ගෙවුණු ජීවිතයට වඩා ගෙවන ජීවිතය ලස්සනයි- කාවින්ද්‍යා දුල්ෂානි



කෝලම් කුට්ටමේ සුද්දි ලෙස අතිශය ජනප්‍රිය වූ කාවින්ද්‍යා දුල්ෂානි විවාහයෙන් පසු නැවත රුපවාහිනී තිරය මත දකින්න ලැබුණේ නැහැ. සමහරුන්ට හිතාගන්න බැරි වුණා සුද්දිට මොකද වුණේ කියලා. කාවින්ද්‍යා බුද්ධික සමග විවාහ වීමෙන් පසු ඔස්ට්‍රේලියාව බලා පිටත් වූයේ ස්ථිර පදිංචිය සඳහාමයි. සිංහල අලුත් අවුරුද්දට ලංකාවට පැමිණි ඇය පිනිපලස සමග ඇගේ අලුත්ම තොරතුරු කියන්න අමතක කළේ නැහැ.




කොහොමද කාවින්ද්‍යා ජීවිත..




බොහෝම සතුටින් ගෙවෙනවා. ලංකාවට ආපු ගමන්ම තමයි ඔයාලව බලන්න ආවේ.




ලංකාවෙන් ගිහින් කොච්චර කල්ද?




මම හිතන්නේ මාස හයක් විතර ඇති. ලංකාවට එන්නේ කොයි මොහොතේද කියලා ඇඟිලි ගැන ගැන උන්නේ. කොහොම හරි අවුරුද්දට ලංකාවට ආවා.




කොහොමද ඔස්ට්‍රේලියාවේ ජීවිතේ?




මුලින්ම නම් ඒ ජීවිතේට හුරු වෙන්න හරිම අමාරු වුණා. මොකද මම ලංකාවේ එක දිගට වැඩ කරපු කෙනෙක්. විවාහ වෙලා මහත්තයා ළඟට ගියාම මට කරන්න දෙයක් නැහැ. බුද්ධික උදේ වැඩට ගියාම මම දවස ගෙවාගන්නේ හරිම අමාරුවෙන්. ලංකාවේ රූගත කිරීම් මතක් වෙනකොට ආපහු එන්න හිතුණ අවස්ථාත් තිබුණා. නමුත් මගේ ජීවිතේ බුද්ධික නිසා ඒ ජීවිතේට පුරුදු වුණා. දැන් නම් ප්‍රශ්නයක් නැහැ.


මොනවද ඉතින් ගෙදර ඉඳන් කළේ?




බුද්ධික වැඩට ගියාම මුලින්ම කරන්නේ ලංකාවේ ඩ්‍රාම ටික බලන එක. මම ආශාවෙන් බලපු නාට්‍ය ටික බලලා ඉවරවෙලා තමා ගෙදර වැඩ පටන් ගන්නේ.




කෝලම් කුට්ටම ඉවර වෙනකම් බැලුවද?




අපෝ ඔව්. ඒක තමා ලංකාවේ මම ආසාවෙන් රඟපාපු ටෙලි නාට්‍යයය. පුදුමාකාර පේක්ෂක ආකර්ෂණයක් සුද්දිට ලැබුණා. නමුත් දෛවයට අනුව මට සුද්දිගේ චරිතය නිමා කරන්න ඉඩක් ලැබුණේ නැහැ.




සුද්දි නැතුව කතාව ඉවර වෙනකොට මොකද හිතුණේ?




හරිම දුකයි. අපරාදේ තව ටික දවසක් ඉඳලා නාට්‍යය ඉවර කරලා එන්න තිබුණා නේද කියලා හිතුණා. කෝලම් කුට්ටමේ අපි කට්ටිය එකට රඟපාපු දේවල් මතක් වෙනකොට හරිම වේදනාවක් දැනුණේ.




ඔබත් නාට්‍යය අතරමග දාලා ගිය නිළියක් නේද?




ඇත්තටම මට යන්න සිද්ධ වුණා. නමුත් කිසිම කෙනෙක් එක්ක අමනාප වෙලා නොවේ ගියේ. මම පුළුවන් තරමට නාට්‍යයට හොඳ අවසානයක් දීලයි ගියේ. අදටත් කෝලම් කුට්ටමේ සියලු දෙනාම මාත් එක්ක ඉතාම සුහදව කතා කරනවා.




දැන් ඔබ හවුස් වයිෆ් කෙනෙක් නේද?




ඇත්තටම ඒකට පුරුදු වෙන්න ටිකක් කල් ගියා. දැන්නම් පුරුදුයි. මට ඔස්ට්‍රේලියාවට ආවා කියලා දැනගත්තාම වැඩ කීපයකට සම්බන්ධ කරගන්න මෙහෙ අය කටයුතු කරලා තියෙනවා.



