සම්මාන කර තියාගෙන යන්නේ නැහැ - ජගත් මනුවරණ

 


ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට ජගත් මනුවරණ යන නම හොඳින් හුරුපුරුදුය. විටෙක ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙසත් තවත් වරෙක ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් එතැනින් නොනැවතී සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ඔහු විවිධ අවස්ථාවලදී ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නේය. පසුගිය දිනවල නම් ජගත් මනුවරණ නම වැඩිපුරම ඇසුණේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ කොඩි ගහ යට ටෙලි නාට්‍ය නිසාය. එහි අධ්‍යක්ෂවරයා මෙන්ම මහේෂ්ගේ චරිතයට පණ දුන් රංගන ශිල්පියාද ඔහුය. 29 වැනි සුමති සම්මාන උළෙලේදී කොඩි ගහ යට ටෙලි නාට්‍යයට සම්මාන පිට සම්මාන හිමි විය. එහිදී 2023 වර්ෂයේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා සහ හොඳම ටෙලි නාට්‍ය නළුවා ලෙස ජගත් මනුවරණ සම්මාන දිනා ගත්තේය. ඒ පිළිබඳව මෙන්ම ඉදිරි කලා කටයුතු පිළිබඳව ඔහුත් සමග මෙලෙස දොඩමලු විය.




සුමති සම්මාන උළෙලේදී කොඩි ගහ යට ටෙලි නාට්‍යයට සම්මාන පිට සම්මාන ලැබුණා. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා හැටියට ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ?




 සුමති සම්මාන උළෙලේදී කොඩි ගහ යට ටෙලිනාට්‍යයට සම්මාන දහයකට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. ඇත්තටම කොඩි ගහ යට කණ්ඩායමට ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. අපේ මුළු කණ්ඩායමම කොඩි ගහ යට ටෙලිනාට්‍ය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. ගොඩක් මහන්සි වුණා. මේ ලැබුණු සම්මාන සියල්ල කොඩි ගහ යට කණ්ඩායම කළ කැපකිරීම්වල ප්‍රතිඵලයක් කියලා මට හිතෙනවා. සම්මානයක් ලැබීම නිර්මාණකරුවන්ට වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන්ටත් ලොකු උත්තේජනයක්.




 කොඩි ගහ යට නිසා ජගත් මනුවරණ 2023 වර්ෂයේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා වගේම හොඳම ටෙලි නාට්‍ය ‍රංගන ශිල්පියාත් වුණා නේද?




 හොඳම අධ්‍යක්ෂවරයා වෙන්න ලැබීම ගැන වගේම හොඳම නළුවා වෙන්න ලැබීම ගැනත් සතුටුයි. ඒ සම්මානත් කොඩි ගහ යට කණ්ඩායමට ලැබුණු සම්මාන හැටියටයි මම සලකන්නේ. හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය මට ලැබීම ගැන කතා කළොත්, මීට කලිනුත් මම රංගන ශිල්පියෙක් හැටියටත් සම්මාන ලබාගෙන තියෙනවා. ඇත්තටම මම එක දිගට ටෙලි නාට්‍යවල රඟපාන රංගන ශිල්පියෙක් නෙමෙයි. සෑහෙන කාලෙකට පස්සේයි කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ රඟපෑවේ.




 කොඩි ගහ යට ටෙලි නාට්‍යයට වගේම ඔබට මේ තරම් ඇගයීමක් ලැබෙයි කියලා හිතුවද?




මම සම්මාන බලාගෙන නිර්මාණ කරන්නේ නැහැ. අනෙක් කාරණාව ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා කියලා හිතේ ලොකු බලාපොරොත්තුවක්වත් අසාවක්වත් තිබුණේ නැහැ. මට සිනමාකරුවෙක් වෙන්නනම් ලොකු වුවමනාවක් තිබුණා. කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් පොරබදිමින් හිටියා. ඇත්තටම කිව්වොත් මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන්ම ඈත්වෙලා හිටියේ. කාලයක් ටෙලි නාට්‍ය රංගනයටවත් සම්බන්ධ වුණේ නැහැ. එහෙම ඈත්වෙලා ඉන්න කාලයක තමයි කොඩි ගහ යට ටෙලි නාට්‍ය කරන්න මගේ මිත්‍රයාගෙන් ආරාධනාවක් ලැබුණේ. ඒ දවස්වල මම ඒ තරම් කාර්යබහුල නොවූ නිසාත් මගේ මිත්‍රයා ආරාධනා කළ නිසාත් තමයි කොඩි ගහ යට කරන්න තීරණය කළේ.




කාලයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියා කියලා ඔබ කිව්වනේ. ඒ මොකක්ද ඒ නිහැඬියාවට හේතුව?




 ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මගේ හිතේ අතෘප්තකර හැඟීමක් තිබුණා. පිරිවැය නෑ ,හොඳ පිටපතක් නෑ, හොඳ නිර්මාණයක් කරන්න කාලයක් නෑ, නිර්මාණකරුවන්ට වුවමනා විදිහට නිර්මාණයක් කරන්න බෑ වගේ කතා අපට නිතරම ඇහෙනවනේ. ඒ වගේ ප්‍රශ්න කිහිපයක් මටත් තිබුණා. ඒ නිසා තමයි මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියේ.




 කොඩි ගහ යට ටෙලි නාට්‍ය කරද්දී ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණේ නැද්ද?




 යම් යම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වුණා. කොවිඩ් කාලේ ආවා. ආර්ථික අර්බුදය නිසාත් ප්‍රශ්න ඇති වුණා. කොහොම වුණත් පටන් ගත්ත වැඩක් අතරමග නතර කරන්න බැරි නිසා අවසන් කළා.




 කොඩි ගහ යට ටෙලි නාට්‍යයත් එක්ක ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් එකතු වෙලා හිටියා. හැබැයි ඒ ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් වෙන විදිහට කතාව අවසන් වුණේ නෑ කියලත් සමහරු කියනවා?




 ප්‍රේක්ෂකයන්ට ටෙලි නාට්‍ය ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. කතාව තවදුරටත් විකාශය වුණානම් ටෙලි නාට්‍ය ඇදෙනවා වැඩියි කියලා සමහරු කියයි. කොහොම වුණත් කොඩි ගහ යට ටෙලි නාට්‍යට අපි හිතාමතාමයි ඒ වගේ අවසානයක් දුන්නේ. සියල්ල සතුටින් විසිර ගියහ වගේ අවසානයක් ටෙලි නාට්‍යවලට තියෙනවාට තමයි බොහෝ ප්‍රේක්ෂකයන් කැමැති. ඒත් කොඩි ගහ යට ටෙලි නාට්‍යයට විවෘත අවසානයක් තියෙන්නේ. ඉදිරියටත් මොනවා හරි වෙන්න පුළුවන් කියන අදහස ප්‍රේක්ෂකයන්ට දෙන්න අපිට ලොකු වුවමනාවක් තිබුණා.




 ඒ කියන්නේ ඉදිරියට මොනවා හරි වෙනවාද?




 අනිවාර්යෙන්ම ඉදිරියට තව තව දේවල් වෙයි. ඇත්තටම කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ දෙවැනි කොටස සිනමා නිර්මාණයක් හැටියට එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. ටෙලි නාට්‍යයේ නැවතුණු තැනින් එහාට ඒ චරිතවලට මොකද වුණේ කියන එක චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. කොඩි ගහ යට දෙවැනි කොටස ප්‍රේක්ෂකයන්ට ෆිල්ම් හෝල් එකකට ගිහින් බලාගන්න පුළුවන් වෙයි. මේ දවස්වල ඒ වෙනුවෙන් අවශ්‍ය පිටපත සහ අනෙකුත් කටයුතු සූදානම් කරමින් ඉන්නවා. හැකි ඉක්මනින් රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.




චිත්‍රපටයේදී රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනස් වෙනවාද?




 ප්‍රධාන චරිත සියල්ලම කොඩි ගහ යට ටෙලි නාට්‍ය සාර්ථක කරගන්න නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලුම දෙනා කොඩි ගහ යට 02 සිනමා නිර්මාණයේ ඉන්නවා. ඇත්තටම කොඩි ගහ යට ටෙලි නාට්‍යයේදී රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම අනෙකුත් සියලුම දෙනාත් ඉතා කැපකිරීමෙන් වැඩ කළා.




පහුගිය දවසක අන්තර් ජාතික සිනමා උළෙලකදී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා හැටියටත් ඔබට සම්මානයක් ලැබුණා නේද?




 ඔව්. රහස් කියන කඳු චිත්‍රපටය අන්තර් ජාතික ඩකා සිනමා උළෙලේදී ඇගයීමට ලක් වුණා. එහිදී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය මට ලැබුණා. ඇත්තටම විදේශීය රටවල්වල මගේ චිත්‍රපටය නියෝජනය කරන සම්මාන උළෙලවල්වලින් මට බොහෝ අත්දැකීම් ලැබෙනවා. එතැනදී ලෝකය මාව සිනමාකරුවෙක් හැටියට හඳුනාගන්නවා. ඒ මගින් මගේ ඉදිරි වැඩකටයුතුවලට ලොකු පන්නරයක් ලබාගන්න පුළුවන්.




 ජගත් මේ අවුරුද්ද පටන් ගත්තේ සම්මාන එක්කමයි කියලා මට හිතෙනවා. දිගින් දිගටම සම්මානනීය වීම ගැන මොකද හිතෙන්නේ?




