුබෑමක් ඇතිවුණා. මම ඒ අතරේ නෙළුම් විලේ ගීතය හරහා ගොඩක් දෙනෙක් දැන හඳුනාගෙන හිටියේ. අන්තිමේ මට ලැබෙන ප්‍රසංග එක්ක අතිශය කාර්යබහුල වුණා. මොකද මම ඒ දවස්වල රස්සාවකුත් කළානේ.


මුලින්ම කරපු කැසට් පටය මතකද?


ඇගෙ සිනහව තමයි මුලින්ම කරපු කැසට් පටය. ඉතාම සොච්චම් මුදලක් තමයි හම්බ වුණේ.


දිනේෂ් විතාන






Previous Post Next Post