බුද්ධික කැමැතිද ඔබ වැඩ කරනවට?




ඔහු කැමැති මම කලා කටයුතු කරනවට. ලංකාවේ අයගේ වැඩ කීපයක්ම කළා. ඊට අමතරව උපුල් ශාන්ත සන්නස්ගල සර් ඔස්ට්‍රේලියාවට ඇවිත් කරපු කෙටි චිත්‍රපටයක රඟපාන්නත් අවස්ථාව ලැබුණා.




කොහොමද ලංකාවේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර...




ඇත්තටම හරිම ආදරණීයයි. නමුත් ඒ ආදරය වෙනස්. ලංකාවේ පාරක ගියත් මිනිස්සු ඇවිත් කතා කරනවා. මෙහ ෂොපින් මෝල් එකකට ගියාම තමා ඒ අය මුණගැහෙන්නේ. සමහරු එකපාරටම ඇවිත් කතා කරනකොට මම බය වෙනවා. හස්බන්ඩ්ගේ වැඩ කරන තැන්වල අය මම ඇවිත් කියලා දැනගෙන මාව එක්කගෙන එන්න කියලා ඔහුට කියනවා. හරිම උණුසුම් ආදරයක් ලැබෙනවා.




අලුතින් මොනවද කළේ?




ඉන්දියන් වැඩක් කළා. ඒක පන්ජාබ් ගීතයක්. එහි විෂුවල් එකට මම උන්නේ. ඒක තාමත් අවසන් නැහැ. ටිකක් ලොකු වැඩක්.




ඔස්ට්‍රේලියාවේදී සම්මානයකුත් ලැබුණා නේද?




උතුරු සුළඟ චිත්‍රපටය මෙල්බර්න් සහ සිඩ්නිවල තිරගත කළා. ආසියාතික රටවල නිර්මාණ ඔස්ට්‍රේලියාවට ගෙනැත් සම්මාන දෙන වැඩසටහනක් තියෙනවා. එහිදී තමා මට උතුරු සුළඟ වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ලැබුණේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂටත් සම්මාන ලැබුවා.




කොහොමද චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාර...




චිත්‍රපටයේ මම අඬන දර්ශන හුඟක් තියෙනවා. එයාලට හිතාගන්න බැහැ මම කොහොමද මෙච්චර අඬන්නේ කියලා. සමහරුන්ට හිතාගන්න බැහැ ඒ මං කියලා. අඬන චරිතයට තමයි ඉහළම ප්‍රතිචාර ලැබුණේ.


කියන්නකෝ ගෙදර පාළුවෙන් ඉන්නකොට මොකද කරන්නේ කියලා?




මම මේ ළඟදී ඉඳලා වගා කරන්න පටන් ගත්තා. ලොකු ඉඩක් නැති වුණාට තියෙන ප්‍රමාණය කළමනාකරණය කරගෙන වගා කරනවා. තක්කාලි, මිරිස්, බටු,මිරිස් හොඳට හැදුණා. බුද්ධිකගේ යාළුවන්ටත් බෙදලා දුන්නා. අපි ලංකාවට එනකොටත් බටු ගහේ කිලෝ දෙක තුනක කරල් හැදිලා. යාළුවන්ට කඩාගන්න කියලා ආවේ.




ලංකාවෙත් වගා කළාද?




මෙහේ කොච්චර ඉඩ තිබුණත් එහෙම හිතෙන්නේ නැහැ. වෙන රටකට ගියාම තමා මේ දේවල්වල අගය දැනෙන්නේ. හැබැයි මම ගස්කොළන් දකින්න හරිම කැමැති කෙනෙක්. කොළපාට පරිසරයට මම කැමැතියි.




ඔයාද ගෙදර උයන්නේ?




ලංකාවේ ඉන්නකොටත් මට හොඳට උයන්න පුළුවන්. ඒක නිසා උයන එක ප්‍රශ්නයක් නෙවේ. මහත්තයත් කැමැතියි මම උයන ඒවා කන්න.




මැච් බලන්න යන්නේ නැද්ද?




ලංකාව සෙල්ලම් කරන තරගයක් තිබුණොත් බලනවා. ලංකාවේ අයත් මෙහේ ක්‍රිකට් ගහනවා. බුද්ධිකත් එක්ක ඒ වගේ තරග බලන්න යනවා.




ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට ආවාම දැනුණ වෙනස මොකක්ද?