 සම්මානයක් ලැබුණාම සතුටක් දැනෙනවා. ඒත් මම ඒ සම්මානය කර තියාගෙන යන්නේ නෑ. ලැබුණු සම්මානය පැත්තකින් තියලා නැවතත් පුරුදු විදිහටම මම මගේ වැඩ ටික කරනවා. ඇත්තටම කියනවනම් සම්මානවලින් මගේ තත්ත්වය තීරණය කරන්න මම ඉඩ තියන්නේ නැහැ. සම්මාන ලැබුණු නිසා ජගත් මනුවරණ කියන පුද්ගලයා වෙනස් වෙන්නේ නැහැ.




 රහස් කියන කඳු කියන්නේ ජගත්ගේ පළවැනි සිනමා අධ්‍යක්ෂණය නේද?




 කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක් හැටියට මම කාලයක් වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ මගින් ලබාගත් අත්දැකීම් එකතුවෙන් කළ කැපකිරීම්වල ප්‍රතිඵලයක් හැටියටයි රහස් කියන කඳු චිත්‍රපටය නිර්මාණය වුණේ. රහස් කියන කඳු කියන්නේ මගේ පළමුවැනි දිගු චිත්‍රපටය.


 ඇත්තටම මේ චිත්‍රපටය දීර්ඝ කාලීන උත්සාහයක ප්‍රතිඵලයක් කිව්වත් වරදක් නැහැ. අවුරුදු දහතුනකට ආසන්න කාලයක් මම මේ චිත්‍රපටය හදන්න උත්සාහ කළා. 2017 දී රහස් කියන කඳු රූගත කළා. නිෂ්පාදන කටයුතු අවසන් වෙන්නත් අවුරුදු පහකට ආසන්න කාලයක් ගතවුණා.


 රහස් කියන කඳු චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවල අවසාන අදියරේදී වගේ තමයි ටෙලි නාට්‍යයට මගේ අවධානය යොමු වුණේ.




 අලුත් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් නැද්ද?




 ඒ ගැන මම තවමත් හිතලා නෑ. මම මුලිනුත් කිව්වා වගේ ටෙලි නාට්‍යයක් කිරීම ගැන මගේ හිතේ තියෙන්නේ හරිම අතෘප්තකර හැඟීමක්. ලංකාවේ නිර්මාණයක් කරන්න සෑහෙන වියදමක් යනවා. මුදල ආපහු උපයා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් තියෙනවා. ටෙලි නාට්‍යයක් කරද්දී මුදල් වගේම කාලය සහ ශ්‍රමයත් විශාල වශයෙන් වැය කළ යුතුයි.




 ඒ කියන්නේ රංගන ශිල්පියෙක් හැටියටත් ඉදිරියේදී ඔබව ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන එකක් නෑ කියන එකද?




 රංගන ශිල්පියාට සමුදෙනවා කියලා තීරණය කරලා නැහැ. ඉදිරියේදීත් මම රංගන කටයුතුවල නිරත වෙයි. නමුත් තෝරා බේරා ගැනීමකින් යුතුවයි ඒ දේවල් කරන්නේ.




 ජගත් මනුවරණ කියන්නේ ටෙලි නාට්‍යයට සිනමාවට වගේම වේදිකාවටත් සමීප පුද්ගලයෙක්නේ. ඇයි දැන් වේදිකාවට ගොඩ වෙන්නේ නැත්තේ?




 මට වේදිකාවත් නුහුරු තැනක් නෙමෙයි. මෑතකදී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැති වුණාට මීට කාලයකට කලින් මම වේදිකාවත් සමග ඉතා සමීපව වැඩ කටයුතු කළා. ඇත්තටම වේදිකා නාට්‍යයක රඟපාන්න වගේම වේදිකා නාට්‍යයක් කරන්නත් ආසාවක් හිතේ තියෙනවා. ඉදිරියට මොකද වෙන්නේ කියලා අපි බලමු ඉතින්.




 මේ දවස්වල නම් දේශපාලන වැඩකටයුතු නිසා ජගත් අතිශයින් කාර්යබහුල වෙලා කියලා තමයි අපට දැනගන්න ලැබුණේ?




 රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂවරයෙක් හැටියට වගේම දේශපාලන ක්‍රියාධරයෙක් හැටියටත් මම කටයුතු කරනවා. ඕනෑම පුද්ගලයෙක්ට දේශපාලන මතවාදයක් දරන්න අයිතියක් තියෙනවා. ඒක මටත් පොදු කාරණාවක්. මම කිසිම තැනක කලාවයි දේශපාලනයයි පටලවාගෙන නැහැ. මම දේශපාලනය කරන්න පටන් ගත්තේ අද ඊයේකත් නෙමෙයි. කලාව වගේම අනෙක් හැමදේම හොඳට තියෙන්න නම් නිවැරදි මගක යන දේශපාලනයක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් මේ දවස්වල යම් යම් කටයුතු කරමින් ඉන්නවා.



Previous Post Next Post