සම්මානවලට රඟපාන්නේ නැහැ - මැරෙනකම් රඟපානවා




පසුගිය මාර්තු 22 වෙනිදා සිට දිවයින පුරා තිරගතකිරීම් ආරම්භ කළ අලුත්ම සිනමා නිර්මාණයක් තමයි උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කරපු "රිදී සීනු" චිත්‍රපටය. දිගු කලකට පස්සේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චිත් ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකින් දකින්න පුළුවන්. ඉතින් ඒ ගැන වගේම ඉසුරුගේ අලුත්ම වැඩකටයුතු ගැන අහන්න ඔහුට කතා කළා.




ඉසුරු මේ දවස්වල රංගන වැඩකටයුතු කොහොමද?




මගේ අලුත් චිත්‍රපටය "රිදී සීනු" පසුගිය මාර්තු 22 වෙනිදා ඉඳන් තිරගත වුණා. ඒ චිත්‍රපටය උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයක්. නිෂ්පාදනය නිශාන් හේවාගමගේ. "රිදී සීනු" කියන්නේ පාසල් ළමයි දෙන්නෙක් වටා ගෙතුනු ගොඩාක් ලස්සන චිත්‍රපටයක්.




"රිදී සීනු" චිත්‍රපටයේ තිර පිටපත ගැන කෙටියෙන් කිව්වොත්?




එක පාසලක පාසල් ලමයි දෙන්නෙක් කරපු වැඩක් රටේ ජනාධිපතිතුමා දක්වා ගිහින් සිදුවෙන අපූරු සිදුවීම් මාලාවක් තමයි චිත්‍රපටයේ තියෙන්නේ. ඒක ගැන තවත් විස්තර කළොත් රසයට හානියක් වෙන්න පුළුවන්.




චිත්‍රපටයේ ඔබට ලැබුණු චරිතය කොහොම එකක්ද?




මං ඉන්නේ ඒ පාසල් ළමයි දෙන්නගේ තාත්තට. කාලෙකට පස්සේ තමයි මට එහෙම වැඩිහිටි චරිතයක් ලැබුණේ.




චිත්‍රපටය තුළ ඔබේ බිරිඳට ඉන්නේ උපේක්ෂා ස්වර්ණමාලි නේද?




ඔව් මගේ බිරිඳට රඟපාන්නේ උපේක්ෂා ස්වර්ණමාලි. ඇයගෙන් මට ඉතා හොඳ සහායක් මගේ චරිතය කරන්න ලැබුණා.




"රිදී සීනු" චිත්‍රපටය තිරගත වෙලා දවස් කීපයක් ගියා. ප්‍රතිචාර හොඳයිද?




ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාසල් ළමයින් ගුරුවරුන් දෙමාපියන් "රිදී සීනු" බලනවා නම් මං කැමැතියි. ඒ හැමෝටම ගන්න දෙයක් චිත්‍රපටයේ තියෙනවා. ඒක නිසා හැමෝටම ඇවිත් බලන්න කියලයි කියන්න තියෙන්නේ.




 මේ දවස්වල ඔබ ඉන්න තවත් හරි සුවිශේෂී චිත්‍රපටයක් ගැනත් කතාබහක් යනවා. ඒ ගැනත් මතක් කළොත්?




 ඔබ ඔය කියනවා ඇත්තේ "ගිනිඅවි සහ ගිනිකෙළි 2" චිත්‍රපටය ගැන වෙන්න ඕන. 90 දශකයේ තිරගත වුණු "ගිනිඅවි සහ ගිනිකෙළි" චිත්‍රපටියයේ දෙවැන්න විදිහටයි ඒක නිර්මාණය වෙන්නේ. මං තමයි එහි "ලකී" කියන ප්‍රධාන චරිතය කරන්නේ. මෙරට දේශපාලනයේ අඳුරු යුගයක් වුණු 80 දශකයේ අග සහ 90 දශකයේ මුල් කාලයේ සිදුවුනු සිදුවීමක් ඇසුරෙන් තමයි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. බොහෝ දුරට මේ අවුරුද්දේ අවසානෙට වගේ ඒක සිනමාශාලාවලට පැමිණෙයි.




එහි පළමුවැන්නේ හිටියේ ජැක්සන් ඇන්තනී නේද?




 ඔව් ඔව්. ජැක්සන් ඇන්තනී තමයි ප්‍රධාන චරිතය කළේ. ඒ තුම්මුල්ලේ පත්මෙගේ.  




බලාගෙන ගියාම ඉසුරු කියන්නේ ඕන චරිතයකට ඔට්ටු නළුවෙක්?