මේ රටේ පුදුමාකාර නිදහසක් තියෙනවා. කැමැති ඇඳුමක් අඳින්න පුළුවන්. කවුරුත් මොකුත් කියන්නේ නැහැ. මට නම් දැනෙන්නේ හරිම හිමින් සැහැල්ලුවෙන් යන ලයිෆ් එකක් තමා මෙහේ තියෙන්නේ. මමත් කලබලයක් නැතිව මගේ ගමන යනවා.




ලංකාවට පය තිබ්බාම මොකද හිතුණේ?




අපි ලංකාවට එන්න කලින් සිංගප්පූරුවේ දවස් හතරක් උන්නා. මම නොගිය රටක් වුණත් මට සිංගප්පූරුවේ ලස්සන බලන්න බැරි වුණා. මොකද හිත තිබ්බේ කවද්ද මගේ රටට අඩිය තියන්නේ කියලා. අම්මලා, තාත්තලා දකින්න යාළුවෝ මුණගැහෙන්න පුදුමාකාර නොඉවසිලිමත් බවක් තිබුණා.




කොච්චර කාලයක් ලංකාවේ ඉන්නවද?




මාසයක් විතර ඉන්නවා. ප්‍රියන්ත ප්‍රනාන්දු අයියාගේ ඉවර නොකරපු ටෙලි නාට්‍යයක වැඩ ඉවර කරලා යන්න ඕනේ. අවුරුදු වැඩසටහන් කිහිපයකටත් සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා.




ආයේ රඟපාන එකක් නැද්ද?




මෙගා නාට්‍යවල නම් රඟපාන්නේ නැහැ. හැබැයි ලංකාවට ආපු වෙලාවට සම්බන්ධ වෙන්න පුළුවන් වැඩක් ආවොත් කරනවා. කොහොමත් ලංකාවට සමු දෙන්න අමාරුයි.




දිගටම ඔස්ට්‍රේලියාවෙද ඉන්න හිතන්නේ






මහත්තයාගේ පදිංචිය එහෙ නිසා දිගටම ඉන්න වෙනවා. නමුත් අවුරුද්දකට සැරයක්වත් ලංකාවට ඇවිත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. මෙල්බර්න්වලත් කලාකරුවෝ ගොඩක් ඉන්නවා. නිර්මාණ බිහි වෙනවා. ඒ නිසා ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ.




ළඟදී චිත්‍රපටයක් කරන්න යනවා කියලා ආරංචියි




බුද්ධිකගේ ප්‍රඩක්ෂන් හවුස් එකක් තියෙනවා. ඔහුගේ අදහසක් තියෙනවා ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණය කරන්න.



අනාගතය ගැන ප්ලෑන් කරනවද?




අපි දෙන්නට සැලසුම් තියෙනවා. ඉදිරියේදී ඒ අනුව වැඩ සිද්ධ වෙයි.




දෙන්න තුන්දෙනා වෙන්නෙ කවද්ද?




අපි දෙන්නාගේ සැලසුම් අතර ඒකත් තියෙනවා. ඉතා ඉක්මනින් ඒ දේවල් සිද්ධ වෙන්න ඕන. ඒ ආරංචිය මුලින්ම පිනිපලසට කියන්නම්කෝ.




ගෙවුණ ජීවිතය ගැන මොකද හිතෙන්නේ?




ගෙවුණ ජීවිතයට වඩා ගෙවන ජීවිතයට කැමැතියි. දැන් තමා මට දැනෙන්නේ මම ජීවත්වෙනවා කියලා. දැන් තමා මගේ ජීවිතේට ලොකු වටිනාකමක් ලැබිලා තියෙන්නේ. හරිම සතුටින් ජීවත් වෙනවා




බුද්ධිකත් කලාවට ළැදියි නේද?




අපොයි ඔව්. එයා ගීත ලියනවා. නන්දා මාලිනිගේ ඉඳන් ගොඩක් අයට ගීත ලියලා තියෙනවා. ඔහුගේ කලාවට ඇති ළැදියාව නිසා තමයි අපි දෙන්නා මුණගැහෙන්නේ. ඔහුගේ වැඩවලටත් මම පුළුවන් විදිහට උදව් කරනවා.




ආයේ කවද්ද ලංකාවට එන්නේ?




ඉතා ඉකිමනින් ආපහු එනවා. හැම වෙලාවෙම මම ලංකාවේ ප්‍රේක්ෂකයන් එක්ක ඉන්නවා. කාවින්ද්‍යා දුල්ෂානි යූ ටියුබ් චැනල් තුළින් නිතරම මාව දකින්න පුළුවන්. ඒ නිසා මම මගේ රටින් දුරස්වෙලා නැහැ කියලයි හිතෙන්නේ.



Previous Post Next Post