නිතරම පේන්න ඉන්න මම කැමැති නෑ -උමා අසේනි

 


දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබන උමා අසේනි දක්ෂ රංගන ශිල්පිනියක්. ගී පද රචිකාවියක් මෙන්ම නිවේදිකාවක්ද වනවා. වේදිකාව. පුංචි තිරය මෙන්ම රිදී තිරයෙන්ද සිය රංගන ප්‍රතිභාව මැනවින්  ඉදිරිපත් කරන මේ දක්ෂ රංගන ශිල්පිනිය මෙවර අදහස් එක් කළේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නේ?


මේ දිනවල ලලයි ලිලයි ලයි නිර්මාණයේ වැඩකටයුතු කරගෙන යනවා. පසුගිය දින කිහිපයේදී නම් ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය නම් වේදිකා නාට්‍යයේ වැඩකටයුතුවලට විදේශ ගතවෙලා සිටියේ. ඒ වගේම එළැඹෙන අප්‍රේල් මාසයේ පටන් ජූලි මාසය දක්වාම සිනමා නිර්මාණ තුනක වැඩ කටයුතු ආරම්භ වනවා. ඉතින් මේ වැඩකටයුතුත් සමඟ කාලය ගෙවිලා යනවා.


කොහොමද අලුත් නිර්මාණයෙන්  ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


ඇත්තටම ලලයි ලිලයි ලයි නිර්මාණයෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් හොඳයි. වයස් භේදයක් නොමැතිව මෙන්ම සම්භාව්‍ය වාණිජ වැනි බෙදීම් නොමැතිව ප්‍රේක්ෂකයන් මේ නිර්මාණයත් සමඟ ඉන්නවා.


ඒ අතර ඔබේ රංගනය නිසා බොහෝ සහෝදර සහෝදරියන්ගේ අතීත මතක සිහිපත් කරනවා යැයි ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නැද්ද?


ඇත්තටම ඔව්. ඒ වගේ බොහෝ ප්‍රතිචාර මට ලැබෙනවා. මම නම් දකින්නේ ඒක තමයි පවුල. මගේ පවුලේත් නංගීත්, මල්ලීත් සිටිනවා. ඉතින් මෙවැනි මතක මටත් තිබෙනවා. ඒ වගේම නරඹන පිරිසටත් තිබෙනවා. මේ චරිත ඇතුළේ තිබෙන දේවල් එකක්වත් මවාපාන දේවල් නෙවෙයි. ඒ සෑම දෙයක්ම අපේ පවුල ඇතුළේ තිබෙනවා. ඒ වගේම අපි නොහිතන සාමාන්‍ය තත්ත්වයෙන් එහා ගිහින් කටයුතු කරන චරිත අපේ පවුල්වල ඕනෑ තරම් සිටිනවා. ඉතින් මේ නිර්මාණයෙන් සාමාන්‍ය පවුලක සිදුවන සිදුවීමක් සමාජයට පෙන්වනවා.


ඔබව බොහෝ දෙනා හ¾දුනාගන්නේ මාණික්කාවත ටෙලි නාට්‍යයෙන් නේද?


ඔව්. මාණික්කාවත නිර්මාණය කියන්නේ මගේ සත්වැනි ටෙලි නාට්‍යය. මින් පෙර මම නිර්මාණ හයක්ම සිදුකළා. නමුත් බොහෝ ප්‍රේක්ෂකයන් මාව හ¾දුනා ගන්නේ මාණික්කාවත ටෙලි නාට්‍යයේ පිච්චි කියන චරිතය හරහා.


ඔබ දැන් වේදිකාව අතහැරලාද?


ඇත්තටම නැහැ. මම කොහෙත්ම වේදිකාව අතහරින්නේ නැහැ. එකම දෙය තමයි අපි වේදිකා නාට්‍ය තවම සංවිධානය කළේ නැහැ. කවදා හෝ පුංචි තිරය හෝ සිනමාව මට අතහැරුණත් කිසිම දවසක  මම වේදිකාව නම් අතහරින්නේ නැහැ.


ඔබ වේදිකාවෙන් පුංචි තිරයට එන්නේ කොහොමද?


වේදිකා නාට්‍ය සහ පුංචි තිරය කියන්නේ මගේ ජීවිතයේ සම්මිශ්‍රණයක්. මගේ මුල්ම වේදිකා නාට්‍ය සිදුවන්නේ මගේ විශ්වවිද්‍යාලයේ. ඒ නිර්මාණයෙන් පසුව මම නැවත වේදිකා නාට්‍ය කළේ නැහැ. පළමු වේදිකා නට්‍යයෙන් පසුව මම කරන්නේ තිළිණ බොරලැස්සගේ අවි ක¾දුළු නම් ටෙලි නාට්‍යය. ඉතින් එතැන් පටන් ටෙලි නාට්‍ය කිහිපයකටම පසුව තමයි ඉන්ද්‍රජාලික පෙම්වතිය නම් වේදිකා නාට්‍යයට කතා කරන්නේ. ඒක තමයි මගේ පළමුවන පබ්ලික් තියටර් එක.