ඔව් නළුවෙක් වුණාම එහෙම වෙන්න එපැයි. මට තාම ඕන චරිතයක් ඔට්ටුයි.




"මට තාම ඕන චරිතයක් ඔට්ටුයි" කිව්වේ මොකද? එහෙම බැරි කාලත් ඉස්සරහට එන්න තියෙනවද?




 මෙහෙමයි. දැන් මං තනිකඩයනේ. ඒක නිසා රංගනය ඇතුළේ කිසිම සීමාවක් දාගෙන නෑ. නිර්මාණය ගුණාත්මක නම් වැඩිහිටියන්ට පමණයි වුණත් ප්‍රශ්නයක් නෑ. ඒත් නිකන් හරි විවාහවුණු කාලෙක මට එහෙම බැරිවෙයි. එතකොට මට බිරිඳ සහ දරුවෝ ගැන හිතලා සීමාවන් දාගන්න වෙයි.




ඉසුරු කියන්නේ සම්මාන බලාගෙන රඟපාන නළුවෙක්ද?




ඉසුරු කියන්නේ සම්මාන බලාගෙන රඟපාන නළුවෙක් නෙවෙයි. එහෙම රඟපෑවා නම් දැන් සම්මාන ගොඩාක් අරගෙන. ගිය අවුරුද්දේ මම "හුස්ම" චිත්‍රපටය වෙනුවෙන් ජනාධිපති සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවා වුණා. ඊට පස්සේ සිග්නිස් සම්මාන උළෙලේ වසරේ හොඳම සහාය නළුවා වුණා.




සම්මාන බලාගෙන රඟපාන අයත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවද?




 ඔව් ඇති. ඒත් මම සම්මාන බලාගෙන ඔය විනිශ්චය මණ්ඩලවලට දැනෙන්න රඟපාන්න දන්නේ නෑ. මං ඉගෙනගෙන තියෙන්නේ මිනිස්සුන්ට දැනෙන විදිහට රඟපාන්න විතරයි.




රඟපාන්නේ කලකිරීමක් එක්කද?




 අපොයි නෑ. මං මේ වෘත්තිය ගැන 100% ක්ම තෘප්තිමත් කෙනෙක්. මැරෙනකල්ම ම‍ං රඟපානවා. ඒත් ඒකෙන් කියන්නේ මං නාකිවෙලත් මේක බදාගෙන ඉන්නවා කියලා නෙවෙයි. පුළුවන් කාලයක් මගේ මේ වෘත්තිය කරනවා කියලා.




 ඉසුරු රඟපාන්න ආසාවෙන් ඉන්න හැබැයි තවමත් රඟපාන්න නොලැබුණු චරිතයක් එහෙම තියෙනවද?




 ඔව් මං ආසයි හමුදා නිලධාරියෙක්ට සහ අමීර් ඛාන් "පීකේ" (PK) ෆිල්ම් එකේ කළා වගේ ඩවුන් සින්ඩ්‍රම් චරිතයක් කරන්න.




රංගන ශිල්පියෝ කාලයක් ගිහිල්ලා අධ්‍යක්ෂණයට අතගහනවා. ඔබට ඒකට ආසාවක් නැද්ද?




අනේ නෑ. ඉසුරු හැමදාමත් නළුවෙක් විතරයි.




මං කිව්වොත් නළුවට වැහිලා ඔබ තුළ ගායකයෙකුත් ඉන්නවා කියලා?




සිංදුවක් කියාගන්න පුළුවන්. එහෙම වුණු පළියට මට ගායකයෙක් වෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නෑ.




ඉසුරු මේ අවුරුද්දේ විවාහ වෙන්න යනවා කියන්නේ ඇත්තද?




ඒක බොරුවක්. එහෙම අදහසක් තාම නෑ.




 ඔබ කියන්නේ තාම පෙම්වතෙක් නෙවෙයි කියලද?




පෙම්වතෙක් නෙවෙයි. මාව හරියටම තේරුම්ගන්න පුළුවන් කෙනෙක් තාම මට මුණගැහිලා නෑ. මුණගැහුනොත් ඒ ගැන අපි බලමු.




අවසාන වශයෙන් ඉසුරු අනාගතය ප්ලෑන් කරලා තියෙන්නේ කොහොමද?




 මුලින් කියපු විදිහට පුළුවන් කාලයක් වෙනකල් රඟපාන එක තමයි ආසව. ඒ ඇරුනම වෙන ලොකු ප්ලෑන් දැනට නෑ.




Previous Post Next Post