ඔබේ රංගන කටයුතුවලට  සහාය දුන් පිරිසත් මතක් කළොත්?


ඇත්තටම මට මේ ගමනේදී බොහෝ පිරිසක් උදවු කළා. මට නාට්‍ය පිළිබඳව උණ ඇති කරන්නේ නලින්ද ප්‍රේමරත්න අයියා. මාව මුලින්ම වේදිකාවක් උඩට නංවන්නේ සුරංජිත් සමීර. ලක්ෂාන් වත්තුහේවා සහ තිළිණ බොරලැස්ස කියන්නේ මගේ පළමුවැනි ටෙලි නාට්‍ය පිටපත් රචක මෙන්ම අධ්‍යක්ෂවරයා. ඒ වගේම අනුරාධ සුබසිංහ මගේ පළමුවැනි පබ්ලික් තියටර් ඩිරෙක්ටර්. ඇත්තටම මේ පිරිස තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයන්. සෝමලතා සුබසිංහ ප්ලේහවුස් එකෙන් තමයි මම රංගනය හැදෑරුවේ. එහිදී රංගනය ගැන මට ඉගැන්වූ මගේ ගුරුවරුන් වන කෞෂල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ, ප්‍රසන්න මහගමගේ, නිලංක දහනායක, මයුර කාංචන, චමිල ප්‍රියංක, තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන යන අයව මේ මොහොතේ විශේෂයෙන්ම මතක් කරනවා.


ඔබ දැන් ගී පද රචනය කරන්නේ නැද්ද?


ඇත්තටම මම සංගීතයත් එක්ක තමයි ජීවත් වුණේ. නාට්‍ය කියන දෙයක් මගේ ඔළුවේ තිබුණේ නැහැ. 2015දී මම මගේ සංගීත වැඩ කටයුතුවලට පොඩි විරාමයක් ලබා දෙනවා. නමුත් තවමත් ඒ වැඩකටයුතුවලට අවධානය යොමු කරන්න වුණේ නැහැ. මට ගී පද රචිකාවියක් වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒක ඉතාම අහම්බෙන් සිදුවුණු දෙයක්. මම ගීපද රචිකාවියක් වෙන්නේ සනුක නිසා. ඇත්තටම ඒ ස්තුතිය සනුකට ලබාදිය යුතුමයි. මොකද ඔහු තමයි මම ලියූ ගී පදවලට මෙලඩියක් දමන්නේ.


ඔබ සීමිත නිර්මාණ සංඛ්‍යාවකට සහභාගී වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?


ඇත්තටම මට බොහෝ නිර්මාණ ප්‍රමාණයකට ආරාධනා ලැබෙනවා. නමුත් ලැබෙන සෑම නිර්මාණයක්ම මම භාරගන්නේ නැහැ. මොකද මට අවශ්‍ය නැහැ චරිතවලදී එකම රාමුවකට කොටු වෙන්න. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට නිතරම පෙනෙන්න එන්නත් මම කැමැති නැහැ.  මාණික්කාවත නිර්මාණයෙන් පසුව මට දරුවන් ලැබෙන්න සිටින අම්මලාගේ චරිත, ගැමි චරිතවලට බොහෝ ආරාධනා ලැබුණා. ඒ නිසා එකම රාමුවක චරිත එක දිගට ලැබෙන එක වළක්වා ගන්නයි ඊට වඩා ටිකක් සරල චරිතවලට අවධානය යොමු කළේ. ඒ වගේම මගේ ජීවිතයේ ඒ මොහොතේදී  ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමක් ගැනද කියලා  සිතලා තමයි මම දේවල් තෝරා ගන්නේ. කලා කටයුතුවලදීත් එහෙමයි.


මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමක්ද කියලා සිතලා තමයි මම දේවල් තෝරා ගන්නේ.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කළොත්?


කලා ජීවිතය තුළින් අපේක්ෂා කරන අරමුණ මම දැන්ම කියන්න කැමැත්තක් නැහැ. ඒ අරමුණ ඉටුකර ගත් පසුව හෝ අරමුණට ළඟාවුණ දවසට කියන්නම් ඇත්තටම ඒ මොකක්ද කියලා. ඒ වගේම බල්ලන්, පූසන් වැනි වීදි සතුන්ට සුරැකුම් මධ්‍යස්ථානයක් හදන්න අදහසක් තිබෙනවා. දැන් පවතින ආර්ථිකයත් එක්ක එය ටිකක් අපහසුයි. නමුත් මම කොහොමහරි ඒ දෙය කරනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post